අවසන් පූර්ව සටනට දැන් ඉතිං සැරසියව්

ලෝක කුසලානය තරගාවලියේ පළමු වටයේ තරග 28ක් මේ වන විට (18) නිමාවට පත්වෙලා තිබෙනවා.

තරග 04ක් පමණක් ක‍්‍රීඩාකර ඇති නවසීලන්තය සහ ඉන්දියාව හැර අනෙක් රටවල් 08ම තරග 05 බැගින් ක‍්‍රීඩාකර තිබෙනවා. ඒ අනුව ලකුණු 08 බැගින් ලබා ගෙන ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගැනීමට එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව සමත්ව සිටිනවා. තෙවන සහ සිව්වන ස්ථානය පිළිවෙළින් ලකුණු 07 බැගින් ලබාගෙන අපරාජිතව සිටින නවසීලන්තය සහ ඉන්දියාව විසින් හිමිකර ගෙන තිබෙනවා.

තරග 5/2/2/0/1 වශයෙන් සිටින බංග්ලාදේශය 05 වන ස්ථානයේත්, 5/1/2/0/2 වශයෙන් ප‍්‍රසාද ලකුණු 04ක් දිනාගත් ශ‍්‍රී ලංකාව 06 වැනි ස්ථානයේත් සිටින අතර බටහිර ඉන්දිය කොදෙව්, දකුණු අප‍්‍රිකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය පිළිවෙළින් 7,8,9 සහ 10 වැනි ස්ථානවල සිටිනවා.

අවසන් පූර්ව වටය

ක‍්‍රීඩා විචාරකයින්ට අනුව ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ඉන්දියාව සඑ එංගලන්තය අවසන් පූර්ව වටය සඳහා මේ වන විට සූදානම් වෙමින් සිටිනවා.

ක‍්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ මේ වන විට තරග 05කට මුහුණ දී ඉන් එක් තරගයක් 5/1 පරාජයට පත්වී ප‍්‍රසාද ලකුණු 08ක හිමිකම් කියන ඔස්ටේ‍්‍රලියාව තවත් තරගයක් හෝ 02ක් ජයග‍්‍රහණය කළහොත් අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති බවයි. ඔවුන් ඉදිරියේදී බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව සමග තරග වැදීමට නියමිතව සිටිනවා.

නවසීලන්තය මේ වන විට තරග 04/0කට පමණක් ක‍්‍රීඩාකර ඇති අතර ඔවුන් සිටින්නේ අපරාජිතවයි. ඔවුන්ට ද තවත් තරග 02ක් ජයග‍්‍රහණය කළහොත් කිසිදු අපහසුවකින් තොරව අවසන් පූර්ව වටයට යා හැකි බවයි ක‍්‍රීඩා විචාරකයින් කියන්නේ. නවසීලන්තය අද (19) දකුණු අප‍්‍රිකාව සමග තරග වඳින අතර, බටහිර ඉන්දිය කොදෙව්, පාකිස්ථානය, ඔසටේ‍්‍රලියාව සහ එංගලන්තය සමග තරග වැඳීමට තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ වැඩිම අවධානයක් දිනාගත් ඉන්දියාවේ තත්ත්වය ද නවසීලන්තයට සමානයි. මේ දක්වා 4/0ක් ලෙස අපරාජිතවයි. ඒ අනුව ඉන්දියාවට තවත් තරග 02ක් ජයග‍්‍රහණය කළහැකි වුවහොත් පහසුවෙන් අවසන් පූර්ව වටයට යා හැකි වනු ඇතැයි ක‍්‍රීඩා විචාරකයෝ කියනවා. ඉන්දියාව ඉදිරියේදී ඇෆ්ගනිස්ථානය, බ.ඉ කොදෙව්, බංග්ලාදේශ්, එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව සමග තරග වැඳීමට නියමිතව සිටිනවා.

එංගලන්තය ද විශේෂ අවධානයට ලක් වූ කණ්ඩායමක්. මෙවර ලෝක කුසලානය දිනාගනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙන කණ්ඩායමක්. මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින එංගලන්තය 4/1ක් ලෙස සිටිනවා. ඒ අනුව එංගලන්තයට තවත් තරග 02ක් ජයගත් වහාම අවසන් පූර්ව වටයේ දොරගුළු විවර වෙනවා. එංගලන්තය ඉදිරියේදී ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, නවසීලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව හමුවීමට නියමිතයි.

මේ වන විට 05 වන ස්ථානයේ පසුවන බංග්ලාදේශය ගැනත් දැන් දැන් බලාපොරොත්තු පළ වෙනවා. ඔවුන්ට තරග 03ක් ජයග‍්‍රහණය කළ හැකි වුනොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිවෙනවා. මේ වන විට තරග 05කට ක‍්‍රීඩාකර ඇති බංග්ලාදේශය ඉදිරියේදී මුහුණ දෙන එංගලන්තය සහ ඉන්දියාව සමග තරග නම් තීරණාත්මක බව පැහැදිලියි.

ශ‍්‍රී ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 04ක් දිනාගෙන 06 වැනි ස්ථානයේ පසුවෙනවා. (මෙයින් ප‍්‍රසාද ලකුණු 02ක්ම ‘‘වැහි ලකුණු’’ ලෙසයි සැලකිය හැකි වන්නේ) ඒ 5/1/2/0/2 ලෙසයි. මේ වන විට ‘නොවිසඳුණු තරග 02කට හිමිකම් කියන්නේ ශ‍්‍රී ලංකාව පමණයි. ශ‍්‍රී ලංකාව දළ ලකුණු වේගය තුළ ඍණ අගයක් ද වාර්තා කරනවා. ඒ අනුව ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයට ප‍්‍රවේශ වීමට නම් ඉදිරියේදී මුහුණ දීමට නියමිත තරග 04ම ජයග‍්‍රහණය කළ යුතුව තිබෙන බවයි ක‍්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙන්නේ.

ශ‍්‍රී ලංකාව ඉදිරියේ දී මේ වන විට වඩාත් ප‍්‍රබල ස්ථානයක පසුවන එංගලන්තය, දකුණු අප‍්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව් සහ ඉන්දියාව සමග තරග වැඳීමට නියමිතව තිබෙනවා.

ක‍්‍රීඩා විචාරකයින්ට අනුව කලක් ක‍්‍රිකට් පුරාවෘත බවට පත්ව සිටි බටහිර ඉන්දිය කොදෙව්, පාකිස්ථානය සහ දකුණු අප‍්‍රිකාවට අවසන් පූර්ව වටය ගැන විශ්වාසය තැබීමට නම් ආශිචර්යයමක්ම සිදුවිය යුතුව තිබෙනවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor