වලව් – බංගලා සහ ගම්බාරේ දේශපාලනය

වත්මන් දේශපාලන පසුබිම සියුම්ව විමසන විට පැහැදිලි පෙනී යන්නේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මේ තුන්කොන් සටනින් අවසන් මොහොතේ ඉවත්වීමේ වැඩි ප‍්‍රවණතාවක් තිබෙන බවයි

මෛත‍්‍රී – සජිත් හවුල යම් කිසි ආකාරයකින් දේශපාලන කරළිය තුළ ක්ෂණික කම්පනයක් ඇති කරන්නක් වීම සිදුවිය හැකියි

ජනාධිපතිවරණයේදී එජාපය පත්වනු ඇත්තේ ද ‘‘උඩිනුත් ගින්දර – යටිනුත් ගින්දර – මැද්දේ සවුන්දර’’ වැනි තත්ත්වයකටයි.

පොහොට්ටුව පාවෙන ඡන්ද, තරුණ ඡුන්ද මෙන්ම ‘‘වාසි අතට හෝයියා’’ යන පදනමේ සිටින ඡන්ද අති බහුතරය ජනපතිවරණයේදී තමන් වෙත ආකර්ෂණය කර ගන්නා බව පැහැදිලි කරුණක්.

මේ නවීන, නූතන දේශපාලනය තෝරා ගැනීම සඳහා තවමත් පහසු අවකාශයක් තිබෙන බව පමණක් අවසාන වශයෙන් සඳහන් කළ හැකියි.

දේශපාලනිකව ඉතා සවිඥානික කතාවක් ඇමැති චම්පික රණවක මහතා විසින් ඊයේ කුරුණෑගලදී සිදු කළා. එහිදී ඇමතිවරයා චෝදනාමුඛයෙන් කියා සිටියේ දක්ෂ, නිර්මාණශීලී දේශපාලනඥයින්ට වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ ඉඩක් නැති බවත් ‘‘ගවර දේශපාලනය’’ තව දුරටත් ක‍්‍රියාත්මක වන බවයි.

නිදහස් ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ කළ මනා විග‍්‍රහයක් මේ කතාව තුළ අන්තර්ගත වන අතර ඉදිරි ජනපතිවරණයේදී මේ ගැන වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතු සබුද්ධික, සංවිඥානික අවකාශයක් ද පහසුවෙන් නිර්මාණය වී තිබෙනවා. මේ චම්පිකගේ කතාවට පසුබිම් වූ දේශපාලනය ගැන සියුම් කියවීමක්.

‘රාජපක්ෂ පවුලේ බල අරගල’’ ගැන කතාවලට නැවත ජාතික මාධ්‍ය තුළ සහ සමාජ මාධ්‍ය තුළ පුළුල් අවකාශයක් ලැබෙමින් තිබෙනවා. ඒ ඉදිරි ජනපතිවරණය සඳහා ‘‘තුන්කොන් සටනක්’’ නිර්මාණය වෙමින් පවතින බව දේශපාලන විචාරකයින් වැඩි දෙනෙක් කියන නිසයි. ඔවුන්ට අනුව රාජපක්ෂ පවුලේ කවර හෝ සාමාජිකයෙක්, එජාපයේ කරු හෝ සජිත් සහ මෛත‍්‍රීපාල සිරිසේන අතර මෙවර ජනපතිවරණයේ තුන්කොන් සටන ඇවිලීමට නියමිතව තිබෙනවා.

ශ‍්‍රීලනිපයට විකල්ප තුනක්

ඒත් වත්මන් දේශපාලන පසුබිම සියුම්ව විමසන විට පැහැදිලි පෙනී යන්නේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මේ තුන්කොන් සටනින් අවසන් මොහොතේ ඉවත්වීමේ වැඩි ප‍්‍රවණතාවක් තිබෙන බවයි. ඒ සඳහා පැහැදිලි හේතු කිහිපයක් තිබෙනවා.

