පාස්කු ඉරිදා කාරක සභාව හරහා හෙළිවන නායකයින්ගේ වගකීමේ සහ වගවීමේ තරම

නිලමෝර්ගේ සතිඅග දේශපාලන විමසුම

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සමස්ත සමාජ, ආර්ථික හා දේශපාලන ව්‍යුහයන් ක්ෂණිකව කම්පනයට හා දැඩි ව්‍යාකුලත්වයට පත් වූ බව අපි කවුරුත් පොදුවේ පිළිගන්නා කරුණක්. එවැනි තත්ත්වයක් ක්ෂණිකව නිර්මාණය වුණේ දශකයකට ආසන්න කාලයක් ‘‘අති සුරක්ෂිත රටක්’’ ලෙස අප තුළ තිබූ දැඩි විශ්වාසය සහ අභිමානයයයි.

දශක තුනකට ආසන්න කාලයක් මරබිය සමග ජීවත් වුණ, කොයි මොහොතේ, කොතැන බෝම්බයක්, මරාගෙන මැරෙණ බෝම්බයක් පත්තු වෙයි ද කියලා නොදැන සිටි සමාජයකට 2009 මැයි 19 වැනිදායින් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වුණ තිරසාර හැඟීම කිසිසේත් පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවෙයි.

පසුගිය දශකය පුරා ඇමෙරිකාවේ නිව්යෝර්ක්, ප‍්‍රංශයේ පැරිස් සිට ලෝකයේ දහසකුත් එකක් තැන්වල බෝම්බ පුපුරණ විට, මරාගෙන මැරෙන ප‍්‍රහාර දියත් වන විට ලංකාවේ අපිට, ලංකාවේ සුරක්ෂිතභාවය ගැන ඇති වුණ හැඟීම වචනවලින් විස්තර කළ නොහැකි දෙයක්.
‘‘ලෝකේ කොතැන බෝම්බ පිපිරුණත් ලංකාවේ නැවත එවැනි ඛේදවාචකයක් වෙන්නේ නැහැ’’ අපි කවුරුත් එහෙම හිතපු එක ගැන වරදක් ද නැහැ. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ලංකාවම භීතියෙන්, මරබියෙන් මුසපත් කළ ත‍්‍රස්තවාදය අපි සම්පූර්ණයෙන් සමූලඝාතනය කළ නිසා.

ලෝකෙට දැනුණ අයුරු

ලංකාව තුළ බිහි වූ සුරක්ෂිතභාවය පිළිබඳ හැඟීම පොදුවේ රට වැසියන් තුළ පමණක් නොවෙයි ජාත්‍යන්තරය තුළ පවා දැඩි විශ්වාසයක් ගොඩනැගුණ බව 2010 වන විට ක‍්‍රමිකව, වේගයෙන් වර්ධනය වූ සංචාරක ව්‍යාපාරය මගින් මනාව පැහැදිලි වුණා. ඒ නිසා තවත් වසර කිහිපයක් ගතවන විට ‘‘ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක් බවට ලංකාව’’ පත් වුණා.

ඒ තත්ත්වය තුළ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සේම වත්මන් ආණ්ඩුව ද ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය බවට සංචාරක ව්‍යාපාරය හඳුනා ගත්තා පමණක් නොවෙයි ඒ සඳහා රජයේ පූර්ණ කැපවීම ද ලබා දුන්නා.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් ක්ෂණිකව දැඩිම බලපෑමක් වුණේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිසංවේදී වන සංචාරක ව්‍යාපාරයට බව ඉතාම පැහැදිලි කරුණක්. එය වඩාත් බලපෑම් සහගත වුණේ කතෝලික පල්ලිවලට වඩා ප‍්‍රධාන හෝටල් ත‍්‍රිත්වයක් තුළත් දැවැන්ත මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් සිදු වූ නිසයි. අවංකව කල්පනා කළහොත් ප‍්‍රධාන සංචාරක හෝටල් අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත් නොවුණා නම් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සංචාරක ව්‍යාපාරයට මෙතරම් හානිදායක ලෙස බලනොපාන්න තිබුණා.

