දිගින් දිගටම චෝදනා කළොත් රාජකාරීවලින් ඉවත් වෙනවා – රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී

විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමාගැනීම සඳහා චෝදනා එල්ල කරනවා / මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකර අපට චෝදනා එල්ලකිරීම කිසිසේත් පිළිගත නොහැකියි.

තිස්සමහාරාමයේ  නැදිගම්විල මන්දපෝෂණය හේතුවෙන් මියගිය දරුවා පිළිබඳ වගකීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වරදින් වූවක් බව  විවිධ දේශපාලනඥයන් විසින්  තවදුරටත් පවසනවානම් ලබන සඳුදා සිට දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය අනතුරු ඇඟවූවාය.

අද (20) හිඟුරක්ගොඩදී අද පැවති මාධ්‍ය හමුවකදී කොඩිතුවක්කු මහත්මිය මෙම අනතුරු ඇඟයීම කළාය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කොඩිතුවක්ක මහත්මිය මෙසේ ද සඳහන් කළාය.

“තිස්සමහාරාම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට අයත්  නැදිගම්විල ගම්මානයේ පදිංචි ගයත්ත්‍රි ඉන්දිකා මවගේ  මාස 11ක  දරුවා මියයාම ම සම්බන්ධයෙන්  එහි සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා  සංගමයේ නිලධාරිනියට   විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමාගැනීම සඳහා චෝදනා එල්ල කරමින් පවතිනවා.

ඒ පවුල් සෞඛ්‍ය සේවා  නිලධාරිනිය විසින්  ඒ මව ගැබ් ගත් අවස්ථාවේ සිට දරුවා ප්‍රසූත කිරමෙන් පසු දක්වා තම රාජකාරිය නිසි ලෙස කර තිබෙනවා. නමුත්  මේ දේශපාලනඥයෝ ඇයට සහ  එම පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට  දිගින් දිගටම චෝදනා කරනවා. 

සෑම ගමකම සිටිනවා රජයේ නිලධාරිවරු 6 දෙනෙක්.  මේ මියගිය දරුවාට සහ පවුලට අවශ්‍ය ආහාර ලබාදීම හෝ ලබාගැනීමට කටයුතු කිරීම ඒ අයගේ වගකිමක්.  මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකර අපට චෝදනා එල්ලකිරීම කිසිසේත් පිළිගත නොහැකියි. අපි අපේ සෞඛ්‍ය පැත්තේ සියලු වගකිම් කර තිබියදීත් දිගින් දිගටම චෝදනා එල්ල කරනවා නම් අප විසින් කිසිදු පැකිලීමකින් තොරව සියලු රාජකාරිවලින් ඉවත්  ලබන සඳුදා සිටම දිවයින පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා”

Recommended For You

About the Author: Editor