ඒ අතර ප‍්‍රධාන වන්නේ ශ‍්‍රීලනිප – ශ‍්‍රීලපොපෙ (අත-පොහොට්ටු) සන්ධානයක් නිර්මාණය කර ගැනීම මගින් එහි ජනාධිපති අපේක්ෂකත්වය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා ගැනීමයි. එහෙත් ඊයේ (17) වන විට ඒ සඳහා වන අවසන් බලාපොරොත්තුව ද බිඳ වැටුණ බවක් දැකිය හැකියි. අත – පොහොට්ටු දීගයක් සිදු නොවන බව දැන් දේශපාලන යථාර්ථයක් වී හමාරයි.

මේ තත්ත්වය තුළ යළි ජනපති වීමට සිහින දකින්නේ නම් ජනපති මෛත‍්‍රීට ගත හැකි විකල්ප දෙකක් තිබෙනවා. ඉන් එකක් වන්නේ ශ‍්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමයි. දැනටත් දයාසිරි- අමරවීර- දුමින්ද ඇතුළු කල්ලිය ඒ සඳහා සංදේශයක් ද ජනපතිවරයාට භාරදී තිබෙනවා. එනිසා ඔහුට ඉතාම පහසුවෙන් සහ නිතරගයෙන් ශ‍්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා විය හැකියි.

ඒත් දේශපාලන භූමිය ගැන හෝ ප‍්‍රවණතා ගැන අල්පමාත‍්‍ර වූ හෝ සංවේදීතාවක් තිබේ නම් මෛත‍්‍රී මේ තීන්දුව නොගන්නා බව සහතිකයි. මන්ද යත් වත්මන් තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික මැතිවරණයකදී ලබාගත හැකි ඡුන්ද ප‍්‍රතිශතය අතිෂය ස්වල්පයක් බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනී යන නිසයි. මේ තත්ත්වය වඩාත් පැහැදිලිව සඳහන් කළහොත් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් නායකත්වය දුන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිප ලබාගත් ඡුන්ද ප‍්‍රතිශතයෙන් අල්පයක් හෝ ඔවුන් ලබා නොගන්නා බව පැහැදිලි කරුණක්.

මේ කරුණ මේ ආකාරයෙන් ද පැහැදිලි කළ හැකියි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එජාපයේ සැලකිය යුතු පිරිසක් ද පාවෙන ඡන්ද දායකයින්ගෙන් යම් ප‍්‍රතිශතයක් ද මුස්ලිම් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ද ආදී වශයෙන් ශ‍්‍රීලනිප නොවන ඡන්ද බහුතරයක් ශ‍්‍රීලනිප ගොඩට එක් වුණා.

උදාහරණයක් ලෙස මෙම ලියුම්කරු ජීවත් වන හොරණ ගුරුගොඩ ඡන්ද කොට්ඨාශයේ ශ‍්‍රීලනිපය ලබාගත් ඡන්ද 67ට මේ ලියුම්කරුගේ පවුලේ ඡන්ද 02ක් සහ තවත් හිතවත් ඡුන්ද 5-6ක් ලැබුණා. ඒත් මෙවර එම කිසිම ඡුන්දයක් ශ‍්‍රීලනිපයට නොලැබෙන බව නිසැකයි.

මුස්ලිම් ඡන්ද ගැන සඳහන් කරන විට හොඳම උදාහරණය ලැබෙන්නේ බියගම ප‍්‍රාදේශීය සභාවට අයත් ‘‘මල්වාන’’ කොට්ඨාශයෙන් සියයට සියයක් මුස්ලිම් ජනතාව ජීවත් වන මල්වාන ඡන්ද කොට්ඨාශය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිපය විසින් ජයග‍්‍රහණය කළා. සාම්ප‍්‍රදායික මුස්ලිම් කොන්ග‍්‍රස් සහ එජාප බලකොටුවක් වන මල්වාන පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිපය විසින් ජයග‍්‍රහණය කළේ ජනපතිවරයා වෙත මුස්ලිම් ජනතාවගේ තිබූ පුද්ගලික ගරුත්වය නිසා බව පැහැදිලි කරුණක්. එහෙත් මේ වන විට එවැනි තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ නැහැ.

