රජයකට ආණ්ඩු කරන්න නම් ඒ තුළ සමගියක් තිබිය යුතුයි – අනුර ප්‍රියදර්ශන යාපා

අද වන විට රටේ බලය පාලක පන්තියෙන් ගිලිහිලා – රටේ ප්‍රධාන ප්‍රශ්නය දැන් ආණ්ඩුවෙන් ගිලිහිලා – ඉන්ධන මිල සුත්‍රය ගෙනාවේ ටැක්ස් ටැක්ස් ගහන්නද? – වෛද්‍ය සාෆි අද ලොකු ප්‍රශ්නයක් – සමෘද්ධිය දේශපාලනීකරණය කිරිම වැරදියි – කතානායකවරයා තමන්ගේ කීර්තිය නැති කර ගත්තා

රටේ සැබෑ ප්‍රශ්නය සෙවිම වෙනුවට වෙනත් ප්‍රශ්නවලට මහජනයා යොමු කරමින් ගැටුම් ඇති කරනවා නම් එය රටට කරන බරපතළ වැරැද්දක් බවත් රජයකට ආණ්ඩු කරන්න නම් ඒ තුළ සමගියක් තිබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියයි.

අනුර ප‍්‍රියදර්ශන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (12) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අනුර ප‍්‍රියදර්ශන මහතා,

අද වන විට රටේ බලය පාලක පන්තියෙන් ගිලිහිලා

ජනාධිපති අගමැති විතරක් නෙවෙයි දැන් කතානායකවරයාත් අවිඅමෝරාගෙන ඉන්නේ. මේ තුන්පාර්ශ්වයට එකිනෙකාට දොස් පවරා ගන්නවා මිස රටේ පාලන බලය ගැන බලන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යෝජනා කරන නම් වෙනුවට අමාත්‍යංශවල නියෝජ්‍ය අමාත්‍යවරුන්වම වැඩ බලන ඇමැතිවරුන් ලෙස පත්කරන්න ජනාධිපතිවරයා තිරණ කළා. මේකෙන් අර්බුදය වැඩි වුණා. අද වන විට රටේ බලය පාලක පන්තියෙන් ගිලිහිලා.

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වහාබ් අන්තවාදය ගැන පරික්ෂණ පැවැත්වෙනවාද අපි කිසිවෙක් දන්නේ නැහැ. රජයේ අවධානය ඊට යොමු නොවිම නිසා අපි ඉන්නේ වෙනදාටත් වඩා අනාරක්ෂිත තත්ත්වයක. ලංකාවේ නිදහසින් පස්සේ මෙවැනි තත්ත්වයක් ඇති වුණු පළමු අවස්ථාව. 

ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය අපිට තේරුම් ගන්න වෙනවා. ව්‍යවස්ථාවේ හත්වෙනි පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ විධායකයේ සන්නද්ධ සේවාවල ප්‍රධානියායි. කැබිනට් මණ්ඩලය පත් කිරිම නිති විරෝධීයි කියලා සභානායක කිරිඇල්ල කියනවා. කැබිනට් මණ්ඩලය රැස් නෙවෙන්නේ ඇයි කියලා සොයා බලා තත්ත්වය නිවැරදි කිරීමයි ඔවුන් කළ යුතු වන්නේ. අගමැති කියනවා පාර්ලිමේන්තුවේ 225ම රටට එපා වෙලාලු. ඒක ඔවුන්ගේ අලුත් කතාව. 225 කියන්නේ ආණ්ඩුව නෙවෙයි. ජනාධිපති අගමැති හා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුයි ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුව තමන්ගේ අකාර්යක්ෂමතාවය හංගලා 225ටම ඒ අකාර්යක්ෂමතාවය ගාවලා තමන්ට බැරි දේ අනිත් අයටත් බැහැ කියන්නයි හදන්නේ.

විපක්ෂයේ හොදට වැඩ කරන්න පුලුවන් අය ඉන්නවා.ඒ අය වැඩ කරලා තියෙනවා. වැඩ පෙන්වලා තියෙනවා. එයාලාගේ වැඩ බැරිකම හැමෝටම ආරෝපණය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයකයි අගමැතිවරයා ඉන්නේ.

