හැට පැන්නත් ලෙඩ නොවෙන්න, මෙන්න බෙහෙත !

“ආහාරය බෙහෙතක්, බෙහෙත ආහාරයක්” හිපොක්‍රටීස් පවා පැවසුවා

නිදන්ගත රෝග වලකන ගුප්ත බලයක් ඇතැම් ආහාරවල

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී සතියක් ඉක්ම ගොස් තිබිණ. පිලිමතලාව නගරයේ පැවැත්වෙන සෙනසුරාදා සතිපොලෙහි වෙනදා තරම් ජනතාවක් රැස්ව සිටියේද නැත. බෑගයක් පිටෙහි බැඳගත් මිනිසුන් දෙස සැකමුසු සිතින්, හොරැහින් බලමින්, පැමිණ සිටි කීපදෙනා වුවද උත්සාහ කෙරුවේ හැකි ඉක්මනින් තමාට අවැසි දේ මිලයට ගෙන ජනාකීර්ණ පරිසරයෙන් ඉවත් වීමටයි. සමීපයට යත්ම ඇය විසින් මා වෙත දිගු කෙරුවේ සාරන මිටියකි. වෙනදාට නම් මා ඇය වෙතින් මිලයට ගන්නේ කොහිල දළු හෝ වට්ටක්කා දළුය.

“අද මේවා කන්න මහත්තයා. මේක හොඳ බෙහෙතක්”

පලා මිටි කන්දකට යටවී සෙනසුරාදා දවස ගෙවන්නට ඇය පැමිණෙන්නේ ත්‍රිකුණාමලයේ සිට බව වරෙක මා හට පවසා තිබේ. එතරම් දුර බැහැරක සිට පැමිණ, පළාකොළ විකුණමින් තුලනය කරගන්නා අයවැය විස්තරය ගැන කීප වරක් මා සිත තුල කුතුහලයක් පැනනැගුනද තවමත් එය විමසීමට අවස්ථාවක් ලැබුනේද නැත.

“බෙහෙත් ඕනෑ වෙන්නේ ලෙඩ්ඩුන්ටනේ”

සිතෙහි ජනිතවූ සිතුවිල්ල වචන බවට පෙරලීමට උගුරේ ස්වර තන්ත්‍රයන් ගත් උත්සාහය බලහත්කාරයෙන් මැඩපවත්වා ගෙන සාරන මිටිය බෑගයේ ඔබාගැනීමට හැකිවීම ජයග්‍රහණයකි. ඇයගේ ප්‍රකාශය එසේ සරදමට ලක්විය යුත්තක් නොවේ. එයට දිගු ඉතිහාසයක් ඇත. ජීවිතයේ සැඳෑ සමයට එළඹෙමින් සිටින ඇයගේ පරපුරේ ඇත්තන් ආහාරය දෙස බැලුවේ එලෙසය. වැඩිදුර යන්නට ඕනෑ නැත. වෛද්‍ය විද්‍යාවේ පියා සේ සැලකෙන, ක්‍රිස්තු පූර්ව 460 දී ග්‍රීසියේ උපන් හිපොක්‍රටීස් මීට වසර 2500 කට පෙර පැවසූ දෙයක් මා මතකයට නැගේ.

“ආහාරයට ඔබේ ඖෂධය වීමට ඉඩදෙන්න. ඖෂධය ආහාරය කරගන්න”

මේ අනුව ඇය පවසා ඇත්තේ වසර 2500 ක් තිස්සේ පැවත ආ පෙරාපු රත්තරන් වැනි සත්‍යයකි. 19 වෙනි සියවසේ සිට ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් බෙහෙත් පෙති හා කරල් සංස්කෘතිය නිසා මෙම කියමන තරමක් දියාරුවී ගියේ ආහාරය හා බෙහෙත මිනිසා විසින්ම, සිතා මතා දෙපැත්තට කල බැවින්ය. මිනිස් සිරුරේ පෝෂණයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය, විටමින් ආදිය විද්‍යාත්මකව සොයා ගැනීමත්, ඊට සම්පාතව ඒවා කැටිකරගත් පෙති, කරල් ආදිය නිෂ්පාදනය වීමත් නිසා බෙහෙත ආහාරයක් නොවූ පසුබිමක  ආහාරයට බෙහෙතකට ඇති සැලකිල්ලද හිමිවූයේ නැත.