මේ තත්ත්වය ශ‍්‍රීලනිපයට ඡන්ද වැටුණු මුස්ලිම් ජනතාව ජීවත් වන (උදා- බණ්ඩාරගම ප‍්‍රා.ස අටලූගම) අති බහුතරයක් ප‍්‍රදේශවල දැකිය හැකි තත්ත්වයයි.

මේ තත්ත්වය තුළ මේ ලියුම්කරුගේ අදහස වන්නේ යම් ආකාරයකින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමා ගැන අධි තක්සේරුවකින් යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පැරණි වාමාංශික පක්ෂවලට ද අන්ත තත්ත්වයකට පත්වන බවයි.

මෛත‍්‍රී – සජිත් හවුලක්

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොහොට්ටුවේ සහාය නොලැබෙන නිසා ගත හැකි තවත් විකල්පයක් තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී තිබෙන ජනපති අපේක්ෂක සටනින් වාසිය ගෙන ‘‘මෛත‍්‍රී – සජිත්’’ හවුලක් නිර්මාණය කර ගැනීමයි.

මෙය දේශපාලන හිතලූවක් වුණත් නොවිය හැක්කක් ද නොවන බවයි පෙනී යන්නේ. ඒ යම් කිසි ආකාරයකින් එජාප ජනපති අපේක්ෂකත්වය සජිත්ට නොලැබී ගියහොත් ඔහු ද දැඩි අපේක්ෂාභංගත්වයට පත්ව වඩාත් ප‍්‍රායෝගික හා ශක්තිමත් විකල්පය සොයා යා යුතුව තිබෙන නිසයි.

මෙහිදී මෛත‍්‍රී – සජිත් හවුල යම් කිසි ආකාරයකින් දේශපාලන කරළිය තුළ ක්ෂණික කම්පනයක් ඇති කරන්නක් වීම සිදුවිය හැකියි. එජාපයේ බිම් මට්ටම තුළ සජිත් උසුලන ජනප‍්‍රියතාවය මත එජාපයෙන් සැලකිය යුතු ඡන්ද ප‍්‍රතිශතයක් (ලියුම්කරුගේ අදහස වන්නේ භාගෙට භාගයක් පමණ) කඩා ගැනීමට සජිත්ට හැකියාව ලැබෙනවා. ඒත් ප‍්‍රශ්නය වන්නේ එය සමස්ත ඡුන්ද ප‍්‍රතිශතයෙන් සියයට 15-20ක් වැනි ප‍්‍රතිශතයක් වීමයි. (එජාපයේ ස්ථිර ඡන්ද පදනම සියයට 30-35 ලෙස සැලකුවහොත්)

මේ සමග මෛත‍්‍රීට ජාතික වශයෙන් එක්කරගත හැකි ඡුන්ද ප‍්‍රමාණය සියයට 15ක් සේ සැලකුවත් (ප‍්‍රායෝගික නැති වුණත් පසුගිය පළාත් පාලන මැතිවරණය අනුව) මෛත‍්‍රී – සජිත් හවුලටක සමස්ත ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 20-30 අතර ප‍්‍රමාණයකට වඩා ගමන් කළ නොහැකි බව පැහැදිලියි. විශේෂයෙන් ජනපතිවරණයකදී තීරණාත්මක මධ්‍යම පාන්තික, පාවෙන, තරුණ, සුළුජන ඡුන්ද ‘‘මෛත‍්‍රී – සජිත් හවුලකට’’ලැබීමට තිබෙන අවකාශය තුළ මෛත‍්‍රී – සජිත් හවුලක් දේශපාලනිකව ශක්තිමත් සන්ධානයක් වන්නේ නැහැ.

එයින් සිදුවනු ඇත්තේ සජිත් පේ‍්‍රමදාස දේශපාලන අනාථයෙකු බවට පත්ව එජාපයේ නායකත්වය නවීන් දිසානායකගේ හිසමතට ඉබේ පාත්වීම පමණයි. (මෙයට රනිල් ඇතුළු ඉහළ කුල ස්ථරය බොහෝ කැමැති බව ද පැහැදිලියි)

ඒ නිසා බොහෝ විට සිදුවනු ඇත්තේ සජිත් ජනපති හෝ අගමැති සිහිනය අතහැර 2020 දී මැතිවරණ රැල්ලෙන් මස්තබාල්දු වී යා හැකි යැයි දැනටමත් විශ්වාස කරන එජාප නායකත්වය නිතරගයෙන් ලබා ගැනීමට කල් යල් බැලීම පමණයි.

මේ ලියුම්කරුගේ ද දැඩි විශ්වාස වන්නේ සජිත්ට මේ මොහොතේ තිබෙන්නේ ජනපති හෝ අගමැති සිහිනයකට වඩා එජාප නායකයා වීමේ සිහිනය පමණක් බවයි.

එජාපයට විකල්පයක් ද නැත

ජනාධිපතිවරණයේදී එජාපය පත්වනු ඇත්තේ ද ‘‘උඩිනුත් ගින්දර – යටිනුත් ගින්දර – මැද්දේ සවුන්දර’’ වැනි තත්ත්වයකටයි.

ඒ එජාපයට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි පොදු පිළිගැනීමක් ඇති ජාතික නායකත්වයක් පමණක් නොව පක්ෂය තුළ ද පොදු පිළිගැනීමක් ඇති නායකත්වයක් නොමැති වීමයි. මෙය මේ වන විට රාජපක්ෂවාදී ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරන සමීක්ෂණ වාර්තා ඉක්මවා යන දේශපාලන යථාර්ථයක් බව වටහා ගැනීම කිසිසේත් අපහසු නැහැ.

පසුගිය සිවුවසර තුළ එජාප ආණ්ඩුව විසින් පාක්ෂිකයින් සඳහා සැලකිය යුතු දෙයක් නොකිරීම, අපෙක්ෂා කළ ආකාරයට ආර්ථික දියුණුවක් අත්පත් කර නොගැනීම පමණක් නොව පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු (ආර්ථික හා දේශපාලන) කිසිවක් ප‍්‍රායෝගික ලෙස, ඵලදායී ලෙස ඉටු නොකිරීම තුළ එජාප පාක්ෂිකයින් දැඩි කළකිරීමකට ලක්ව සිටින බව නොරහසක්. ඒ අනුව සිදුවිය හැකි ප‍්‍රථම කාරණය වන්නේ ඔවුන් මෙවර ඡන්ද පොළට නොයාමයි.

මේ තත්ත්වය වළක්වා ගැනීමට සමෘද්ධිය හෝ ගම්උදාව කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව පැහැදිලි කරුණක්. මන්ද සමෘද්ධිය හෝ ගම්උදාව එජාපය වටා සිටින මධ්‍යම පාන්තික, ව්‍යාපාරික හෝ වෘත්තීයවේදීන් ආකර්ෂණය කර ගැනීම නොව විකර්ෂණය කරන සිදුවීමක් බවට පත්ව තිබීමයි.

ජනමතය කෙරෙහි බලපෑම් කළ හැකි මධ්‍යම පාන්තික, ව්‍යාපාරික, වෘත්තීයවේදී සහ තරුණ ඡුන්ද ආකර්ෂණය කරගැනීමට නොහැකි තත්ත්වයක් තුළ එජාපයට කිසිසේත් තරගකාරී, අභියෝගාත්මක මැතිවරණයකට මුහුණ දිය හැකි දැයි යන්න සැකයක් නොව පැහැදිලිවම සැකයක්.

මේ තත්ත්වය වඩාත් සරලව පැහැදිලි කළහොත් 2005, 2010, මෙන්ම 2015 දී මෙන් ජනතාවගේ ආකර්ෂණය දිනා ගන්නා දේශපාලන, ආර්ථික හා සමාජයීය වැඩපිළිවෙළක් ඇතුළුත් මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ජනතාව හමුවේ තැබීමට එජාපයට ඇති හැකියාව ඇත්තටම ප‍්‍රශ්නයක්.