පාස්කු ඉරිදා පසු කම්පන

ඒත් මෙම ලියුම්කරු ඇතුළු බොහෝ දෙනෙක් පැහැදිලිව කියන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වඩා ආර්ථික, සමාජ හා දේශපාලනමය වශයෙන් ප‍්‍රබල ආතතියක් නිර්මාණය වුණේ දේශපාලනමය වශයෙන් ඇති කළ ‘‘අවස්ථාවාදී පසුකම්පන’’ නිසා බවයි. පාසල් ආරම්භ කිරීමට අවස්ථාව නොදීම, යළිත් රටපුරා මාර්ග බාධක යෙදවීම, පාසල් ඇතුළු පොදු ස්ථානවල යළිත් සන්නද්ධ සොල්දාදුවන් යෙදීම, රටපුරා පිහිටි මුස්ලිම් දේවස්ථාන සහ ඇතැම් විට නිවාසවලින් කඩු ඇතුළු ආයුධ ගබඩා සොයා ගැනීම වැනි දේ මගින් රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටම ක්ෂිණව හා දැඩිව සන්නිවේදනය වුණේ ‘‘අනාරක්ෂිත / කුමන මොහොතේ හෝ බිහිසුණු යමක් සිදුවිය හැකි’’ වාතාවරණයක් මිස වෙන යමක් නොවෙයි.

කොටින්ම පැය 72ක් ගත වන විට තීරණාත්මක ලෙස සහතික කර තහවුරු කළ ‘‘ජාතික ආරක්ෂාව’’ මේ දේශපාලන අවස්ථාවාදය විසින් නිර්මාණය කළ හා නඩත්තු කළ (කරමින් සිටින) ව්‍යාජ භීතිය මගින් අපයෝජනය කළා. එහි කූඨප‍්‍රාප්තිය ලෙස මැයි 13 වැනිදා මිනුවන්ගොඩ, කුලියාපිටිය වැනි තෝරාගත් ප‍්‍රදේශවල සිදු වූ ප‍්‍රහාර මාලාව සැලකිය හැකියි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් ක්ෂණික කම්පනයට පත් සංචාරක ව්‍යාපාරයය ඇතුළු ආර්ථික හා සමාජයීය ව්‍යුහය මේ ආකාරයට අතිෂය සැලසුම් සහගත ලෙසත්, සූක්ෂම ලෙසත් දියත් වූ පාස්කු ඉරිදා පසුකම්පන මගින් භීතියට පත් කළ බව රහසක් නොවෙයි. එය සැලකිය හැකිවන්නේ ‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් බිමට වැටුණු ආර්ථිකය හා සමාජයීය ව්‍යුහයේ ගෙළ පාගා දැමීමක්’’ වශයෙනුයි.

පාස්කු ඉරිදා දේශපාලන සුනාමිය

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පැය 72ක් ගත වන විට ජාතික ආරක්ෂාව තීරණාත්මක ලෙස තහවුරු කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණත්, තවත් සති කිහිපයක් යන විට ලංකාවේ සංචාරය නොකරන ලෙස එංගලන්තය, ජර්මනිය ඇතුළු ලංකාවේ ප‍්‍රමුඛ සංචාරක රටවල් විසින් පනවා තිබූ තහංචි ඉවත්ව තිබුණත් දේශපාලන ආතතිය, නැතහොත් දේශපාලන පසුකම්පන අපේ‍්‍රල් 21 වැනිදාටත් වඩා උග‍්‍රවීම සහ උග‍්‍ර වෙමින් තිබීම විමතියට වඩා කණස්සල්ලට කරුණක්.

මේ වන විට දේශපාලන ව්‍යුහය තුළ නිර්මාණය වී තිබෙන තත්ත්වය හැඳින්විය හැකි වන්නේ ‘‘පාස්කු දේශපාලන සුනාමිය’’ ලෙසයි. ඒ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සිදුවූ මොහොත් නිර්මාණය වූ පසුකම්පන බිහිසුණු ලෙස ඉදිරියට ඇදෙමින් තිබෙන්නේ මේ මොහොතේ නිසයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වඩා දැවැන්ත විනාශයක් සහ අසහනයක් මේ පාස්කු දේශපාලන සුනාමිය විසින් අවසානයයේ රටට උරුම කර දෙන නිසයි.