රටේ ප්‍රධාන ප්‍රශ්නය දැන් ආණ්ඩුවෙන් ගිලිහිලා

පක්ෂයේ ජනාධීපතිවරයා සමග හෝ සමගියක් ඇති කරගන්න අගමැතිට බැරිවෙලා. රටේ ප්‍රධාන ප්‍රශ්නය දැන් ආණ්ඩුවෙන් ගිලිහිලා. පාස්කු ප්‍රහාරයෙන් 300ට වඩා මැරිලා 500ට වඩා තුවාල ලැබුවා. ඒ තුවාල වුණු අයට බෙහෙත් නැහැ. සෞඛ්‍ය ඇමැතිවරයා ඒ අය බලන්නවත් ගිහින් නැහැ. මේක ඛේදවාචකයක්. වැරදිකාරයෝ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ආගම අදහන්නන ගිය විතරයි.

අද බුරුතු පිටින් මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වෙලා. අපේ කිසිවෙකුට හෝ අත තිබ්බොත් ඇමැති පදවිවල ඉන්නේ නැහැ කියලයි මෙයින් කියන්නේ. මේක බරපතල තත්ත්වයක්. වැරදිකරුවෝ ඉන්නවා නම් පැමිණීලි දාන්න කියනවා. හදුසි නිතිය යටතේ ඕන කෙනෙක් අත් අඩංගුවට ගන්න පුලුවන්. එහෙම තියෙද්දි ඇමැතිවරුන්ට විතරක් පරීක්ෂණ පවත්වන්න සාක්ෂි ඉල්ලනවා. ඡන්ද ගොඩ රැක ගන්න අන්තවාදින් එක්ක වුනත් එකතු වීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලයි මෙයින් පේන්නේ.

ඉන්ධන මිල සුත්‍රය ගෙනාවේ ටැක්ස් ටැක්ස් ගහන්නද?

රටේ ආර්ථිකය දැන් හොදටම බිදවැටිලා. කෘෂි නිෂ්පාදනවලට මිලක් නැහැ. ඇමැතිවරු නිදි. අපේ පළාතේ පොල් තොග මිලට රුපියල් 20ටත් අඩුයි. කොළඹ පොල් විකුණන්නේ රුපියල් 55ටත් වැඩි මිලකටයි. පොල් සංවර්ධන මණ්ඩලය නිහඩයි. වගා කිරීමේ මණ්ඩලය සහ ඇමැතිත් නිහඩයි.

ගොවින්ට අද දුක කියන්න කෙනෙක් නැහැ. ගොවින්ට වියදම් කරපු මුදලවත් හොයාගන්න බැරිව අසරණ වෙලා. හැම මාසෙකම ඉන්ධන මිල වැඩිවෙනවා. ඉන්ධන මිල සුත්‍රය ගෙනාවේ ටැක්ස් ටැක්ස් ගහන්නද? නැත්නම් නැත්නම් ඛණිජ තෙල් සංස්ථාවේ අලාභය නැති කරගන්නද? ඇමැතිවරිය කියලා තිබුණු මේ වෙලාවේ රුපියල් 15ක්න් වැඩිකරන්න තිබුණු තෙල් මිලයි රුපියල් 3කින් වැඩි කලේ කියලා.

හැම වසරකදිම ජුනි මාසයේ ලෝකයේ තෙල් මිල අඩු වෙනවා.ලෝක තෙල් මිලත් එක්ක සමපාත වුනා නම් මේ විදියට තෙල් මිල වැඩි කරන්න බැහැ.  ආණ්ඩුව තෙල් මිල වැඩි කරන්නේ පඩි ගෙවිම් හා එදිනෙදා වැය සදහා මුදල් හොයා ගැනිමටයි. භාණ්ඩාගාරයට බදු ගැනීම අඩු වැඩි වීම විතරයි මිල සූත්‍රයෙන් වෙන්නේ. 