පොහොට්ටුව විජයග‍්‍රාහීද ?

මේ මොහොතේ නිර්මාණය වී ඇති දේශපාලන ප‍්‍රවණතා අනුව නම් පොහොට්ටුව විජයග‍්‍රාහී බව පැහැදිලිව පෙනී යන කරුණක්. ඔවුන් අත පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී දිනාගත් සියයට 44කට ආසන්න ඡුන්ද ප‍්‍රමාණයක තිබූ ‘‘සිංහල බෞද්ධ අති බහුතර ඡන්ද පදනම නොසිඳී පවතින අතර පසුගිය පාස්කු ප‍්‍රහාරය ඇතුළු සිදුවීම් මගින් එය ක‍්‍රමිකව මෙන්ම වේගවත් වර්ධනයක් අත්පත් කරගෙන ඇති ස්වාභවයක් නිරීක්ෂණය කළ හැකියි.

ඒ අනුව පොහොට්ටුව පාවෙන ඡන්ද, තරුණ ඡුන්ද මෙන්ම ‘‘වාසි අතට හෝයියා’’ යන පදනමේ සිටින ඡන්ද අති බහුතරය ජනපතිවරණයේදී තමන් වෙත ආකර්ෂණය කර ගන්නා බව පැහැදිලි කරුණක්.

ලියුම්කරු මේ තත්ත්වය 2010ට සංසන්දය කරන්න කැමති වන්නේ ‘‘සුළුජන ඡන්ද නැති’’ මැතිවරණයක් 2010දී මහින්ද රාජපක්ෂ විසින් පහසුවෙන් ජයග‍්‍රහණය කළ බව මෙනෙහි වන නිසයි. මෙවර ද සිංහල බෞද්ධ අති බහුතරය ( ජනගහනයෙන් සියයට 69ක්) පොහොට්ටුව වටා ගොනු වුවහොත් වලංගු ඡුන්ද ප‍්‍රතිශතයෙන් සියයයට 50 යි එක් ඡුන්දයක් ලබා ගැනීම පොහොට්ටු අපේක්ෂකයාට කිසිසේත් අසීරු විය නොහැකියි බව වත්මන් දේශපාලන ප‍්‍රවණතා සංඥා කරන්නේ.

රාජපක්ෂ පවුලේ අවුල්

ලිපිය ආරම්භයේදී සඳහන් කළ කරුණ අවසානයට සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ඒ ‘‘රාජපක්ෂ පවුලේ බල අරගලය තුළින් එජාපයට හෝ මෛත‍්‍රීට දේශපාලන වාසියක් ලබාගත හැකිය’’ යන උපකල්පනයයි.

මෙහිදී ආරම්භක සඳහන වන්නේ රාජපක්ෂ පවුලේ බලඅරගලයක් තිබුණත් එයින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පිත්ත නොලැබෙන බවයි. සරලව පැහැදිලි කළහොත් බොහෝ දේශපාලන කැපවීම් මැද බැසිල් – ගෝඨා විසින් රැුකගෙන පැමිණි ‘‘සිංහල බෞද්ධ මොරාල් එක’’ කිසිසේත් වෙන අයෙකුගේ බල අභිලාෂයන් සඳහා පාවිච්චි නොකරන බවයි.

දෙවැනි කරුණ වන්නේ රාජපක්ෂ පවුල තුළ බල අරගයක් තිබුණත් එය එජාපය වෙත පොහොට්ටු – ශ‍්‍රීලනිප පාක්ෂිකයින් ආකර්ෂණය කර ගැනීමට තරම් ප‍්‍රමාණවත් කරුණක් නොවන බවයි.