එහෙත් සම්ප්‍රදායට ගරු කරන ලාංකික ගැමියා තුල තවමත් මේ දෙක යම් තරමකට එකිනෙක පැටලී බද්ධවී තිබේ. අවට පරිසරයේ වැවෙන ගහකොළ වෙත ඔහු ලංවී ආහාරය පිණිස එය තොරාගන්නේ පෝෂණය ගුණය හෝ රසය පිලිබඳ තක්සේරුවකින් නොව, එහි ඇති ඖෂධීය ගුණය ගැන ඇති අවබෝධය නිසාය. කටේ තබන්නටවත් බැරි තරමට තිත්ත රසවූ ඇතැම් දෑ, යම් ක්‍රමවේදයක් ඔස්සේ ‘තිත්ත මකා’ ආහාරයට ගැනීමට ඔහු පියවර ගෙන තිබුනේ හිපොක්‍රටිස්ගේ ධර්මතාවයට අනුකූලවය.

අධිපෝෂණය’ නමැති අපහසුතාවයටද මිනිසා ගොදුරුවූ බව පෙනෙන්නට තිබේ

ආහාරය වෙනමත්, බෙහෙත් වෙනමත් සිරුරට දමාගන්නා පුරුද්ද වැඩි දියුණු වෙත්ම, ‘අධිපෝෂණය’ නමැති අපහසුතාවයටද මිනිසා ගොදුරුවූ බව පෙනෙන්නට තිබේ. මෙය වඩාත් කැපී පෙනුනේ පසුගිය අඩ සියවසක පමණ කාලය තුලයි. හිපොක්‍රටීස්ගේ අදහසට පිටුපා ගිය, ඇති හැකි රටවල වෙසෙනා පොහොසත් ජාතීන් මේ හරහා වැඩිපුරම අමාරුවේ වැටුණු කොටස විය. ඇමරිකානුවන් ලහි ලහියේ තම ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා ආහාර අනුභවයේ මගපෙන්වීම් එලි දැක්වීමට කටයුතු කලේ මේ නිසාය.

‘ඇමරිකානුවන් සඳහා ආහාර ක්‍රමවේද මගපෙන්වීම්’ වැනි උපදේශනයන්,  කෘෂිකර්ම හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවල මගපෙන්වීම යටතේ 1980, 1985, 1990, 1996, හා 2000 යන වසරවලදී යාවත්කාලීන කල සංස්කරණයන් වශයෙන් නිකුත් කරන්නට යෙදුනි. තවත් විවිධ සංවිධානයන් හරහා නිකුත්වෙන ප්‍රකාශයන් එරට සුලභය. මෙම හැම වාර්තාවකින්ම අවධාරණය කර සිටින්නේ සංතෘප්ත මේද ඉතා අවමයෙනුත්, එළවලු, පලතුරු, රනිල බෝග හා නොපාහින ලද ධාන්‍ය වැඩියෙනුත් අනුභව කරමින් නිදන්ගත රෝගයන්ට ගොදුරුවීමේ අවදානම මගහැර ගන්නා ලෙසයි.

අපේ ගමේ එළවලු වෙළෙන්දිය පැවසුවේත් ‘ක්‍රියාකාරී ආහාර’ ගැනය.

අප දන්නා පිෂ්ටය, ප්‍රෝටීන්, තෙල් හා මේද වැනි ප්‍රධාන සංඝටකයන්ට අමතරව ඉහතකී ආහාරයන් තුල තැවරී ඇති, මෙම රෝග වලක්වන අභිරහස්ගත ද්‍රව්‍ය මොනවාදැයි සොයන්නට විද්වත්තු පෙරට ආවෝය. මිනිස් සිරුරට ඖෂධීය මාත්තුවක් එක්කරන මෙම අමුතු ආහාර කොට්ඨාශය ‘ක්‍රියාකාරී ආහාර’ (Functional Food) වශයෙන් දැන් හඳුන්වාදී තිබේ. වසර 2500 කට ඉහතදී හිපොක්‍රටීස් පැවසුවේත්, පසුගිය සතියකදී අපේ ගමේ එළවලු වෙළෙන්දිය පැවසුවේත් ‘ක්‍රියාකාරී ආහාර’ ගැනය. මේගැන දැනුවත්ව සිටීම පාසැල් සිසුවෙකුට වුවද ප්‍රයෝජනවත් යයි සිතේ.