වගකීම සහ වගවීම

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවන අවස්ථාව වන විට ලංකාවේ දේශපාලන ව්‍යුහය තුළ, විශේෂයෙන්ම ආණ්ඩුව තුළ කිසිදු ආකාරයක දේශපාලන සංහිඳියාවක් හෝ අවබෝධයක් නොතිබූ බව පැහැදිලි කරුණක්. විධායකයේම සක‍්‍රීය / භාවිත කොටස වන අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර පැවති විභේදනය ප‍්‍රකට කරුණක්. එය ඔක්තෝර් 26 දේශපාලන කුමන්ත‍්‍රණයේ දිගුවක් කියනවාට වඩා 2015 ජනවාරි 09 වැනිදා සිට රෝපණය වූ පිළිලයක් වශයෙන් හැඳින්වීම වඩාත් නිවැරදි විය හැකියි. එය ජනවාරි 08 වෙනසට දායක වූ 62 ලක්ෂයක් ජනතාවට බොහෝ නීරස කතාවක් වුවත් ඇත්ත එය බව පිළිගත යුතුයි.
අද ජනවාරි 08 වෙනසට දායක වූ / ඡන්දය ප‍්‍රකාශ කළ පුරවැසි බහුතරය පමණක් නොව සමස්ත පුරවැසියන් ද අසහනයටත් වික්ෂිප්තභාවයටත් පත්ව සිටින ‘‘පශ්චාත් පාස්කු ඉරිදා දේශපාලනය’’ වටහා ගැනීමට ගැනීමට සමත් විය යුතුයි.

මේ තත්ත්වය ලංකාවේ දේශපාලනයටත් පොදුවේ සමාජයටත් නුපුරුදු හෝ නොතකන ‘‘වගවීම’’ මත සාකච්ඡුා කළ යුතුයි.

ජාතික ආරක්ෂාව ඍජුව සේනාධිනායකයා, ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනපතිගේ ඍජු වගකීමක් වුවත් පොදුවේ ගත් විට එය සමාජයේ තෘණමූල මට්ටම / පුරවැසියා දක්වා ගමන් කරන ‘‘වගවීමක්’’ (ස්වේච්ඡවෙන් ඇති කර ගන්නා වූ බැඳීමක්) බව අමතක නොකළ යුතුයි.

ජනතාව කතා වෙන දේ

එහෙත් අද සමාජය තුළ, දේශපාලන සංවාද තුළ සාකච්ඡ වන්නේ ‘‘වගකීම’’ ගැන මිස ‘‘වගවීම’’ ගැන නොවෙයි. වගකීම් පැටවිය හැකි වුවත් පැවරිය හැකි වුවත් වගවීමක් එසේ කළ නොහැකි බව කිසිවෙකු වටහා ගෙන ඇති බවක් දැකිය නොහැකියි. මේ තත්ත්වය ගමේ ගොඬේ සිදුවන දේශපාලන ඕපා¥ප කතාවල සිට වඩාත් වියත් සහ හරබර ලෙස සිදුවන බව කියන (?) විද්‍යුත් මාධ්‍ය සාකච්ඡ දක්වාත් අවසාන වශයෙන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දක්වාත් ඉතා පහසුවෙන් වටහා ගතහැකියි.

‘‘ඒක මගේ වගකීම නෙමෙයි’’ ‘‘අපි කිව්වා / මම දැනුම් දුන්නා’’ ආදී හුදු ‘‘වගකීම’’ මත පමණක් කේන්ද්‍රගත වූ / නාභිගත වූ ප‍්‍රකාශ තොග පිටින් අපිට දකින්නට ලැබෙන්නේ අපි අති බහුතරය පොදුවේත්, පුරවැසියෙක් ලෙස පුද්ගලිකවත් ‘‘වගවීමට’’ බැඳී නොසිටි නිසා බවයි පාශ්චාත් පාස්කු ඉරිදා දේශපාලනය විසින් අඛණ්ඩව ඔප්පු කරමින් සිටින්නේ.

මේ අවාසනාවන්ත තත්ත්වය සැලකිය හැකිවන්නේ ‘‘දුවලව බලාගන්න එක, හරියට හදා ගන්න එක අම්මගේ වගකීමක් / වැඩක්’’ යැයි කියමින් තම දියණිය තරුණයෙකු සමග රෙස්ට් හවුස් එකකට යනු දකින පියෙක් ඒ ගැන කිසිත් නොකියා ගෙදර විත් බිරිඳට කරන බැණවැදීමක් ලෙසයි.
වගකීම සහ වගවීම නිසි පරිදි හඳුනා ගැනීමට /වටහා ගැනීමට මේ උදාහරණය හොඳටම ප‍්‍රමාණවත්.

මේ වන විට, සිදුවිය යුතුම පරිදිම ජනපතිවරයා සහ ආණ්ඩුව අතර දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ඇති බව හැඟීයන ‘‘පාස්කු ඉරිදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’’ ගැන කතා කළ යුත්තේ ඉහතින් සඳහන් කළ ‘‘පශ්චාත් පාස්කු ඉරිදා දේශපාලනය’’ වගේම ‘‘වගකීම හා වගවීම’’ මත පදනම්වයි.