පවුල් පොරය

මේ ලියුම්කරුගේ දේශපාලන නිරීක්ෂණය වන්නේ ඇතැම් ජනමාධ්‍ය විසින් ‘‘අතේ රොල් ’’ ලෙස පැළ කිරීමට තැත් කරන සැබෑ බල අරගලයක් රාජපක්ෂ පවුල තුළ නොපවතින බවයි. පැවතුණත් එය බලය අල්ලා ගැනීමේ තීරණාත්මක අවස්ථාවට බාධාකාරී ලෙස උත්තේජනය නොවනු ඇති බවයි.

එය පැහැදිලි කළ හැකි වන්නේ රාජපක්ෂ පවුල් පසුබිම හා සම්ප‍්‍රදායන් මත බවයි ලියුම්කරු සමග අදහස් දක්වමින් ප‍්‍රකට සමාජ විද්‍යාඥයෙක් කියා සිටියේ. එය ඔහුගේ වචනවලින් ප‍්‍රකාශ කළහොත්,

‘‘මහින්ද රාජපක්ෂලා අයිති වෙන්නේ ගිරුවාපත්තුවේ ‘‘ගම්බාර පවුල්’’ කියන සුවිශේෂ පවුල් සම්ප‍්‍රදායට. අවුරුදු සිය ගණනක් පුරා ශුෂ්ක දේශගුණයක ජීවත් වුණ මේ පවුල්වල සුවිශේෂ සම්ප‍්‍රදායන් තිබෙනවා. එකක් තමයි පොදු සම්පත් භාවිතය. ඒ කියන්නේ හරක් පට්ටිය, කුඹුරු යාය ඔවුන් භාවිත කළේ පොදුවේ. පවුල සුරක්ෂිත කළ හැකි ශක්තිමත් පවුලේ වැඩිහිටියා තමයි පොදු නායකයා විදිහට පිිළිගත්තේ. ඒක සාම්ප‍්‍රදායික ‘‘විස්කෘත පවුල’’ ඉක්මවා ගිය එකක්. පවුලේ වැඩිහිටියා නායකයා වශයෙන් පිළිගැනීම, ආර්ථික අවස්ථා හවුලේ භාවිතය තුළ මේ ගම්බාර පවුල්වල බල අරගල, කුලල් කා ගැනීම් සිද්ධ වුණේ නැහැ. සහෝදර සහහෝදරියන් විශාල පිරිසක් සිටිම නිසා මේ පවුල් ශක්තිමත් වුණා පමණක් නොවෙයි දැඩි බැඳීමකින් ද යුතු වුණා. එහෙම නොවුණා නම් හම්බන්තොට වාගේ දුෂ්කර ප‍්‍රදේශයක ජීවත්වීම අති දුෂ්කරයි. ඒ නිසා මම මේ පවුල් දකින්නේ පොදු බල මූලයකට කොන්දේසි විරහිතව ගරුකරන, සාමුහිකව සම්පත් හා බලය පාවිච්චි කරන පවුල් විදිහට.

අද මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන රාජපක්ෂ පවුල තුළ ඉතාම පැහැදිලිව ගම්බාර පවුල්වල ලක්ෂණ ප‍්‍රකටව තිබෙනවා. ඔවුන් බලය භුක්ති විඳින්නේ හවුලේ. ඒක හොඳට පැහැදිලි වන්නේ 2005-2015 යුගය තුළ. මහින්ද රාජපක්ෂ ඉතාම පැහැදිලිව තමන්ගේ පවුලේ සාමාජිකයින් අතර බල තුලනයක් (සංවරණයක් හා තුලනයක් ද සහිතව) පවත්වා ගෙන ගියා. බැසිල් රාජපක්ෂ නායකත්වය දුන් දේශපාලන හා ප‍්‍රජා කණ්ඩායම්වලට ගෝඨාභය රාජපක්ෂ අතවත් තිබ්බේ නැහැ. ඔහු වෙනම සම්බන්ධතා සහ බල ජාලයක් පවත්වා ගෙන ගියා. ඒ නිසා 2005-2015 අපිට බැසිල් – ගෝඨා බල මූල හෝ ප‍්‍රතිපත්ති ගැටුමක් දකින්න ලැබුණෙම නැහැ.
ඒ වගේම තමයි රාජපක්ෂ පරම්පරාවේ තුන්වන පරම්පරාව වන ශෂීන්ද්‍ර- නාමල් පරපුරත් ඔවුන්ට ආවේනික හා සීමා මායිම්වල බලය අභ්‍යාස කළා. ශෂීන්ද්‍ර මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් සහ උපන් බිමේ යුවරජු (මහ ඇමැති) වුණා වගේම කතරගම මහ දේවාලේ බස්නායක නිලමෙත් වුණා. ඒකට නාමල් එරෙහි වුණ බවක් අපි දැක්කේ නැහැ. ශිරන්ති වික‍්‍රමසිංහ මහත්මිගේ කොළඹ ඥානීන්, නිශාන්ත වික‍්‍රමසිංහ වැනි රජයේ ඉහළ තනතුරුවලට පත් වුණා.
මේ තත්ත්වය තුළ සැබෑ, යථාර්ථවාදී කරුණ වන්නේ රාජපක්ෂ පවුලට අවශ්‍ය වන්නේ ‘‘පවුලට බලය’’ මිස තනි පුද්ගලයෙක් අතට බලය නොවෙයි.

