77-94 එජාප ආණ්ඩුවට වඩා වැඩි සංවර්ධනයක් අපි මේ ටිකට කළා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බවත්, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම, විල්ෆ්‍රඩ් සේනානායක කී්‍රඩාංගනයේ ඊයේ (19) සවස පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

කොළඹ දිස්ත්‍රික්කයේ ඔබ සියලූ  දෙනාටම වසර ගණනාවකට පසුව සමෘද්ධි හිමිකම් ලබාදීමට අපට හැකි වී තිබෙනවා.

මේ සමෘද්ධි හිමිකම ලබා ගැනීම සදහා ඔබ වසර ගණනාවක් බලා සිටියා. මිට වසර දහයකට පහළොවකට පෙර සිට සුදුසුකම් සම්පූර්ණ කර තිබුණත් සමෘද්ධිපත ලබා ගැනීමට ඔබට අවස්ථාවක් හිමිවුණේ නැහැ. ඔබ පමණක් නොව මෙවැනි සුදුසුකම් ඇති තවත් බොහෝ පිරිසකට සමෘද්ධි හිමිකම ලැබුණේ නැහැ.

අද අප ඔබට එම සමෘද්ධි හිමිකම ලබා දෙනවා. ඔබේ අයිතිය මීට පෙර ලබා දෙන්නට තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම එම බලාපොරාත්තුව ඉටු කිරීමට හැකිවූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසුවයි. වසර පහක්, දහයක්, විස්සක් පමණ කාලයක් තිස්සේ සමෘද්ධි සහනාධාරය නොලැබුණු අය සිටියා. ඔවුන්ට එම සහනාධාරය ලැබීමට සුදුසුකම් තිබුණා. යම්කිසි හේතුවක් මත ලැයිස්තුවෙන් ඔවුන්ගේ නම ඉවත් කළා. ඒ නිසා ඔබට විශාල බරක් මෙන්ම දුකක් විදින්නට සිදුවුණා. ඒ පිළිබදව අප සියලූ දෙනාම කණගාටු වෙනවා.

සුදුසුකම් ඇති සියලූ දෙනාට සමෘද්ධිය දෙන බවට 2015 දී අප පොරොන්දු වුණා. 2015 වසරේ දී ආණ්ඩු බලය අපට ලැබුණත් සමෘද්ධි අමාත්‍යාංශය අපට ලැබුණේ 2018 වසරේදීයි. එදා සිට මස 12 ක් ඇතුලත සමෘද්ධි හිමිකම ලබා දෙන්නට අපි ක්‍රියා කළා. එසේ නම් ඔබ සියලූ දෙනාටම දැන් ඒ සදහා අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව පවුල් ලක්ෂ 6ක ජනතාවට අප සමෘද්ධි හිමිකම ලබා දෙනවා.

ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා සදහන් කළ පරිදි මේ සදහා මුදල් ලබා ගැනීමට හැකි වුණේ පසුගිය අයවැය මගිනුයි. නමුත් එතුමාට එක් කාරණයක් පවසන්න අමතක වුණා. අපි බලාපොරොත්තු වූයේ දෙසැම්බර් අයවැයෙන් එම මුදල් ලබා දෙන්නයි. එහෙත් අපට එම අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වුණා. එදා මෙම මුදල් ලබාදීමට මුදල් ඇමතිතුමා එකඟ වී සිටියා. නමුත් අයවැය නොතිබූ නිසා මෙම මුදල් අපට ලැබුණේ අප්‍රේල් අයවැයෙන් මුදල් අනුමත කළ පසු, මැයි මාසයේදීයි.

මෙතරම් කෙටි කාලයක් ඇතුලත මෙම සමෘද්ධි හිමිකම ලබාදීමට හැකි වෙතැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. මැයි 30 වෙනිදා දයා ගමගේ ඇමතිතුමා මට අම්පාරට පැමිණෙන ලෙස ආරාධනා කළා. ඒ අනුව මේ කටයුත්ත සඳහා විශාල කාලයක් ගතවනු ඇතැයි මා සිතුවා. නමුත් මෙම කාර්යය ජුනි මාසයේ දී අවසන් කරන බව එහිදී ඇමතිතුමා පැවසුවා.  එහිදී මා සදහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය පොසොන් වලින් පසුව පැවැත්විය යුතු බවයි. ඒ අනුව අද අපට ඒ අවස්ථාව උදාවී තිබෙනවා. තව මාසයක් යෑමටත් පෙර වසර 21 කින් ලබාදීමට නොහැකි වූ සමෘද්ධි හිමිකම්  ඔබට ලැබෙන බව සදහන් කළ යුතුයි.