පාස්කු ඉරිදා දේශපාලනය ගත් විට ඉතාම පැහැදිලිව හඳුනාගත හැකි වන්නේ වත්මන් ආණ්ඩුවට සහාය දක්වන (විශේෂයෙන් මුස්ලිම්) දේශපාලන කණ්ඩායම් දුර්මුඛ කිරීමටත් වඩා ඔවුන් දඩයම් කිරීමට, භීතියට පත් කිරීමට පශ්චාත් පාස්කු ඉරිදා දේශපාලනය ක‍්‍රියාත්මක වන බවයි. මෙහිදී පසුගිය සතියේ අවධාරණය කළ පරිදි ඔක්තෝබර් ආණ්ඩු කුමන්ත‍්‍රණයට සහාය නොදුන් මුස්ලිම් දේශපාලනය පමණක් නොව සමස්ත මුස්ලිම් සමාජයම කොටු කිරීමේ ව්‍යාපෘතියක් සේම යළිත් සිංහල බෞද්ධ උන්මාදයක් නිර්මාණය කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් දියත්ව ඇති බව පැහැදිලියි.

නුවර උපවාසයේ සිට සිදුවන අතුරු

පැහැදිලිව දේශපාලන ප‍්‍රහසනයක් වශයෙන් සැලකිය හැකි අතුරලියේ රතන හිමියන්ගේ නුවර උපවාසයේ සිට තැන තැන සිදුවන අතුරු කතා මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකියි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපක්ෂ හා ජාතිවාදී බලවේග උත්තේජනයක් ලබන විට, යළි ජීවය ලබන විට එහි ඍජු ප‍්‍රහාරය /අපකීර්තිය සහ අවසාන වශයෙන් දේශපාලන වන්දිය ගෙවීමට සිදුව තිබෙන්නේ වගකීමක් නැතත් වගවීමෙන් බැඳී සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එජාප ආණ්ඩුවට බව පැහැදිලිව දැකගත හැකියි.

විපක්ෂ දේශපාලන බලවේගවලට මේ අවස්ථාවේ ඍජුව වගකිව යුත්තා ලෙස (බොහෝ විට අනියමින් සිදුවුවත්) ජනපතිවරයාව නම් කරමින් ඔහුව දඩයම් කිරීමේ හෝ අපහසුතාවට පත් කිරීමේ වුවමනාවක් නැති තත්ත්වයක් තුළ පශ්චාත් පාස්කු ඉරිදා දේශපාලනයේ ඍජු චූදිතයා බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාප ආණ්ඩුව ලඝුවීම අපට පහසුවෙන් වටහාගත කරුණක් වගේම දේශපාලනිකව නම් සිදුවිය යුතුම කරුණක්. මන්ද මේ අවස්ථාවේ දඩයම් කළ යුත්තේ, දුර්වල කළ යුත්තේ ශක්තිමත් ම තරගකරුවා / අභියෝගයම පමණක් වන නිසයි.

අද දැඩි සමාජ සංවාදයක් නිර්මාණය කර ඇති, ජනපතිවරයා සහ අගමැතිවරයා අතර දේශපාලන ධ‍්‍රැවීකරණය තවත් පුළුල් කළ පාස්කු ඉරිදා විශේෂ කාරක සභාව සහ එහි කාර්ය භාරය වටහා ගත යුත්තේ ඉහත සඳහන් පදනම මත සිටයි.

කොටු කිරීම සහ කොටුවීම

තම දේශපාලන ප‍්‍රතිවාදියා කොටු කිරීම හෝ අපහසුතාවට පත් කිරීම (බොහෝ විට බියටත් අපහසුතාවටත් පත් කිරීම) සඳහා බලාධිකාරිය මත විවිධ කොමිෂන් සභා, කාරක සභා සහ සමුළු ආදිය කැඳවීමත්, ක‍්‍රියාත්මක කිරීමත් ලංකාව ද ඇතුළත් සමස්ත දේශපාලන ලෝකයේ සුලභ තත්ත්වයක්. ‘‘ඒක තමයි දේශපාලනය’’ කියන තරමට ලංකාවේත් පොදුවේ ලෝකයෙත් මෙවැනි කොමිෂන් සහ කාරක සභා තොග ගණනින් පත්කර ඇතත් එයින් සමාජයට හෝ රටට ලැබුණ දෙයක් තිබේද යන්න බොහෝ දෙනෙක් තුළ පවතින ස්වභාවික විවේචනයක්.