වෛද්‍ය සාෆි අද ලොකු ප්‍රශ්නයක්

වෛද්‍ය සාෆි අද ලොකු ප්‍රශ්නයක්. සිසේරියන් සැත්කම්වලදී කාන්තාවන් වදභාවයට පත්කළා කියලා චෝදනාව ඔහුට එල්ල වෙලි තියෙනවා. මේක අපිට හොයන්න බැහැ. හොයන්න අපිට තේරෙන්නෙත් නැහැ. සෞඛ්‍ය ඇමැති ඒ පිළිබදව නිහඩයි. ඇමැති පත්කරපු කමිටුවට සාක්ෂි දිම රෝහල් සේවකයින් ප්‍රතික්ෂේප කරනවා. වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම නියාමනය වෙන්නේ වෛද්‍ය සභාවෙන්. වෛද්‍ය සභාවේ සභාපති මේ සම්බන්ධයෙන් සභාවේ කතා කිරිම ප්‍රතික්ෂේප කරලා. වෛද්‍යවරුන්ගේ විෂමාචාර හොයලා ඔහු වෛද්‍යවරයෙක් විදියට කටයුතු කළ යුතුද කියලා තිරණය කරන්නේ කවුද? වෛද්‍යසභාව කියන්නේ ස්වාධින ආයතනයක්. 

සමෘද්ධිය දේශපාලනීකරණය කිරිම වැරදියි

සමෘද්ධිලාභින් ප්‍රමාණය ලක්ෂ හයකින් වැඩි කළා. නැති බැරි කෙනෙකුට සමෘද්ධි සහනාධාරය දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමෘද්ධිය දේශපාලනීකරණය කිරිම වැරදියි. සමෘද්ධිය ආරම්භ කරන අවස්ථාවේ ප්‍රධාන නිර්ණායකය වුනේ එවකට ආහාර මුද්දර සහිත විම. ඔවුන් සියලු දෙනාට සමෘද්ධිය දුන්නා. ඒකට දේශපාලනයක් සම්බන්ධ වුනේ නැහැ. පළවෙනි වතාවටයි සමෘද්ධි සහනාදාරය දේශපාලනිකරණය වීම පටන් ගත්තේ. මීට වඩා භයානක වන්නේ ඉතුරුම්ලාභින්ගේ ඉතුරුම් මුදල් රුපියල් 500 ගානේ කපලා ටිෂර්ට් මහලා දීලා බැංකුවලින්ම උත්සව පවත්වන්න දේශපාලනඥයෝ පියවර අරන් තියෙනවා. පයබරවායට පිටිකර බෙහෙත් බැදලා වැඩක් නැහැ. මේ නැති කරන්නේ ආන්ඩුවේ නැති වෙන කීර්තිය රදවා ගන්න. ඒක වෙන්නේ නැහැ. තියෙන කිර්තියත් නැති වෙන එකයි වෙන්නේ. කරුණාකරලා දේශපාලනය නැති බැරි මිනිස්සුන්ගේ සහනාදාරයට ඇතුල් කරන්න එපා. අපේ රටේ පාලනය වෙනුවට දැන් තියෙන්නේ දුර්පාලනයක්. ඇත්තටම ආන්ඩු බලය තියෙන්නේ කැටද. කතානායකවරයා මෙවැනි දේට මැදිවිමත් සුදුසු නැහැ. 

ආණ්ඩු කරන්න සමගියක් තියෙන්න ඕනේ


අද තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හැසිරිය යුතු ආකාරයට නෙවෙයි හැසිරෙන්නේ. කතානායකවරයා තමන්ගේ කීර්තිය නැති කර ගත්තා වගේම ඔහු නායකත්වය දරන පාර්ලිමේන්තුවේ කිර්තියත් නැති කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. රටේ සැබෑ ප්‍රශ්නය සෙවිම වෙනුවට වෙනත් ප්‍රශ්නවලට මහජනයා යොමු කරමින් ගැටුම් ඇති කරනවා නම් ඒක රටකට කරන බරපතල වැරැද්දක්. රජයක් තියෙන්නේ ආණ්ඩු කරන්න. ආණ්ඩු කරන්න සමගියක් තියෙන්න ඕනේ. මේ දුර්දාන්ත පාලනය වෙනස් කරන්න මහ මැතිවරණයකට යමු. බැරිකම වහගන්න බොරුවට ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න එපා . බැරි ආණ්ඩුව ජනතාවට බැරි බැරියාව හැදෙන්න කලින් කරුණාකරලා නික්ම යන්න. 

Recommended For You

About the Author: Editor