බුද්ධි අංශ මුහුණ දී සිටින අර්බුදයට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් විය යුතුයි – මහාචාර්ය ජී.එල්. පීරිස්

ආණ්ඩුව පිල් බෙදිලා පරස්පර නියෝග දෙනවා – ජනපතිත් කැබිනට් එක වර්ජනය කරන්න යනවා – විජිත් මලල්ගොඩ කොමිෂන් වාර්තාව කෝ ? – මේක කැද හැලියක් වන බව අපි කලින්ම කිව්වා – අගමැතිවරයා නිර්දෝෂි කරන්න බැහැ

විධායක – ව්‍යවස්ථාදායක ගැටුම හමුවේ ගත හැකි එකම විසඳුම මාස පහක් ආණ්ඩුව ගැට ගසා ගැනීම නෙව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන රට පාලනය කරන්න හැකි අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට ජනතාවට ඉඩ දීම බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි.

පීරිස් මහතා මේ බව අවධාරණය කළේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (10) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

මනුෂ්‍ය ජීවිත රැඳී පවතින්නේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය මත බව මේ වෙද්දී තහවුරු වෙලා අවසන්. මේ වන විට බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාව අස්කරලා. මොකක්ද කරපු වරද ? සිසිර මෙන්ඩිස්ට නියෝග ලැබුණා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවට ඇවිත් සාක්ෂි දෙන්න කියලා. ඔහු ඊට අවනත වුණා. විකල්පයක් තිබුණේ නැහැ. ඔහුට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. ඔහු හෘද සාක්ෂිය අනුව දන්න දේ ප්‍රකාශ කළා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ ? එතුමාගේ රක්ෂාව නැති වුණා. අස්වෙන්න කියලා එතුමාට නියෝග කළා.

ආණ්ඩුව පිල් බෙදිලා පරස්පර නියෝග දෙනවා

එළැඹෙන සතියේ බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා කැඳවා තිබෙනවා. මේ නිලධාරීන් මොනවාද කරන්නේ. ජනාධිපතිවරයා කියනවා එතැනට ගියොත් අස්කරනවා කියලා. සේවයේ යෙදී සිටින බුද්ධි අංශ නිලධාරින්ට තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්න අවසර දෙන්නේ නැහැ, එය නතර කරනවා යැයි ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරද්දි කතානායකවරයා තර්ජනය කරනවා නිලධාරින් පාර්ලිමේන්තුවේ නියෝග අනුව පෙනී නොසිටියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්න බව කියනවා. ඒ කියන්නේ මොනවා කළත් රක්ෂාව අහිමි වෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝගයට අවනත වෙනවාද ? කතානායකවරයාගේ නියෝගයට අවනත වෙනවාද ? මෙහි ප්‍රතිඵලය මොකක්ද ? බුද්ධි අංශ සම්පූර්ණයෙන් කඩා වැටීමයි. අද ඒ අයගේ රාජකාරියට වඩා වැදගත් රාජකාරියක් මේ රටේ නැහැ. පුළුවන් තරම් අඩුවෙන් සේවය කිරීම ඇඟට ගුණයි කියන පණීවිඩයයි රජයේ ක්‍රියාපටිපාටය තුළින් බුද්ධි අංශවලට තේරුම් ගන්න තියෙන්නේ. උනන්දුවෙන් ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන ගියොත් ඒකට වන්දිය විදියට රක්ෂාව නැති වෙනවා, හිරබත් කරන්න වෙනවා. අපි හිතන්නේ මෙය රජය චේතනාවෙන් කරන බවයි. ආණ්ඩුව රජයෙ නිලධාරීන්ට එක නියෝගයක් දෙන්න ඕනේ. ආණ්ඩුව දෙපිල බෙදිලා පරස්පර නියෝග දුන්නොත් බුද්ධි අංශය අවංකව උද්යෝගිමත්ව වැඩ කරන්නේ කොහොමද ?