එහෙත් මෙවැනි කොමිෂන් සභා හෝ කාරක සභා හුදු දේශපාලන සංදර්ශන හෝ උගුල් යනුවෙන් පවසා තත්ත්වය කිසිසේත් ලඝු නොකළ යුතු සාර්ථක කතා රැසකුත් බොහෝ විට දැකගත හැකි වෙනවා.
උදාහරණයක් ලෙස, වත්මන් ආණ්ඩුවම ගතහොත් හිටපු මහ බැංකු අධිපතිවරයාට ඍජුව චෝදනා එල්ල වන මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනපතිවරයා විසින් පත් කළ කොමිෂම සැලකිය හැකියි. එහිදී පක්ෂ – විපක්ෂ වශයෙන් පැවැති සංවාදයේදී ඉදිරිපත් වූ ප‍්‍රබල තර්කයක් වූයේ මෙම කොමිෂමේ ඍජු ඉලක්කය අගමැති රනිල් ඇතුළු එජාප ප‍්‍රබලයින් දඩයම් කිරීම බවයි. ඒ කතාව පිළිගත හැකි සාක්ෂි ද අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා තිබුණත් සමාජයේ බොහෝ දෙනෙක් මෙම කොමිෂම දෙස යම් ධනාත්මක ආකල්පයක් දැක්වූ බව නොරහසක්. වසර හතරකට ආසන්න කාලයක් ගතව ඇතත් එම කොමිෂම මගින් තීරණාත්මක, අතිෂයින් වැදගත් කරුණු රැසක් හෙළි වුණ බව අප කිසිවෙකුට අමතක කළ නොහැකි කරුණක්.

එජාපය දේශපාලන වන්දි ගෙවයි

ඒ වගේම මෙම කොමිෂම හරහා එජාපයට ද දැවැන්ත දේශපාලන වන්දියක් ගෙවීමට සිදු වූ බව ද නොරහසක්. විශේෂයෙන් එජාපයේ බලවත් හා වර්ණවත් චරිතයක් වන රවී කරුණානායක මහතා එමගින් දැවැන්ත දේශපාලන වන්දියක් ගෙවීමට සිදු වුණා.

මේ සමග තවත් කරුණක් මේ සමග සාකච්ඡුා කළ යුතුයි. ඒ රටකට අතිෂයින් තීරණාත්මක, වැදගත් (ජාතික ආරක්ෂාව වගේම) මූල්‍ය ආරක්ෂාවට අදාළ කරුණු බැඳුම්කර කොමිෂම හමුවේ සාකච්ඡුාවට ලක් වුණා. එහිදී සාක්ෂි වශයෙන් ලැබුණු ඇතැම් කරුණු දේශපාලන වශයෙන් සේම ආර්ථික වශයෙන් ද අතිෂය සංවේදී ඒවා. ඒත් එදා ජනමාධ්‍ය සහ විපක්ෂය මහත් රුචියෙන් එම කරුණු අඛණ්ඩව, ප‍්‍රමුඛව වාර්තා කළා. ‘‘ආර්ථිකමය වශයෙන් හානිකර’’ ‘‘අගමැතිවරයාගේ ඍජු සම්බන්ධයක් නැති ’’ ආදි වශයෙන් සාවද්‍ය තර්ක හෝ විවේචන එදා බැඳුම්කර කොමිෂමට එල්ල වුණේ නැහැ. බොහෝ දේශපාලනඥයින් මේ බැඳුම්කර කොමිෂම එදා සැලකුවේ රනිල් වික‍්‍රමසිංහ විනාශ කරන ශක්තිමත් බලවේගයක් වශයෙන් පමණයි.

පාස්කු ඉරිදා කාරක සභාව

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු වුණේ ඇයි ? යන්න සොයා බැලීමට පත් කළ එකම යාන්ත‍්‍රණය මෙම කාරක සභාව නොවෙයි. ඊට පෙර ජනපතිවරයා විසින් මේ ගැන සොයා බලන්න ‘‘විජිත් මලල්ගොඩ ’’ ත‍්‍රිපුද්ගල කොමිෂම පත් කළා. එමගින් ලබා දුන් අතුරු වාර්තා සහ පසුගිය දා ලබා දුන් අවසාන වාර්තා ජනපතිවරයා අත තිබෙනවා.

