දෙස් විදෙස් බැතිමතුන්ගේ භක්ති වන්දනයට පාත‍්‍රවන කොරතොට රජමහා විහාරය

සුන්දරත්වයෙන් අනූන මනහර භූමි ප‍්‍රදේශයක පිහිටි කොරතොට රජමහා විහාරය බොහෝ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ පුණ්‍ය භූමියකි. තවද අතීතයේ පටන් දෙවියන් වෙනුවෙන් පුද සත්කාර සිදු කළ පින් බිමක් වූ මෙහි අදටත් බෝධි පූජා, සෙත් පැතීම්, ශාන්ති කර්ම සඳහා නන් දෙසින් භක්තිකයින් පැමිණෙයි.

ශ‍්‍රී ලංකාවේ පළාත් පුරාණයට අනුව බෙදුණු මායා රටෙහි හේවාගම් කෝරළයේ පල්ලේ පත්තුවට අයත් කොරතොට රජමහා විහාරයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මෙහි පැවති ස්වභාවික පිහිටීම මත ආරක්ෂක කටයුතු සඳහා යොදාගෙන ඇත. එනම් කොරතොට කඳු ශිඛරය රාවණ රජු සිය යුද කටයුතු සඳහා බලකොටුවක් ලෙසින් ද ඉන් අනතුරුව වළගම්බා රජුගේ යුද පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් ද පසුකාලීනව ටිකිරි කුමරුගේ අංගං සටන් පුහුණු කරන ස්ථානයක් ලෙසින් ද මෙය භාවිත කර ඇත.

ජනප‍්‍රවාදයෙහි සඳහන් පරිදි, මෙම ග‍්‍රාමය රණ කෙළියට ප‍්‍රසිද්ධ වූ බැවින් එය කෙළි තොට වූ අතර පසුකාලීනව කොරතොට බවට පත්විණි. වළගම්බා රජුගේ අනුග‍්‍රහයෙන් පුණ්‍ය භූමියක් වීම මෙම පුදබිමෙහි විශේෂත්වය වේ.

විහාරස්ථානයට ඇතුළුවත් ම ප‍්‍රදේශයේ ළදරුවන්ගේ ණැන පහන් දැල්වනු ලබන ළදරු පාසල නෙත ගැටෙයි.

ආවාස ගෘහයට යාබඳව ඇති ශෛල්‍යමය පඩිපෙළ තරණය කිරීමෙන් අනතුරුව පෞඪත්වය විදහාපාන විහාර මන්දිරය දර්ශනය වේ. කොරතොට රජමහා විහාරයේ ආගම් සහජීවනය ද පිළිඹ්බ වන මෙම බිම් ප‍්‍රදෙස තුළ සැතපෙන බුද්ධ ප‍්‍රතිමාව වැඩ සිටින විහාර ගෙය, හින්දු දේව ප‍්‍රතිමා, කටාරම් කෙටූ ගල්ලෙන සහිත උමං මාර්ගය, බෝධීන් වහන්සේ, ලෙන්ලිපි ආදිය ඓතිහාසික වටිනාකම කියා පායි.

තවද මෙහි වූ ලෙන් අතර ”මනාප දස්සින ලෙන” යනු ”පරුමක සුමන” විසින් පූජා කළ බවත් අනෙක ”මහබ්” රජ දියණිය විසින් පි¥ බවත් සඳහන් වේ.

විශේෂයෙන් ම විහාර මන්දිරය පිළිබඳ අවධානය යොමු කිරීමේදි, එහි චිත‍්‍රණය කර ඇති බිතු සිතුවම්වල සුන්දරත්වය මොනවට කියාපායි. බුදු රදුන්ගේ ලංකාගමනය හා සම්බන්ධ සුවිශේෂි සිදුවීම්, සීවලි මහා රහතන් වහන්සේ ,පස්වග මහණුන්ට ධර්මය දේශනා කිරීම ආදිය මෙහි වූ ගල් ලෙනෙහි බිත්තිය මත සිත්තම් කොට ඇත.

බස්නාහිර පළාතේ උසම සමාධි පිළිමය ලෙසින් හැඳින්වෙන උසින් අඩි 121ක් වන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පිහිටා තිබෙන්නේ ලෙන් විහාරගෙට ඉහළින් වූ කදු මුදුන මතයි. මෙම ස්ථානයට ගිය විට හාත්පස ම දර්ශනය වන අතර එහි වූ ප‍්‍රතාබවත් බව සහ දර්ශනීය බව දෙස් විදෙස් බැතිමතුන්ගේ භක්ති වන්දනයට හේතු වී ඇත.

විෂ්ණු, සමන්, කතරගම, පත්තිනි, ගණදෙවි, සූනියම්, භදාකාලී, ඊශ්වර දෙවියන් සඳහා මෙන්ම ප‍්‍රාදේශීය දෙවිවරුන් වන කඩවර, අයියනායක, දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා ඉදිකළ දේවාල මෙම පුදබිම තුළ දක්නට ලැබීම ද සුවිශේෂත්වයකි.

ඓතිහාසික වටිනාකමින් මෙන්ම දේශීය අනන්‍යතාව විදහා පාන කොරතොට රජමහා විහාරය සැබවින්ම ශ‍්‍රී ලාංකික අපට හිමි වූ මහඟු දායාදයකි. එය ආරක්ෂා කරගැනීම සමස්ත ජනතාවගේ ම වගකීමක් මෙන්ම යුතුකමක් ද වන්නේ ය.

සැකසුම – ප‍්‍රසාදිනි ජයලාල්

Recommended For You

About the Author: Editor