12 වැනි ලෝක කුසලානයේ ශ‍්‍රී ලංකා වාර්තා මෙන්න

12 වැනි ලෝක කුසලානයේ ශ‍්‍රී ලංකාවේ හපන්කම් මෙන්න 12 වැනි ලෝක කුසලාන තරගාවලියේ තරග 24ක් මේ වන විට නිමාවට පත්ව තිබෙනවා. මේ තරග 24 තුළ පමණක් අලූතින් වාර්තා පිහිටුවීම් ඇතුළු සුවිශේෂ සිද්ධීන් රැසක් වාර්තා වී තිබෙනවා.

මේ ඒවා අතරින් ශ‍්‍රී ලංකාවට අදාළ ඒවා පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 3දී ම තම පන්දුවාර 50ට මුහුණදීමට නොහැකි වුණා. නවසීලන්තය සමග පන්දුවාර 29.2ක්, ඇෆ්ගනිස්තානය සමග පන්දුවාර 36.5ක් සහ ඔස්ට්‍රේලියාව සමග පන්දුවාර 45.5ක දී ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගියා.

මෙතෙක් තරඟාවලිය තුළ එකම ලකුණක් හෝ නොලබා දැවී ගිය ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක් සහිත කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවස්ථා 7ක දී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. ඇන්ජෙලෝ මැතිව්ස් සහ නුවන් ප්‍රදීප් තරග දෙකක දී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.

2019ට පෙර ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේම වර්ෂාව නිසා තරග අතහැර තිබුණේ තරග 2ක් පමණයි. ඒත් මෙවර ලෝක කුසලානයේ පළමු තරග 24/4ක් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුණා. එයින් තරග දෙකක්ම ශ්‍රී ලංකාව සම්බන්ධ තරග දෙකක් වීමත් විශේෂත්වයක්.

වැඩිම ලකුණු ලැබූ පළමු ක්‍රීඩකයන් දස දෙනා අතර දැනට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නොමැති අතර වැඩිම ලකුණු ලැබූ ශ්‍රී ලංකික ක්‍රීඩකයා වන්නේ ඉනිම් 3කදි ලකුණු 179ක් ලබාගත් නායක දිමුත් කරුණාරත්නයි.

එක ඉනිමක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වන්නේ එංගලන්තයේ ජේසන් රෝයි සහ ඕස්ට්‍රේලියාවේ ආරොන් ෆින්ච් රැස් කළ ලකුණු 153යි. ආරොන් ෆින්ච් එම ලකුණු 153 රැස් කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට තරගාවලියේ වැඩිම හයේ පහර ප්‍රමාණය එල්ලකර ඇත්තේ හයේ පහර 3ක් එල්ල කළ තිසර පෙරේරායි.

වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් ලෙස ඉදිරියෙන් සිටින්නේ කඩුලු 13 බැගින් දවාගත් පකිස්ථානයේ මොහමඩ් ආමීර් සහ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් යන දෙදෙනායි. ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංග ඉදිරියෙන් සිටින්නේ කඩුලු 4ක් පමණක් දවාගෙනයි.

ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙකු එක් ඉනිමක ලබාදුන් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ඇෆ්ගනිස්ථානයේ රාශිඩ් ඛාන් ඉදිරියේ සටහන් වූ අතර ඔහු විසින් යවනු ලැබූ පන්දු වාර 9ට ලකුණු 110ක් වාර්තා වුණා. රාශිඩ්ට පසු මෙම ලෝක කුසලානයේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා දුන් ක්‍රීඩකයා වන්නේ තම පන්දුවාර 10 තුළ ඔස්ට්‍රේලියාවට ලකුණු 88ක් ලබා දුන් ශ්‍රී ලංකාවේ නුවන් ප්‍රදීප් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහී ගොස් තිබෙන්නේ උඩ පන්දු දෙකක් පමණයි.

Recommended For You

About the Author: Editor