ඒත් විජිත් මලල්ගොඩ කොමිෂමට ආණ්ඩුවේ ප‍්‍රමුඛ බලවේගය (ආණ්ඩුව බලයට පත් කළ) වන එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව මධ්‍යස්ථ මතධාරීන්ගේ ද කැමැත්තක් ලැබුණේ නැහැ. ඒ සඳහා තාර්කික හේතු රැුසක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුණා. එහිදී ඉදිරිපත් වුණ වඩාත් ප‍්‍රමුඛ ඉල්ලීම වුණේ වඩාත් පුළුල් හා විනිවිධ පෙනෙන, අපක්ෂපාතී ස්වාධීන යාන්ත‍්‍රණයක් හරහා පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන පසුවිපරමකට යා යුතු බවයි.

කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කළ ආකාරයට මෙම කාරක සභාව පාර්ලිමේන්තු යෝජනාවකින් සම්මත වූ පාර්ලිමේන්තුවේ බලාධිකාරියට යටත් කාරක සභාවක්. එයට පාර්ලිමේන්තු බලයට අභියෝග කළ නොහැකි නිසා එයින් ප‍්‍රභවය ලැබූ මෙම කාරක සභාවට ද සංවරණ හා තුලනය යටතේ වෙනත් පාර්ශ්වයකට ඇඟිලි ගැසීම හෝ බාධා කිරීම කළ නොහැකියි. එවැනි පියවරක් ගතහොත් එය ඍජුවම පාර්ලිමේන්තු බලයට අභියෝග කිරීමක් බවයි කතානායකවරයාගේ අදහස වන්නේ.

ඇත්තටම සිදු වුණ දේ ජනතාව දැනගත යුතුයි

මෙහිදී බොහෝ දෙනකුට ප‍්‍රශ්නයක් වී ඇත්තේ, අභියෝගයක් වී ඇත්තේ කාරක සභාව හමුවේ දෙන සාක්ෂි මාධ්‍ය මගින් ප‍්‍රචාරයට ලක්වීම බව පැහැදිලි කරුණක්. ඒත් කාරක සභිකයින්ගේ පමණක් නොව මෙම කාරක සභාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින්ගේ ද අදහස වන්නේ මෙම කාරක සභාව හරහා ‘‘ජනතාව දැනගත යුතු / ජනතාවට දැන ගැනීමට අයිතියක් ඇති තොරතුරු රැුසක් හෙළිදරව් වන බව’යි.

ඔවුන්ගේ මේ තර්නය සත්‍ය බව පසුගිය කාරක සභාවලින්ම මනාව පැහැදිලි වෙනවා. අධිපතිවාදී හා පාක්ෂික මාධ්‍යවල සීමිත වාර්තාකරණය හමුවේ පවා ජනතාවට පාස්කුු ප‍්‍රහාරය සහ එහි වගකීම / වගවීම ගැන මේ වන විට පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. බැඳුම්කර කොමිෂම හමුවේ හෙළි වූ තොරතුරු වගේම පාස්කු ඉරිදා කාරක සභාව හමුවේත් හෙළි වූ තොරතුරු පුරවැසියන් විෂයෙහි අතිෂය වැදගත්. ඒ නිසා බැඳුම්කර කොමිෂමට මල්මාලා දාන අයට පාස්කු ඉරිදා කොමිෂමට ගල් ගැසීමට හැකියාවක් නැහැ.

ඔවුන්ගේ පටු සහ පුද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර, බැඳීම් අනුව මේ අවස්ථා දෙකට විවිධ අර්ථකථන ලබාදිය හැකි වුවත් පුරවැසි පාර්ශ්වයෙන් නම් මෙම අවස්ථා දෙකම පුරවැසි ඥාන වළළු පුළුල් කළ තවත් අවස්ථා දෙකක් වශයෙන් සැලකිය හැකියි. ඒ නිසා පශ්චාත් පාස්කු ඉරිදා දේශපාලන සුනාමිය ගැන සංවේදී ජනතාව නම් මේ දෙස බලනු ඇත්තේ ‘‘ඇයි අපෙන් මේවා වසං කරන්න හදන්නේ ?’’ යන කුකුස මත මිස ‘‘අපෝ, ජාතික ආරක්ෂාව පාවා දෙනවා’’ යන භීතියෙන් නොවන බව නම් පැහැදිලියි.

අවසානයට සඳහන් කළ යුතු වන්නේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම ලබාදී ලකුණු දාගත් පාලකයින් ම එයට යළි විලංගු දැමීම සබුද්ධික පුරවැසියන් විසින් නම් නොඉවසන බවයි.


Recommended For You

About the Author: Editor