ජනපතිත් කැබිනට් එක වර්ජනය කරන්න යනවා

අද වනවිට ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න බැරි විදයේ අර්බුදයක් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතිනවා. ඒකට හොදම උදාහරණයක් වෙන්නේ රටේ ජනාධිපතිවරයා කැබිනට් එක වර්ජනය කරන බවට කරන ප්‍රකාශයයි. කැබිනට් රැස්විමක් නිල වශයෙන් පවත්වන්න ජනාධිපතිවරයා සිටිය යුතුයි. එතුමා කැබිනට්ටුවට එන්නෑ කියන්නේ මේ රටේ ආණ්ඩුවක් නැති බවයි. කාටද මෙයට මැදිහත් විය හැක්කේ. මේ තත්ත්වයට එකම හව්හරණය අධිකරණයයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට වගකීමක් තියෙනවා. බුද්ධී අංශ නිලධාරීන්ට කාගේ හව්හරණයක්ද ? ජනාධිපතිවරයා හා කතානායකවරයාට මැදිවුණු ඔවුන්ට කරන්න තියෙන්නේ අධිකරණයට යන එකයි. ආයෙත් මිනිස්සු මැරෙන්න ඕනෙද ? මේ පක්ෂග්‍රාහී අර්බුදය විසදන්න ඊට වඩා ඉහළින් බලයක් තියෙන්නේ ශ්‍රී ලංකා අධීකරණයට විතරයි.

විජිත් මලල්ගොඩ කොමිෂන් වාර්තාව කෝ ?

මාධ්‍යයටත් විශේෂ කටයුතුත්තක් තියෙනවා. ආණ්ඩුව කියන විදියට අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශයට පත්කිරිම හේතුවෙන් සමාජයේ ප්‍රශ්න ඇති විය හැකියි කියලා මාධ්‍යට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ආණ්ඩුව සූදානම්. අපි ඊට එරෙහිව පෙනී සිටිනවා. විජිත් මළල්ගොඩ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අප්‍රියෙල් 21 සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන්න ජනාධිපතිවරයා කොමිෂමක් පත්කළා. ඒ වාර්තාවට මොකක්ද වුණේ ? ඇයි වාර්තාව හංඟන්නේ ? ජනතාවට වාර්තාව ඉදිරිපත් නොකරන්නේ ඇයි ?

මේක කැද හැලියක් වන බව අපි කලින්ම කිව්වා

2015 ජනාධිපතිවරණයට කලින් තිබුණු ඡන්ද ව්‍යාපාරයේදී අපි කිව්වා මේක කැද හැළියක් බව. මොවුන්ට අවශ්‍ය වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම විතරයි. මේ යුද්ධය ආණ්ඩුව තුළ ඉහළ මට්ටමකට ඇවිත් රටේ ආර්ථීකය කඩා වැටෙන බව අපි ජනතාවට කිව්වා. දැන් ඒ දේ වෙලාග රමේ ජනාතවයි වන්දි ගෙවන්නේ. ඇමැතිවරු මන්ත්‍රීවරු කිසිම ප්‍රශ්නයක් නැතිව ඔවුන්ගේ සියලු වරප්‍රසාද භුක්ති විදිමින් සුවසේ සිටිනවා.

කොහොම හරි ඇඳගෙන ආණ්ඩුවක් රටට අවශ්‍ය නෑ

ගිය සතියෙත් අලුතින් ඇමැතිවරු දෙන්නෙක් පත්කළා. මේ සියල්ල මැද හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පස්සේ කියනවා මෙය කළඹල විය යුතු තත්ත්වයක් නෙවෙයි. තව මාස පහයි තියෙන්නේ. ඒ ටික කොහොම හරි ගැට ගහගෙන යනවා කියලා. ඒ තත්ත්වයටයි ශ්‍රී ලංකා ආණ්ඩුව පත්වෙලා තියෙන්නේ. මේකද ජනතාව බලාපොරොත්තු වුණේ ? අද බිම් මට්ටමේ තියෙන ආරක්ෂාව මෙයයි. ජනාධිපතිවරයා රටේ නැති අවස්ථාවක ජීවිත සිය ගණන් නැති වෙන ව්‍යසනයක් රටේ සිදුවුණාම අගමැතිවරයා ත්‍රිවිද හමුදා අධිපතින් ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් රැස්විමකට කැඳවනවා. ජනාධිපතිවරයා ඒ අයට නියෝග දෙනවා අගමැතිවරයාගේ රැස්වීමට යන්න එපා කියලා. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට යන්නේ ජනාධිපති තෝරා ගන්න එතුමගේ පක්ෂයේ පිරිස්. මන්ත්‍රීවරුන් මොනවාද රටේ ආරක්ෂාව ගැන දන්නේ ? ආරක්ෂාව ගැන වගකීම් තියෙන අත්දැකිම් තියෙන නිලධාරීන් කොහාමද රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඒ වගේ අවස්ථාවක නිවැරදි විග්‍රහයක් කරන්නේ.