පෝෂණ ගුණයට අමතරව එහි තැවරුණු යමක් ඇත්නම් ආහාරයට ‘ක්‍රියාකාරී’ යන විශේෂණ පදය යොදන විට සියලුම ආහාර යම් පමණකට ක්‍රියාකාරී ආහාර බවට සිතුවිලි පහල වන්නේ නම් එයද සාධාරණය. මන්දයත් මිනිස් සිත ඇද බැඳ ගන්නා රසය, සුවඳ, වර්ණය වැනි ගුණාංගයන් ඕනෑම ආහාරයක අන්තර්ගත වන බැවිනි. සංවේදක පද්ධතීන්ට කිසියම් ප්‍රියමනාප භාවයක් නැත්තේ නම් එය ආහාරයක් නොවේ. මේ නිසා ක්‍රියාකාරී ආහාර යනු මෙන්න මේවායයි නිශ්චිතව පවසන්නට කිසිවෙකු සමත්වන්නේ නැත. එසේ වුවත් යම් ආහාරයක අන්තර්ගත වී ඇති නිදන්ගත රෝග වළක්වාලීමේ හැකියාව හෝ මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අනුබලදීම වැනි ගුණාංගයන් ගැන අවධානය යොමුකරද්දී, ‘ක්‍රියාකාරී ආහාර’ යනුවෙන් වෙනම කොටසක් ඉස්මතු වෙනු පෙනේ.

සෞඛ්‍යය අංශයන්ගේ ඔපමට්ටම් වීම හමුවේ සමාජයේ වැඩිහිටි ජනගහනයේ ක්‍රමික වැඩිවීමක් ලොව සෑම තැනකින්ම අසන්නට පුළුවන. ජීවිත අපේක්‍ෂාව නමැති දර්ශකය ඉහල යනවා යනු කරුමයක් පලදීමක් යයි ප්‍රකාශ කරන මෙරට වැඩිහිටියන්ද අප අතර සිටින්නේය. මන්දයත් ඔවුන්ව රැකබලාගැනීමේ ශක්තිමත් වැඩසටහනක් වෙනුවෙන් රාජ්‍ය හෝ පෞද්ගලික මැදිහත්වීමක් මෙහි නොමැති බැවින් වයසට යනවා යනු දුක, වේදනාව වෙත කෙරෙන ගමනක් යයි සිතුවිලි පහලවීමද පුදුමයක් නොවේ. වැඩිවෙන ජීවන වියදමට සරිලන්නට යයි කියා කෙරෙන රාජ්‍ය සේවක සොච්චම් වැටුප් වැඩිවීමක්වත් මේ අබල දුබලයින්ට, විශ්‍රාමිකයින්ට පිරිනමන්නට බලධාරීන්ට උවමනාවක් නැත. ඔවුන් සිතනවා ඇත්තේ වසර තිහ හතලිහක් සේවය කර, මිනිසා පෙන්ෂන් ගිය පසු ඔහුගේ ශරීර කූඩුව තුල ඇති අවයවද විශ්‍රාම ගන්නවා ඇතැයි කියාය. අපේ චින්තනය එවන් මාවතක ගියද බොහොමයක් රටවල වැඩිහිටි ප්‍රජාවට සලකනු ලබන්නේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයෙනි.

ජපානය, 80 දශකයේදී ලොව මුල් වරට ‘ක්‍රියාකාරී ආහාර’ යන සංකල්පය ඉදිරිපත් කරන ලදී

වයස්ගත වෙත්ම වැළඳෙන බෝ නොවන රෝග නිසා මෙම ජ්‍යෙෂ්ට පුරවැසියනට මුහුණ දෙන්නට සිදුවෙන බරපතල සෞඛ්‍යය වියදම් ගැන කනස්සල්ලට පත් ජපානය, 80 දශකයේදී ලොව මුල් වරට ‘ක්‍රියාකාරී ආහාර’ යන සංකල්පය ඉදිරිපත් කරන ලදී. දියවැඩියාව, ආඝාතය, පිළිකා, හදවත් රෝග වැනි නිදන්ගත රෝගයන්ගෙන් බේරීම සඳහා, සාධනය කල සාක්ෂි සහිතව යම් ආහාරයක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ සඳහා විශේෂ මුද්‍රාවක් ඔවුන් විසින් ලබාදුන්නේ මහජනතාවට එවැනි ආහාර පහසුවෙන් හඳුනාගෙන පරිභෝජනය කිරීම සඳහාය.

