ශ‍්‍රී ලංකාව සාගරය ගැන දක්වන නොසැලකිල්ලට මුළු ලෝකයම දන්නා දෙයක් – ආචාර්ය ආශා ඩි වොස්ට

ශ‍්‍රී ලංකාව සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැති බවත් එම නිසාම ශ‍්‍රී ලංකාව සාගරය ප‍්‍රවේශමෙන් තොරව පරිහරණය කරන රටක් බවට මතයක් ජාත්‍යන්තර වශයෙන් නිර්මාණය වී තිබෙන බවත් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස්ට පවසයි.

ශ‍්‍රී ලංකාවේ සාගර සම්පත් පරිහරණය පිළිබඳ සිය අත්දැකීම් මත ඇය වැඩි දුරටත් මෙසේද ප‍්‍රකාශ කළාය.

අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ සාගරය ප්‍රවේශමෙන් තොරව පරිහරණය කරන බව ලෝකයේ ම ව්‍යාප්ත වෙමින් පවතින මතයක්. මුහුදු ජලයට ප්ලාස්ටික් එකතු වීම, පාලනයකින් තොරව කෙරෙන සංචාරක කර්මාන්තය නිසා තලමසුන්ට හානි වීම, නෞකාවල ගැටීමෙන් තල්මසුන් හානි සිදු වීම, ඩයිනමයිට් භාවිතය ආදී විවිධ ක්‍රියා නිසා කොරල් පර විනාශ වීම වගේ දේවල් නිසා සාගරය දූෂණය වෙමින් තියෙනවා. ඒ ක්‍රියාකාරකම්වල නිමක් නැහැ.ශ්‍රී ලංකාව සාගර සංරක්ෂණය ගැන අවධානයක් දීලා නැහැ. ඒත්, අවුරුදු කීපයක ඉඳන් සාගර සංරක්ෂණ ව්‍යාපාරය හරහා ගෙන යන වැඩපිළිවෙළ නිසා ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු වෙයි කියන අපේක්ෂාව මට තියෙනවා.

සාගර සම්පත් සංරක්ෂණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳ තම අදහස් පළ කළ ආචාර්ය ආශා ඩි වොස්ට මෙසේ ද සඳහන් කළාය.

ගොඩක් දේවල් කරන්න තියෙනවා. කෙටියෙන් කියනවා නම් ශ්‍රී ලංකාව කෙටි කාලීන ආර්ථික ප්‍රතිලාභ ගැන වැඩි අවධානයක් යොමු නොකර රටට අවශ්‍ය දීර්ඝ කාලීන ආර්ථික වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුයි. ඒ වගේ ම රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න ශ්‍රී ලංකාවට දැක්මක් තියෙන්න ඕන.

අපි ස්වාභාවික සම්පත් රැසකින් පෝෂණය වුණ ජාතියක්. ඒත් අපි හිතන්න හොඳ නෑ ඒවා සදාකාලිකව පවතිනවා කියලා. අපි ආත්මාර්ථකාමී නොවී අපේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඒවා සංරක්ෂණය කළ යුතුයි.

Recommended For You

About the Author: Editor