මෙම සමෘද්ධි හිමිකම තුලින් ඔබේ ජීවිතයට සහනයක් ලබාදීමට අපි අපේක්ෂා කරනවා. සෑම දෙනාටම හොඳ අනාගතයක් උදාකර ගැනීමට වාසනාව ලැබුණේ නැහැ. එසේම හොඳ ආදායමක් ලැබුණෙත් නැහැ. එබැවින් අපි මේ ඉටු කරන්නේ රජයේ යුතුකමක් බව කිව යුතුයි. මෙම පවුල් ලක්ෂ 6 ක ජනතාවට සමෘද්ධි සහනාධාරය ලබාදීමට වසර 21 ක් ගත වුණා.

වසර 21 ක් තිස්සේ රටට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දුන්නා යැයි අපේ විරුද්ධවාදීන් පවසනවා. දැන් රටේ ආණ්ඩුවක් නැතැයි කියා ඔවුන් කියනවා. ඒ නිසා එතරම්  ශක්තිමත් ආණ්ඩුවක් තිබුණා නම් මෙම සුදුසුකම් ඇති පවුල් ලක්ෂ හයට සමෘද්ධි හිමිකම් ලබා දෙන්නට නොහැකි වූණේ ඇයි දැයි මා ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. අඩුම තරමින් එම වසර 21 තුළ දී වසරකට තිස් දහසකටවත් සමෘද්ධි හිමිකම් ලබා දෙන්නට තිබුණා.

අප ලක්ෂ 6 කට සමෘද්ධි හිමිකම ලබා දෙනු ඇතැයි ඔවුන් සිතුවේ නැහැ. එය සම්පූර්ණ කරන විට අද රටේ ආණ්ඩුවක් නැතැයි ඔවුන් පවසනවා. ආණ්ඩුවක් නැතිනම් සමෘද්ධි ලබා දෙන්නේ කවුරුන් විසින්ද? මේ කටයුතු කරගෙන යන්නේ කවුද? එදා අපට බංකොලොත් වූ රටක් භාර දුන්නා. ණය ගෙවා ගන්නවත් නොහැකි ආණ්ඩුවක් එදා පැවතුණා. වැඩි කලක් අපේ මේ ආණ්ඩුව නොතිබෙනු ඇතැයි එදා ඔවුන් කල්පනා කළා. ආණ්ඩුව බාරගෙන අපේ ප්‍රථම කාර්යභාර්ය බවට පත් වූයේ ණය ගෙවීමයි. ඒ සදහා වසර දෙක – තුනක් කැප කළා.

මේ කැප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කිරීමට අපට හැකි වුණා. ඒ කාලයේ ගමට කළේ මොනවාදැයි ඔවුන් ප්‍රශ්න කළා. පාරවල් හැදුවේ, බෝඩ් දැම්මේ තමන් බව ඒ අය පැවසුවා. පසුගිය වසර දෙක තුන තුළ දී අප සංවර්ධන වැඩකටයුතු රැසක් ආරම්භ කළා. දැන් ඔවුන් කියන්නේ කුමක්ද ?

ගම්පෙරළිය වැඩසටහන අප ආරම්භ කළා. ඒ සඳහා තවත් මුදල් ලබා දිය යුතුව තිබෙනවා. සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාශයකම රුපියල් ලක්ෂ 10 බැගින් වියදම් කරන වැඩසටහනක් 2015 වසරේ දී අප ක්‍රියාත්මක කළා. දැන් රන් මාවත් වැඩසටහන තිබෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ග්‍රාමීය නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනවා. දිගම්බරන් ඇමතිතුමා වතුකරයේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. චම්පික රණවක ඇමතිතුමා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස හදනවා. මාගේ අමාත්‍යාංශය යටතේ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදි කරනවා. ඒ අනුව අමාත්‍යාංශ 4 ක් යටතේ නිවාස ඉදි කරනවා.

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ ගොඩනැගිලි රාශියක් ඉදි කළා. සිසු සිසුවියන්ට සුරක්ෂා රක්ෂණය ලබා දුන්නා. මේ ආකාරයේ  අලූත් වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා.  රවි කරුණානායක ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ ද විදුලිබල ක්ෂේත්‍රය දියුණු කිරීමට වැඩ කටයුතු රැසක් සිදු වෙනවා. හර්ෂ ද සිල්වා ඇමතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සමග වී මිලදී ගැනීම සිදු කළා. ජනතාවට හොද ආදායම් ලබා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය සහන රැසක් ලබා දී තිබෙනවා. වෙන කිසිම ආණ්ඩුවකට මේ ආකාරයෙන් වැඩ කිරීමට හැකි වී නැහැ.