වයසක ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නට ජාතික ධනය වැයකරනවාට වඩා මෙය ලාභදායී බව ලොව සැමටම කලින් ජපනා නමැති හපනාට තේරුම් ගොස් තිබිණ. ජපානයේ සෞඛ්‍යය හා සුබසාධන අමාත්‍යාංශය මේ ආහාර හඳුන්වා දෙනු ලැබුවේ “විශේෂිත සෞඛ්‍යය ප්‍රයෝජනයක් සඳහා වූ ආහාර” (Food for Specified Health Use) වශයෙනි. එහි මුල් අකුරු කීපයක් ඈඳාගෙන තම භාෂාවට ගැලපෙන්නට ‘ෆෝෂු’ (FOSHU) යනුවෙන් කෙටි යෙදුමක්ද සාදාගෙන තිබුණි. 2002 වසරේ මැද භාගය වනවිට ආහාර නිෂ්පාදන 300 කට වැඩි ගණනක් ජපානය තුල ‘ෆෝෂු’ මුද්‍රාවට හිමිකම් ලැබීය.

අපගේ කෘෂිකර්ම වත්පිළිවෙත් හා ආහාර සංස්කෘතිය පරිනාම ගතවූයේ ‘ජනගහනය වැඩිවෙනවා, කෑමට යමක් වවාගත යුතුයි’ යන අඳෝනාව සමනය කරන්නට

අපගේ කෘෂිකර්ම වත්පිළිවෙත් හා ආහාර සංස්කෘතිය පරිනාම ගතවූයේ මනුෂ්‍ය වර්ගයාගේ හිත සුව පිණිස වූ ගැඹුරු අරමුණු පෙරදැරිවද, එසේත් නැත්නම් ‘ජනගහනය වැඩිවෙනවා, කෑමට යමක් වවාගත යුතුයි’ යන අඳෝනාව සමනය කරන්නට යෙදිය යුතු මතුපිට පැලැස්තරයක උවමනාවටදැයි විමසා බැලිය යුතු කාලය එළඹ තිබේ.

කම්හලකින් භාණ්ඩ නිපදවන්නාසේ මහා පරිමාණයෙන් ගුණාගුණ නොවිමසා ආහාරද නිපදවිය යුතු බවට මත පලකෙරුණි. ආදර්ශයට ගත්තේ 1903 ජූනි 13 වෙනි දින ඇමරිකාවේදී ස්ථාපනය කරන ලද හෙන්රි ෆෝර්ඩ් ගේ රථවාහන ෆැක්ටරියයි. එහි සිදුවූ මහා පරිමාණ වාහන එකලස්කිරීම වෙනුවෙන් ෆෝර්ඩිසම් (Fordism) නොහොත් ෆෝර්ඩිසිකරණය යනුවෙන් යෙදුමක්ද භාෂාවට එකතුවූ අතර ශාක සහ සතුන් නිෂ්පාදනයද මේ සිත්පිත් නැති ෆොර්ඩිසිකරණයට හසුවිය. ගොවිතැන කාර්මීකරණය වුනි. විශාල යන්ත්‍රෝපකරණ මිනිසාගේ උරපේශි වලින් මුදාහැරි ශක්තිය පරදවා ඉස්මතුව ආවේය. නගුල වෙනුවට කෘෂිරසායන ද්‍රව්‍යයත්, උලාකෑම වෙනුවට සකස් කල ආහාර මල්ලත්, මිශ්‍ර වගාව වෙනුවට එකම බෝගයක් යොදාගත් මහා පරිමාණ ගොවිතැනත් ආදේශ විය.

පෙර විසූ ජනතාව තමාගේ පෝෂණ හා සෞඛ්‍යය අවශ්‍යතා සඳහා පරිසරයේ ජෛව විවිධත්වය මත යැපුනත්, බිහිවූ මෙම වෙළඳාම පාදක කෘෂිකර්මාන්තය යටතේ පහසුවෙන් වගාකලහැකි, වැඩි පලදාවක් දෙන බෝග වර්ග කීපයකට ඉබේම මහපොළොව සීමා විය. අද වන විට ලෝකයේ ආහාර හා ශක්ති අවශ්‍යතාවයෙන් 95% ක්ම සපයන්නේ බෝග වර්ග 30 කින් පමණය. ජෛව විවිධත්වයක් රහිතව ලොවට බිහිවී, එහෙත් තම බලපුළුවන්කාරකම් නිසා කාන්තාර පවා අස්වද්දමින්, පිටරටවලටත් පටවන්නට තරමට ආහාර නිපදවන රටවලට මෙය එතරම් කනස්සල්ල ගෙනදෙන්නක් නොවේ.

එහෙත් ශාක විශේෂ 7000 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඌනභාවිත මාදිලි වශයෙන් කිසිවෙකුගේ අවධානයට ලක්නොවී වනගතව කල් ගෙවන්නේ නම් එය අභාග්‍යයකි. වඩාත් අවාසනාවන්ත තත්වය නම් මෙම ශාක විශේෂ මිල කල නොහැකි තරමට පෝෂණ පදාර්ථ, විටමින හා ඛනිජ දරනවාට අමතරව, රෝග හා පලිබෝධකයින්ට ප්‍රතිරෝධී වෙමින් මනා පරිසර අනුවර්තනයක්ද පෙන්නුම් කරමින් සැඟවී ජීවත් වීමය.

තිරිඟු පිටි වලින් එහාට කෑමක් ගැන හිතන්නටවත් ඇතැමුන් අකමැතිය

අපද මෑතක සිට මේ මෝස්තරයට ගොදුරු වෙමින් ඒකාකාරී ආහාරයක් මත යැපෙන්නට පටන්ගෙන තිබේ. තිරිඟු පිටි වලින් එහාට කෑමක් ගැන හිතන්නටවත් ඇතැමුන් අකමැතිය. විවිධ හැඩයට තනා, එකම ද්‍රව්‍ය ඇතුලට පුරවා, එහෙත් විවිධ මිල ගණන් වලට විකුණන කෙටි කෑම කැබිනෙට්ටුවක් නැති පිටිසර ගමක් වත් සොයාගත නොහැකි තරමට තත්වය ඔඩුදුවා තිබේ. මෙවැනි සශ්‍රීක රටක වුවද, වර්ග 4000 ක පමණ විවිධත්වයකින් තේරී බේරී අවුත්, වාණිජ වගා තත්වයට පත්ව ඇත්තේ 70 කටත් වඩා අඩු ශාක ප්‍රභේද ගණනකි.

ශරීරයේ සිදුවෙන යම් යම් අභ්‍යන්තර ප්‍රතික්‍රියා නිසා හෝ පිටතින් පැමිණෙන අපද්‍රවයන් වන වායු ධූෂණය, අධික ලෙස පාරජම්බුල කිරණයන්ට නිරාවරණය වීම වැනි දේ නිසා හෝ දුම්බීම වැනි වැරදි ඇබ්බැහිවීම් නිසා හෝ දේහය තුල යම් ‘නිදහස් ඛණ්ඩක’ (Free Radicles) වර්ගයක් නිපදවෙන බව නූතන වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීමකි. මෙම අස්ථායී ඛණ්ඩක දේහයෙන් බැහැර කරගත නොහැකි වූ විට, ඒවා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාකර නොහොත් ‘ඔක්සිකරණය’ වී දේහ සෛලවලට යම් ආතතියක් ඇතිකරමින් දේහයේ ක්‍රියාකාරිත්වය අවුල් කරන නිසා ශරීරය යම් රෝගී තත්වයන්ට ගොදුරුවේ.

හදවත් රෝග, පිළිකා, ආඝාතය, ආතරයිටීස් වැනි තත්වයන් මීට උදාහරනවේ. වෛද්‍යවරුන් පවසන්නේ පිටතින් ගන්නා ‘ප්‍රතිඔක්සිකාරක’ (Antioxidants) නම් ද්‍රව්‍ය හරහා ඉහත කී අණු ඔක්සිජන් සමග එකතුවී ඇතිකරන ප්‍රචණ්ඩත්වය සමනය කල හැකි බවකි. පෙර විසූවන් මේ කිසිවක් නොදැන ආහාරයට ‘ප්‍රතිඔක්සිකාරකයන්’ එකතු කරගෙන තිබීම කාගේ හෝ විශ්මිත දැනුමක් හරහා වී ඇති අපූරු සිදුවීමකි. නූතන මිනිසා ක්‍රියාකාරී ආහාර ලෙස සලකන බොහොමයක් දෑ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූනය. හිපොක්‍රටීස් ආහාරය ඖෂදයක්ද, බෙහෙත ආහාරයක්ද කරගන්නා ලෙස දුන් ඔවදනෙහි සැඟවුණු අරුතද මෙයයි.  