වලව් – හාමු පන්නය

මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රාජපක්ෂ පවුල සාම්ප‍්‍රදායික වගේම වැඩසම් ගම්බාරේ පවුල් ඒකකයක් වන විට රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වය දෙන්නේ ‘‘හාමු මහත්වරුන්ගේ’’ සංස්කෘතියකට. ශක්තිමත් පවුල් ඉතිහාසයක් නොවූ, මිශ‍්‍ර විවාහ බැඳීම් ඇති බි‍්‍රතාන්‍ය පාලනයේ ආර්ථික හා අධ්‍යාපන අවස්ථාවලින් ඉහළට ආ මේ පවුල්වල සහෝදර – ඥාතී බැඳීම් අතිෂයින් දුර්වලයි. ඒකට හේතුව වන්නේ මේ ක‍්‍රමය තුළ ආර්ථික වශයෙන් ඉහළට එන්න පුළුවන් වෙන්නේ පවුලේ එක් අයෙකුට හෝ දෙදෙනකුට පමණයි. ඒ ආපු ගමන් ඔහුට හෝ ඔවුන්ට තමන්ගේ පවුලේ සහහෝදරයින් පමණක් නොවෙයි ඥාතීන් පවා කොන් කිරීමට, නෙතකා හැරීමට සිදුවෙනවා. ලංකාවේ ‘‘බංගලා / හාමු සංස්කෘතිය’’ විමර්ශනය කරන විට මේක පැහැදිලිව හඳුනාගත හැකියි.

මේ සංස්කෘතිය තුළ ඉහළට පැමිණි තැනැත්තාට ශක්තිමත් පවුල් හෝ ඥාතී සම්බන්ධතා නැහැ. තිබුණත් ඔවුන්ට ඉදිරියට ගන්න බැහැ. ඒ නිසා ඔවුන් අනිවාර්යයෙන්ම යැපෙන්නේ, විශ්වාසය තියන්නනේ ‘මිත‍්‍රයින්’’ වෙතයි. ඔවුන් පාසල් ගජයින් හෝ ව්‍යාපාරික ගජයින් විය හැකියි. මේ තත්ත්වය අපිට රනිල් වික‍්‍රමසිංහ මහතා තුළ වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකියි. ඔහුට එල්ල වන ප‍්‍රබල චෝදනාව වන ‘‘රෝයල් කල්ලිය’’ මේ සඳහා හොඳම උදාහරණය.

මේ හාමු සංස්කෘතිය තුළ හමුව, බලය අභ්‍යාස කරන මිත‍්‍රයින් කිසිසේත් විශ්වාස කළ නොහැකි චපලයින් බව අපිට රනිල් වික‍්‍රමසිංහ මහතාගෙම මිත‍්‍රයින් විසින් පෙන්වා දෙනවා. මේ ආණ්ඩුව අපායට ගෙන ගිය ‘‘බැඳුම්කර වංචාව’’ සිදු කළේ පැහැදිලිවම රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාසල් ගජයෙක් මිස පවුලේ ඥාතියෙක් නොවෙයි.

මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂගේ ශක්තිමත් හා දියුණු පවුල් සම්ප‍්‍රදායන්ට හා ශක්තීන්ට අභියෝග කිරීමේ කිසිම ශක්තියක් වික‍්‍රමසිංහ මිතුරු හවුලට නැහැ. අද එජාපය මුහුණ දෙන බලවත්ම දේශපාලන අභියෝගය වන්නේ ‘‘විශ්වාසනීය සහකරුවන් / පාර්ශ්වකරුවන්’’ නොමැතිවීමයි.

වළව් සංස්කෘතිය

මේ වන විට දේශපාලන බල තුලනයේ මුදුන අල්ලා ගෙන සිටින්නේ මහින්ද – රනිල් නිසා වළව් සංස්කෘතිය තුළ බලය අභ්‍යාස කිරීම ගැන වැඩි අවධානයක් නැහැ. ඒත් වලව් පන්තියෙන් පැමිණ බලය අල්ලා ගත් බණ්ඩාරනායක, සිරිමාවෝ සහ චන්ද්‍රිකා රාජ්‍ය බලය අභ්‍යාස කළ ආකාරය දකින විට පැහැදිලි පෙනී ගිය කරුණක් තමයි ඔවුන් බලය අභ්‍යාස කළේ ‘‘ඥාතී සමූහයා’’ සමග බව. විශේෂයෙන් 1960-65, 1970-77 බලයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇගේ ඥාතීන් (රත්වත්තේ) සමග රාජ්‍ය බලය අභ්‍යාස කළ ආකාරය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වුණා.

1995-2005 චන්ද්‍රිකා යුගයේදී තම මවගේ තරම් නොවුණත් අනුරුද්ද රත්වත්ත ඇතුළු රත්වත්තේ පවුලේ ඥාති සමූහයා බල පිරිමිඩය තුළ ඉහළින්ම සිටි බවක් අපිට නිරීක්ෂණය කළ හැකියි.

අවසානය

මේ ඉහත විග‍්‍රහය කෙටි සහ සරල විග‍්‍රහයක් පමණයි. මෙම ලියුම්කරු මේ තුළින් අවධාරණය කිරීමට තැත් කළේ වත්මන් දේශපාලන ප‍්‍රවණතා තුළ ‘‘රාජපක්ෂ පවුලේ බල අරලය’’ යනු හුදෙක් දේශපාලන ප‍්‍රලාපයක් බව පැහැදිලි කිරීම පමණයි. අවශ්‍ය නම් මේ දේශපාලන සංවාදය තව දුරටත් පෝෂණය කරමින් ඉදිරියට ගෙන යා හැකියි.

ඊට හේතුව වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් ‘‘ගම්බාරේ පවුල’’ 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව විසින් තීරණාත්මකව පරාජය කළ කාරණා ගැන බොහෝ දෙනෙක් තවමත් සබුද්ධික නිසයි.

ඒ වගේම 2015 ජනවාරි 09 වැනිදා බලයට පත් මෛත‍්‍රී – රනිල් පාලනය ඉහළින් පාත් වුණ ‘ගජ මිතුරු කල්ලිය’ කළ විනාශය ගැන ද ජනතාව වඩාත් හොඳින් දැනුවත් නිසයි.

එනිසා මේ වළව්- බංගලා – ගමගෙදර දේශපාලන ආධිපත්‍ය ඉක්මවා ගිය වඩාත් නවීන සහ නූතනවාදී දේශපාලන ක‍්‍රමයක් සමාජයේ තෝරා ගැනීම විය යුතුයි.

මේ නවීන, නූතන දේශපාලනය තෝරා ගැනීම සඳහා තවමත් පහසු අවකාශයක් තිබෙන බව පමණක් අවසාන වශයෙන් සඳහන් කළ හැකියි.

සටහන
ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ

Recommended For You

About the Author: Editor