ආණ්ඩුවට සහාය දෙන ශ‍්‍රීලනිපයේ 5කට එජාපයේ සංවිධායක ධූර

බිම් මට්ටමින් පක්ෂයේ සංවිධාන කටයුතු ජුලි මස අග වන විට අවසන් කිරීමටත් පියවර – දුර්වල ආසන සංවිධායකයින් ඉවතට

විජිත් විජිතමුණි සොයිසා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (19) තීරණය කළා. මෙම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් එජාප ආණ්ඩුව ගෙන යාමට සහයෝගය පළ කරමින් සිදු කරන විශාල කැපවිම සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කාත්‍යාධිකාරි මණ්ඩලය රැස් වුණා. එහිදී ඉහත තීරණයට අමතරව තවත් තීන්දු තීරණ රැසක් ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කර ඇති අතර දුර්වල ආසන සංවිධායකයින් ඉවත් කර අලුතින් සුදුසු අය පත් කිරීමට ද තීරණය කර තිබෙනවා. එහි දී ශ‍්‍රීලනිපයේ සිට එජාප ආණ්ඩුවට සහයෝගය ලබා දෙන අයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට වන යෝජනාව ස්ථිර වී ඇති අතර අලුතින් පත් කළ යුතු අනෙකුත් ආසන සංවිධායකවරුන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට පක්ෂයේ නායක, සභාපති සහ මහලේකම්ට බලය පවරා තිබෙනවා.

මේ අතර දේශපාලන පළිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බැවින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ගම්පෙරළිය ව්‍යාපෘතිය සඳහා පළමු පියවරේදී රුපියල් මිලියන 200ක් වෙන් කළ බවත් දෙවැනි පියවර සඳහා තවත් මිලියන 100ක් වෙන් කර ඇති බවත් ඉන්පසු තෙවැනි පියවරේදි තවත් මිලියන 100ක් වෙන් කරන බවත් අගමැතිවරයා මෙහිදී දැනුම් දුන්නා.

බිම් මට්ටමින් පක්ෂයේ සංවිධාන කටයුතු ජුලි මස අග වන විට අවසන් කිරීමටත් පියවර ගන්නා ලෙස සියලුම සංවිධායකවරුන්ට දැනුම් දීමටත් අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වුණා.

Recommended For You

About the Author: Editor