ආදී ශිෂ්ඨාචාර වල පවා සුදුලූනු වලට තිබුනේ ආහාරයට වඩා ඖෂධීය වටිනාකමකි

ඊජිප්තු, බැබිලෝනියා, ග්‍රීක, රෝමානු හා චීනයේ ආදී ශිෂ්ඨාචාර වල පවා සුදුලූනු වලට තිබුනේ ආහාරයට වඩා ඖෂධීය වටිනාකමකි. අද මෙය සුලභව ආහාරයක් ලෙස සැලකුවද, එය බෙහෙතක්ද වන නිසා ක්‍රියාකාරී ආහාරයකි. ඈත අතීතයේදී ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩකයින්ට පවා සුදුලූනු ලබාදෙමින් ඔවුන්ගේ ජවය වැඩිකිරීමට ක්‍රියාකළ බවද, කම්කරුවන්ගේ තෙහෙට්ටුව මගහැරවීමට මින් පිළියෙළ කල පානයන් ලබාදුන් බවටද වාර්තා තිබේ. අන්තර්ගත ප්‍රධාන රසායන ද්‍රව්‍ය වන්නේ ‘ඇලිසින්’ නමැති සල්ෆර් නොහොත් ගෙන්දගම් සහිත ද්‍රව්‍යයි. ඇතැමුන්ට අප්‍රිය සහිත ගන්ධයක් නිකුත් වන්නේ මෙම සල්ෆර් සංයෝග නිසාය. කෙසේ වෙතත් මේවා හැදෙන්නේ සුදුලූනු පොඩිවෙන විටය. යම් කරුණක් වසන් කිරීම උදෙසා කවුරුන් හෝ බොරුවක් ගොතන විට ‘සුදුලූනු පොඩිකරන්නට එපා’ යයි පවසන යෙදුමක් පවා ජනවහරට එකතුවී ඇත්තේ සියලු ගන්ධයන් අභිබවා ඉස්මතුවිය හැකි මෙම ප්‍රබල ‘සුදුලූනු සුවඳ’ නිසාය. කෙසේ වෙතත් මෙම සංයෝග නිපදවීමෙන් පසු කල් නොපැවතී විනාශ වීමද සිදුවන්නේ ඒවා ඉතා අස්ථායී සංයෝග බැවිනි.

සති හතරක කාලයක් තිස්සේ කාර් බැටරි නිපදවන කම්හලක සේවකයින්ට සුදුලූනු කන්නට දෙමින් ඔවුන්ගේ රුධිරගත ඊයම් අන්තර්ගතය මැන බැලූවිට සනාථ වූයේද, 19% ක ප්‍රමාණයකින් ඊයම් සාන්ද්‍රණය රුධිරයේ පහල බැස ඇති බවයි. ඊයම් වැනි බැරලෝහ වලට නිරාවරණය වන බැටරි කම්හලේ සේවකයින්ට සුදුලූනු හරහා එවන් රැකවරණයක් ලැබුවේ එය ක්‍රියාකාරී ආහාරයක් බැවිනි. ප්‍රතිශක්තිකරණය ඉහල නැංවීම, රුධිර පීඩනය පහල හෙලීම, අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කිරීම ආදී ආහාරයකට අමතරින් දේහය තුල ක්‍රියාකාරී වන අවස්ථාවන් ගණනාවක්ම සුදුලූනු පිළිබඳව වාර්තා වේ.

වම්බටු පිටි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූනය

වම්බටු අපට හොඳට හුරුපුරුදුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන් අතරට යන මට්ටමට සංවිධානාත්මකව නිපදවූ පළමු දේශීය දෙමුහුම් එළවළුවද වම්බටුය. එහි නිෂ්පාදනය ගත්කල ලෝකයේ කප් ගසා සිටින්නේ චීනයයි. 2017 දී ලෝකයේ නිපදවූ බටු ටොන් මිලියන 72 න් 63% ක්ම හැදුවේ චීනයේ වන අතර ඉන්දියාව 24% ක්ද ඊජිප්තුව 2.5% ක්ද සාදා තිබේ.