වසර 17ක් රට සංවර්ධනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මම සිටියා. ඊටත් වඩා සංවර්ධනයක් අප මෙවර සිදුකර තිබෙන බව කිව යුතුයි. අපි ගමේ දියුණුව ඇති කළා. ගමට වාසියක් අත්වන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ඒ අතරතුර තරුණ පරපුර සමඟ ගමට කෝටියක් වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

අප ගමට කිසිවක් කළේ නැතැයි කියා විරුද්ධවාදීන් කෑ ගැසුවා. මේ ආණ්ඩුව ගමට වැඩ කරන්නේ නැහැ කිව්වා. දැන් අප ගමට වැඩ කිරීමට පටන් ගත් පසු ඔවුන්ට කියන්නට දෙයක් නැහැ. දැන් එයින් බේරෙන්න ජාතිවාදය ඉස්මතු කරනවා. ඔවුන් මේ ආණ්ඩුවට බනිනවා. එසේ බැණවැදීම අපට නවත්වන්න බැහැ. එසේ නම් වසර 21 ක් තිස්සේ ආණ්ඩු බලයත්, ජනාධිපති බලයත් තබාගෙන ඔබට වැඩ කිරීමට නොහැකි වුණේ ඇයි දැයි ඔවුන් කිව යුතුයි.  ඔවුන්ට මේ ආකාරයට ගමට සංවර්ධනය ගෙන යන්න බැරි වුණේත් අද අපිට ෙදාස් කියන්නේත් ඔවුන්ට වඩා අපි ගම සංවර්ධනය කරන නිසයි.

අපි සංවර්ධන කටයුතු නොකළ ගමක් අද මේ රටේ නැහැ. සෑම ගමකටම ගොස් වැඩ කරන්නැයි මම අපේ සංවිධායකවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යාපාරයක් ආරම්භ කළ හැකියි. පසුගිය කාලයේ නියඟයට, ජල ගැලීම්වලට, බෝම්බ ප්‍රහාරවලට හා තවත් ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට අපට සිදුවුණා. එහෙත් රටේ සංවර්ධනය නතර කළේ නැහැ. ඒ සංවර්ධනයට පිළිතුරක් නැති අය ආණ්ඩුවට විරුද්ධව අද විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. එහෙත් අප ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ දෙන්නේ නැහැ. බෝම්බ ප්‍රහාරයෙන් පසුව ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි බොහෝ අය සිතුවා. එහෙත් අපි ආර්ථිකය ඉදිරියට ගෙන යනවා. සංචාරක ව්‍යාපාරය යලි නඟා සිටුවීමට අප වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. ඕනෑම ප්‍රශ්නයක්, විපතක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට අපේ ආණ්ඩුවට ශක්තිය තිබෙනවා.

මේ ආණ්ඩුව තරම් ගමට වැඩ කළ වෙනත් ආණ්ඩුවක් නැහැ. අපට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙන යන්නේ ඊට පිළිතුරක් නැති නිසයි. නමුත් ඔබට සමෘද්ධි හිමිකම ලබා ගැනීමට වසර 21ක් ගතවූ බව මෙතන සිටින සියලූ දෙනා දන්නවා. ඉතා ඉක්මනින් සමෘද්ධි සහනාධාරය ලබාදීම ගැන දයා ගමගේ ඇමතිතුමාට මා ස්තුති වන්ත වෙනවා. එතුමා දක්ෂ සංවිධායකවරයෙක්. පළමුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය භාර ගත්තා.  ඒ තුලින් මේ රටේ සුළු අපනයන බෝග දියුණු කළා. දැන් ඒ ආකාරයටම සමෘද්ධි අමාත්‍යාංශය භාරගෙන අයවැය සම්මත වී මාස 2ක් ගතවීමට පෙර සමෘද්ධි හිමිකම ඔබට ලබාදීමට අපට හැකිවුණා. ඒ කාර්යයට මූලිකත්වය ගත් දයා ගමගේ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ටත්, සියලූ රාජ්‍ය නිලධාරීන්ටත් මාගේ ස්තුතිය පළකර සිටිනවා.ෙ

Recommended For You

About the Author: Editor