අගමැතිවරයා නිර්දෝෂි කරන්න බැහැ

පොලිස්පතිවරයා කියනවා තේරීම් කාරක සභාව ඉදිරියේ 2018 ඔක්තෝම්බර් මාසයේ සිට ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට කතා කළේ නැහැ කියලා. ඒ විදියට කොහොමද ආරක්ෂක මණ්ඩලෙයේ රැස්විම් පවත්වන්නේ ? ඒ විදියේ ආයතන අතර සම්බන්ධිකරණයක් නැතිව කොහොමද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නේ ? මාස දෙකකට වැඩි කාලයක් ආරක්ෂක කවුන්සිලය රැස්වෙලත් නැහැ. අපේ ආණ්ඩු කාලයේ හැම බදාදා දවසකම රැස් වුණා.

පාර්ලිමේන්තු කාරක සභාවේ අරමුණ වෙලා තියෙන්නේ සියලු වගකිම් මෛත්‍රීපාල සිරිසේන මහතා පිට දමා අනෙක් සියලු දෙනා සුදනන් විමයි. ආරක්ෂාව ගැන කැක්කුමකින් කරන දෙයක් නෙවෙයි. මෙයින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ගැළවෙන්න හැකියාවක් නැහැ. 2018 දී සහරාන්ට විරුද්ධව විවෘත වරෙන්තුවක් කැඳවා තිබුණත් කිසිදු පියවරක් ගෙන නැහැ. එදා නීතිය හා සාමය භාරව තිබුණේ එජාපයේ ඇමැතිවරුන්ට.

තේරීම් කාරක සබාවේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා හා ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පුන පුන ප්‍රශ්න කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නාද කියලා විතරයි. අගමැතිවරයාට දැනුම් දුන්නාද කියලා කිසිවෙක් අහන්නේ නැහැ. ඒකෙන් කිසිම විශ්වාසදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්න කිරීම ප්‍රශ්න සහගතයි. හරින් ප්‍රනාන්දු කියන විදියට ගැට ගහගෙන යනවා වෙනුවට රටේ ආරක්ෂාව හා ආර්ථිකයගැන හිතලා රජය තීන්දු තිරණ ගත යුතුයි.

මේවා සම්පූර්ණ උමතුවෙන් කරන වැඩ

ගිය සතියේ රජයේ සුරැකුම්වල විදේශීය ආයෝජන රුපියල් බිලියන 4.5ක් ඒ කියන්නේ මිලියන 4500ක් රටෙන් ගිහින්. රටේ ආර්තීකය කඩා වැටිලා කියන එක එයින් පේනවා.

පරිසරය ආරක්ෂා කරන්න කියලා වඩු මඩු වසා දමන්න හදනවා. පරිසරය ආරක්ෂා කරන අතරේ මිනිසුන්ගේ ජීවනෝපාය ආරක්ෂා කරන වැඩපිළිවෙළකටයි එළැඹෙන්න ඕනේ. මේ සම්පූර්ණයෙන් උමතුවෙන් කරගෙන යන වැඩපිළිවෙලක්. මේකට විසඳුම මාස පහක් ගැට ගසා ගැනීම නෙවෙයි. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන රට පාලනය කරන්න හැකි අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට ජනතාවට ඉඩ දිමයි කළ යුත්තේ.

Recommended For You

About the Author: Editor