ලසන්ත – තාජුඞීන් ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන හතරක විමර්ෂණ කඩිනම් කරන්නැයි නීතිපති පොලිස් ප‍්‍රධානීන්ට දැනුම් දෙයි

නීතිපති දප්පුල ද ලිවේරා මහතා

ලසන්ත වික‍්‍රමතුංග සහ වසීම් තාජුඩීන් ඝාතනය, කප්පම් ලබා ගැනිම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මුතූර් හිදි රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබද පරීක්ෂණ කඩිනම් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී. වී වික‍්‍රමරත්න මහතාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

මෙහිදී ඇය වැඩි දුරටත් සඳහන් කර සිටියේ මෙම සිද්ධි හතරට අදාල සම්පූර්ණ විමර්ශන වාර්තා තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයා විසින් පොලිස් ප‍්‍රධානින්ට දැනුම්දී ඇති බවයි.

මෙම සිද්ධීන්ට අදාළ පරීක්ෂණවල අනිසි ප‍්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා නිරීක්ෂණය කර ඇති බව අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩි දුරටත් සඳහන් කළාය.

Recommended For You

About the Author: Editor