ලංකාවේදී අස්වැන්න විකුණාගත නොහැකිව අපතේ යන එළවලු තොගයේද සෑහෙන කොටසක් කුණු වම්බටු තිබේ. නාස්තිය අවම කරමින් කල්තබා ගැනීමේ ක්‍රමයක් ලෙස කුඩා කැබලි වලට කපා උදුනේ වියලා පිටි සෑදීම විදෙස් රටවල පර්යේෂණාත්මකව තහවුරු වී දැනට වාණිජ වශයෙන්ද කෙරෙන නිෂ්පාදනයකි. මේ පිටි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූනය. වෙනත් පිටි වර්ගයක් ඇසුරෙන් නිපදවන ආහාරයක් ක්‍රියාකාරී ආහාරයක් බවට පත්කිරීමට මෙයින් සුළු ප්‍රමාණයක් සෑහෙන බව පෙන්වා දී තිබේ. මෙරට ක්‍රියාත්මක වන ආහාර පර්යේෂණ ඒකකයන් මේ ගැන අවධානය යොමු කරන්නේ නම්, ලාංකිකයින්ගේ ක්‍රියාකාරී ආහාර පරිභෝජනයේ ප්‍රගමනයක් මෙන්ම, පසු අස්වැනු හානියට විසඳුමක්ද ඒ හරහා ලැබෙනු ඇත. මේ සඳහන් කෙරුවේ ක්‍රියාකාරී ආහාරයන්ට සරල දේශීය උදාහරණ දෙකක් පමණි.    

පසුගිය සතියේදී ගන්නෝරුවේ පවතී සමුළුවකදී ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රේණුක සිල්වා මහතා අපූරු කතාවක් කීවේ ප්‍රේක්ෂකයෙකු නැගූ පැනයකට පිළිතුරක් වශයෙනි. ප්‍රශ්නය වුයේ ආත්මය සුවපත් කරන, අඩු අවධානයක් ඇති මෙවැනි ආහාර රසයෙන් ආකර්ශනීය නොවන නිසා ජනප්‍රසාදයට පත්වීමේ මන්දගාමීත්වය ගැනයි.

“ඒක අපේ ආහාර තාක්ෂණ අංශයේ වැඩක්. ඒ අය මේවායේ පාට, රසය, වයනය ආදිය ගුනහානිවීමට නොදී වෙනස්කරලා, අගයක් එකතුකරලා වෙළඳපොළට එවන්න ඕනෑ. දෙමාපියනුත් කුඩා කාලේ සිටම දරුවන්ගේ දිව මේවායෙන් එන විවිධ රසයට හුරු කරන්න ඕනෑ, පැනිරසම පුරුදු නොකර.”

පැරණි දෙමාපියන්ට දරුවන්ට කවන්නට විච්චූරණ ෆාස්ට් ෆුඩ් තිබුනේ නැත. ඔවුහු කෙවිටේ  බලයෙන් හෝ විවිධත්වයෙන් සපිරි ආහාරයක් දරුවන්ට කැවූහ. ඒ නිසා අද ජීවත්වෙන වැඩිහිටි පරපුර කුඩා සන්දියේදී සෑහෙන තරමකට ‘ක්‍රියාකාරී ආහාර’ අනුභව කර සුවපත් වූ අය වෙතත් තමා ලැබූ වාසිය දරුවන්ට සම්ප්‍රේෂණය කරන්නට අසමත්ව සිටී. කෑම වෙනුවෙන්වත්  දරුවන්ට තරවටු කරන්නට අද අයිතියක් නැත. නියම දරු සෙනෙහසක් ඇත්නම් කෙලින් හිටගෙන තමා පැනගත් හැටේ කඩඉම, දරුවන්ටත් පන්නවන්නට ‘ක්‍රියාකාරී ආහාර’ පිළිබඳව මීට වඩා අවබෝධයක් මවුපියන් විසින් දරුවන්ට ලබාදිය යුතුවේ. එය නොකලහොත් ඉදිරි දිනයකදී තම සැඳෑ සමයේදී ඔවුන් දකිනු ඇත්තේ, චැනල් සෙන්ටර් පෝලිමේ ගාල්වී තම දරුවන් පනහේ කඩඉම පනින අයුරුය.           

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor