කීර මැල්ලුම් උඩින්ම පරාදයි: තරුණ පෙනුම සුරකින සංයෝග රැසක් ගමේ කොළ මැල්ලුමේ!

රටක් වටින කොළ එළවලු තවමත් ඌන භාවිත ඒවා – ජනතාව වාණිජ කීර පසුපස යාම අඩුකළ යුතු කාලය ඇවිත් – ගොටුකොලවලට වඩා 20 ගුණයක් විටමින් සී පැෂන් ෆ්රුට් පත්‍රවල – වයඹ සරසවි පර්යේෂණයට ජනපති සම්මානත් ලැබිලා

හොස්ස ලඟින් මැස්සෙක් ගියත් අසූහාරදාහට කේන්තියන කණ්ඩායමක් යොදාගෙන මීට වසර ගණනාවකට එපිටදී සිදුකරන ලද අපූරු පර්යේෂණයක තොරතුරු පසුගිය දිනයකදී මා හට අසන්නට ලැබුණි.

කුකුල් කේන්තිකාරයින් 670 දෙනෙක් මේ සඳහා සහභාගි වී ඇත. ඔවුහු සියල්ලෝම ඇමරිකානුවන්ය. පර්යේෂණයේ අරමුණ වූයේ කේන්ති යන තරමට ශරීර සෞඛ්‍යයට බලපෑමක් තිබේනම් එහි දිග පළල තවදුරටත් අධ්‍යයනය කිරීමයි. බොස්ටන්හි පිහිටි හාර්වඩ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍යය අධ්‍යයනායතනය, මෙම පර්යේෂණය පැවැත්වීමේදී පුද්ගල කේන්තියේ තරම මැනගැනීම උදෙසා, ඔවුනට තරහ යන ප්‍රමාණයට ගැලපෙන්නට යම් ලකුණු ප්‍රමාණයක්ද දෙන ලදී.

කේන්ති යන තරමට ලකුණුත් වැඩිය! පර්යේෂණය වසර 8 ක් පුරා පැවැත්වුනි. මෙම කාලය තුල අවස්ථා තුනකදී ඔවුන්ගේ පෙනහළුවල ධාරිතාවය මැන බලා තිබේ. ආරම්භයේදීම වුවත්, මේ පුද්ගලයින්ගේ පෙනහළු වල ශක්තිය සාමාන්‍ය පුද්ගලයින් දරන ශක්තියට වඩා කැපී පෙනෙන මට්ටමකින් අඩු බවත්, වසර අට තුලදී එය තවදුරටත් අඩුව ගොස් ඉතා දුර්වල අඩියකට පත්වූ බවත් වෛද්‍ය කණ්ඩායම වාර්තා කර තිබිණ. ඇමරිකානුවන්ගේ පර්යේෂණ ප්‍රතිපල එළිදකින්නට බොහොම කාලයකට පෙර සිට “වැඩිය තරහ ගන්න එපා, ඉක්මනට නාකි වෙයි” යනුවෙන් වැඩිහිටියන් අවවාද දෙනවා මෙරට වැසියනට නම් හොඳට හුරු පුරුදුය. එසේනම් විදෙස් රටකදී විද්‍යාත්මකව මේ සනාථ වී ඇත්තේ අපගේ සාම්ප්‍රදායික දැන උගත්කමයි.

පසුගිය සතියකදී මා විසින් ලියන ලද ක්‍රියාකාරී ආහාර ගැන වූ ලිපිය කියවූ පිරිසක්, විද්‍යුත් තැපෑල ඔස්සේ දන්වා ඒවා තිබුනේ මේ සම්බන්ධයෙන් තව ටිකක් විස්තර දැනගන්නට කැමති බවකි. ඒ වනවිට මෙම ලිපියේ සැකිල්ලද ගොඩනගා අවසන්ය. මෙයටද පදනම් වන්නේ මිනිස් දේහය තුල බිහිවී කලහකාරී ලෙස අයාලේ හැසිරෙන ‘නිදහස් නොහොත් මුක්ත ඛණ්ඩක” (Free Radicals) නමැති ආරෝපිත අංශු විශේෂයක්ය. නිසි ලෙස දමනය කරගත නොහැකි වුවහොත් මේ අංශූන් සෛල පටල කඩා බිඳදමා, එහි අභ්‍යන්තර ව්‍යුහයන්ටද හානි පමුණුවා, පිරිමැසිය නොහැකි හානියක් ශරීරයට සිදුකරනු ලබන බව පෙර ලිපියේද සඳහන් කෙරින. සිගරට් දුම, පරිසරයේ වායු දූෂණය, හිරු එළියේ ඇති අහිතකර කිරණ වලට වැඩිපුර නිරාවරණය වීම, වැනි ආතතික තත්වයන් යටතේ දේහය තුල වැඩි වැඩියෙන් ‘මුක්ත ඛණ්ඩක’ නිපදවන බව දැන් සොයාගෙන තිබේ. ඉක්මනින් තරහ ගැනීමද මෙම මුක්ත ඛණ්ඩක නිපදවීමට හොඳ හේතු කාරකයකි.

මේවා නිසා සෛල වලට සිදුවෙන හානිය බොහොම පහසුවෙන් පිටතට පෙනෙන්නට පටන් ගනී. හම රැලි වැටේ. ලප හෝ රේඛා මතුවේ. හන්දිපත් රුදාව සුලභය. ‘මට දැන් වයසයි’ කියා හිත හදා ගන්නවාට වඩා දෙයක් ඉතිරිව නැත. එහෙත් ඔය කියන වයසට වඩා සෑහෙන දුරක් ඈතට ගිය තවත් පිරිසක්, හම මත ආලේප උලාගන්නේ නැතිව වුවද, පෙනුමෙන් නාකි නොවී සිටිනා බව අපට සැඟවිය යුතු රහසක් නොවේ. හේතුව වන්නේ ඔවුහු තම දේහයන් තුල ‘මුක්ත ඛණ්ඩක’ අඩුවෙන් නිපදවා ගැනීමයි. ඔවුහු සන්සුන් හා ආතතියෙන් තොර ජීවිත ගෙවමින්, කුකුල් කේන්තිය තම හැසිරීමේ කොටසක් කර ගන්නේ නැතිව ‘මුක්ත ඛණ්ඩක’ සෑදීම අවම කරගැනීමට සමත්වෙති. උප්පැන්න සහතිකයට අනුව වයසට ගියත්, රූප සොබාවෙන් ගැටවරයින්ට තරඟයක් දෙන්නට ඔවුනට හැකි වන්නේ මේ නිසාය. හිනා වී තරවෙන්න කියා කතාවක් හැදී ඇත්තේත් මෙයට ගැලපෙන්නටය.

ශරීරයද ස්වාභාවිකවම උත්සාහ දරන්නේ මෙවැනි හානිකාරී ‘මුක්ත ඛණ්ඩක’ පලවා හැරීමට හෝ දමනය කිරීමටය. ඒ වෙනුවෙන්ම ‘ප්‍රති ඔක්සිකාරක’ නමින් සංයෝග පෙළක් ඇඟ ඇතුලේදීම නිපදවේ. එහෙත් මෙම සංකීර්ණ විෂම සමාජය තුල මිනිසා වෙසෙන අධි තීව්‍ර ආතතික තත්වයන් නිසා, හනි හනිකට නිපදවෙන ‘මුක්ත ඛණ්ඩක’ සේනාව මැඩ පැවැත්වීමට ශරීරය දරන ස්වභාවික හැකියාව ප්‍රමාණවත් වන්නේ නැත. බාහිර ‘සපෝට්’ එකක් නොහොත් පිටතින් දේහය තුලට දමා ගන්නා ‘ප්‍රති ඔක්සිකාරක’ නැතුව නම් වැඩේ නොකෙරෙන බව අද දවසේ බොහෝ දෙනෙකුට තේරුම් ගොස් හමාරය. කරල්, පෙති සංස්කෘතියෙන් හොඳට පදම්වී සිටිනා දියුණු යයි කියා ගන්නා සමාජය මේ සඳහා ‘ප්‍රති ඔක්සිකාරක’ ඖෂධ වර්ග නිපදවා ඇත්තේ එබැවිනි.

ආහාරයත් සමග ස්වාභාවිකවම දේහය තුලට දමාගත හැකි ‘ප්‍රති ඔක්සිකාරක’ වලින් අප ජීවත්වන පරිසරය හොඳටම සාරවත් වුවත්, අඩුපාඩුවකට ඇත්තේ නිවැරදිව තත්වය පහදා දෙන්නට කෙරුණු දේශීය පර්යේෂණයන්ගේ හිඟයයි. විටමින් ඒ, සී සහ ඊ, මෙන්ම, සුළු ප්‍රමාණයෙන් ආහාරයේ තිබිය යුතු මැන්ගනීස්, තඹ, සින්ක් වැනි ලෝහ වර්ග යනාදිය දැනට ලෝකය විසින් පැහැදිලිව දැන හඳුනාගෙන ඇති ‘ප්‍රති ඔක්සිකාරක’ වේ. මීට අමතරව ශාක කොටස් තුල අන්තර්ගත ෆීනෝලික සංයෝග, කැරොටින් වැනි වර්ණක, කහට වර්ග, ගෙන්දගම් අඩංගු සංයෝග වැනි දෑ, ප්‍රබල ලෙස මුක්ත ඛණ්ඩක හා සටනට සූදානම්ව සිටිනා ප්‍රති ඔක්සිකාරකයන් බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. කනගාටුවට හේතුවෙන කරුණක් වන්නේ මේවා අප අවට පරිසරයේම සුලභව තිබුනත්, කණාගේ පය ගැටුණු මැණිකක් සේ එතැනම පල්වෙනවා මිස ඇහිඳ ගැනීමට අප තුල උනන්දුවක් නොතිබීමයි.

ආහාරය හරහාම ස්වභාවිකව පවතින ප්‍රති ඔක්සිකාරකයන් ශරීර කූඩුව තුලට රිංගවා ලාංකිකයා සුවපත් කිරීමට සමාජය දැනුවත් කිරීම මැනවයි කියා පින්බර සිතුවිල්ලක් පහල වූයේ දොස්තර මහතෙකුට නම් නොවේ. ඉංග්‍රීසියෙන් ‘ඩොක්ටර්’ කීවත් ඔහු සර්වාංග වෙදකම උගත්තෙක් නොවන නිසා මා ඔහුව හඳුනාගත්තේ ආචාර්ය ප්‍රසන්න ගුණතිලක වශයෙන්ය. පලා වර්ග පිළිබඳව පර්යේෂණ ගොන්නක් පවත්වා විස්මිත තොරතුරු රැසක් ඉදිරිපත් කරන ඔහු ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරයෙකි.

“මේ ඝර්ම කලාපික රටේ මොනතරම් කොළ වර්ග තිබෙනවද කෑමට සුදුසු. ඒත් ජනතාව ගොටුකොල, මුකුණුවැන්න, කංකුන් වගේ වාණිජ පලා වර්ග කීපයකට සීමා වෙලා. ඉතා අවාසනාවන්ත තත්වයක්. කොළ එළවලු වල තිබෙන පිළිකා නාශක, බැක්ටීරියා නාශක ගතිගුණ වගේම, දියවැඩියාව වැනි රෝග වැළක්වීමේ හැකියාව ගැන ලොව පුරා පර්යේෂණ රැසක් කෙරිලා තියෙනවා. මෙතන සඳහන් කරපු ප්‍රධාන පලා වර්ග තුනෙන් ඔබ්බට අපේ රටේ නම් තොරතුරු ජනනය වෙන්නේ ඉතා සීමිතව.”

එතුමන්ගේ චෝදනාව කාහටදැයි පැහැදිලි නැත. වගාකරන ගොවියාද, මේ වර්ග තුන කෙරෙහි වැඩි අවධානයෙන් පර්යේෂණ පණිවිඩ ජනනය කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද, මේ පලා වර්ග තුනම ඉල්ලා හඬන පාරිභෝගිකයාද මේ චෝදනාවේ සම වගඋත්තරකරුවන් වේ. මෙම වාණිජ පලා ත්‍රිත්වයට එරෙහිව හුස්මක් ගත්තත් ඇතැමුනට බොහොම කේන්ති යයි. කලකට ඉහතදී පර්යේෂණ තොරතුරක් පදනම් කොටගෙන වෙළඳාමට රැගෙන එන ගොටුකොල, මුකුණුවැන්න වල ඇති වසවිස ඉතුරුම් ගැන ලිපියක් පලකල මා, ඇඩ්රස් නැතිවෙන්නට ගොස් බේරුනේ අනූනමයෙනි. පවත්වා ඇති පර්යේෂණයේ කාලෝචිත බවත්, පුවත්පතෙහි පලවූ ලිපිය මගින් කෙරුණු සමාජ දැනුවත්කිරීමේ සත්ක්‍රියාවත්, බහුතර සමාජය විසින් එකහෙලාම නිහඬව අනුමත කරද්දී, ලෝකයට ඇසෙන්නට කෑගසා පර්යේෂණ දත්තයන්ට එරෙහි වූවන්, කන්නට තවත් පලාකොල වර්ග රටපුරා තිබෙනවායයි කියා හීන් කෙඳිරිල්ලක්වත් පිටකෙරුවේ නැත. ඔවුන් කුලප්පු වූයේ, ඇතැම් අශීලාචාර ගොවියන් විසින් අද තෙල් බෙහෙත් ගැසූ පලාකොල, හෙට උදයේ කපා මිටිබැඳ විකිණීමත්, තවත් පැය කීපයකින් අමු අමුවේම මේ වසවිස අහිංසක මිනිසුන්ගේ උදරගතවීමත්, යන පාප කර්මයන් සමාජයට එළිදරවු වීම හේතුවෙනි. වගකිව යුත්තන් කළයුතුව තිබුනේ එවන් තප්පුලෑමක් නොව සාධාරණ ගොවිතැනක් කරමින් පිරිසිදු පලා මිටියක් වෙළඳපොළට එවන ගොවියාගේ නිෂ්පාදනයන්, මේ දහජරාව හා මිශ්‍ර වීම වැලක්වීමට ක්‍රමවේදයක් යෝජනා කිරීමයි. මෙවැනි සමාජ වටපිටාවක් තුල වයඹ විශ්ව විද්‍යාල සෙවනේ පිළිසිඳගෙන, ලාංකීය කොළඑළවලු වංශකතාව වෙනුවෙන් බිහිවූ මේ පරිච්ඡේදය මසුරන් වටිනා බව කිවයුතු වන්නේ එබැවිනි.

“2016 අවුරුද්දේ මට ජාතික විද්‍යා පදනම ඔස්සේ අරමුදල් ලැබුනා මේ පර්යේෂණය පවත්වන්න. ලංකාවේ වැවෙන පලා වර්ග 34 ක් යොදාගෙනයි වැඩේ පටන් ගත්තේ. මේ අතර බොහොමයක් අඩු අවධානයක් සහිත වර්ග. අපේ ජනතාව ඈත අතීතයේ සිට මේවා අනුභව කෙරුවත්, ඒවායේ තිබෙන ‘ප්‍රති ඔක්සිකාරක’ ගුණය ගැන නිසි තක්සේරුවක් කෙරිලා නෑ. සංසන්දනය කිරීම සඳහා මම අරගත්තේ ගොටුකොල”

එසේ පවසන ආචාර්ය ප්‍රසන්නගේ පලාකොල 34 ලැයිස්තුව දෙස බලන කාහට උනත් සිතෙන්නේ කෙතරම් විවිධත්වයකින් අපගේ කෑම පිඟාන සැරසිය හැකිද යන්නයි. කෝප්පකොල, වැල්කොහිල, පිටසුදු සාරන, කලුකම්බේරිය ආදී වශයෙන් කෑමට ගතහැකි ශාක විශේෂ ගණනාවක් ඔහු තම පර්යේෂණයට යොදාගෙන තිබේ. අතීතයේ සිට පුරුද්දට මෙන් අප පලා වර්ග අනුභව කෙරුවත්, එහි ආදීනව වශයෙන් පාසැලේදී පවා දරුවන්ට උගන්වන්නේ ඒ හරහා සිරුරට අවශ්‍ය විටමින් සී, ඛනිජ ලවන, තන්තු වැනි දේ ලැබෙන බවය. එහෙත් මේ පර්යේෂකයා ඉන් තවත් ඔබ්බට යමින් ‘ප්‍රති ඔක්සිකාරක’ අන්තර්ගතය ගැනද සොයා බලා තිබේ. 34 ක් ලැයිස්තුවෙන් ඉහලටම තේරී පැමිණි කොළ වර්ග පහක් මේ යටතේ තව දුරටත් අධ්‍යයනය කෙරින. කතුරුමුරුංගා, රණවරා, කුරිඤ්ඤන් කොළ, මැල්ල කොළ හා පැෂන්ෆ්රුට් කොළ මෙසේ ඉදිරියට තේරී පැමිණි වර්ගයි.

මා හට නැවතත් ‘ගමේ කෑම බුෆේ’ විකුණන රෙස්ටෝරන්ටුව මතක්වේ. කතුරු මුරුංගා කොළ හැර අන් පලාකොල වර්ග හතරම එහි නැත. ඔවුන්ගේ ගමේ කෑම වී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කලකට ඉහතදී සිංහල නම් පවා ලබාදී, වගා ක්‍රමවේද පැකේජයකුත් සමග වානිජකරණයට හසුකළ තුඹ කරවිල, තිබ්බටු, කිරිඅල වර්ග යනාදී බෝගත්, සුපිරි වෙළඳසැල් වල පවා අලෙවිකරණ නෙලුම් දඬු, කෙසෙල් මුව වැනි එළවලුත්ය. ලස්සනට බඳුනක දමා, ඇස රවටන ලේබලයක් ගසා, පිදුරු තෙම්පරාදුවක් දුන්නත් ගමේ කෑම යයි සිතමින් සතුටින් තළුමරන නාගරික කණ්ඩායම කෙරෙහි වූ අනුකම්පාව පෙරදැරිව, ‘ගමේකෑම’ යන වචනයේ අර්ථ විවරණය නැවතත් කළයුතුය. නියම ‘ගමේකෑම’ තවමත් කාපට් පාර අද්දරින් පොල්අතු පියැස්සක් අටවාගත් රෙස්ටොරන්ටුවට පැමිණ නැති නිසාය.   

 “මේ පහම ගොටුකොල වලට වඩා හොඳයි. රණවරා වල ෆීනොලික සංයෝග, ගොටුකොල වලට වඩා 10 ගුණයක් විතර වැඩිපුර තිබෙනවා. මැල්ල කොලවල හත් අට ගුණයකින් වැඩිපුර තිබෙනවා. පැෂන්ෆ්රුට් කොලවල විටමින් සී අන්තර්ගතය සේරෝටම වඩා වැඩියි. ගොටුකොල මෙන් 20 ගුණයක් විතර වැඩිපුර තියෙනවා.”

විද්වත් අනාවරණය පෙළගැසෙන්නේ එසේය. අලගියවන්න මුකවෙටිතුමා සුභාෂිතයේ ලියා ඇති පැදි පෙළක සඳහන් වන්නේ ඇතුන්ගේ කුම්භස්තලයෙන් වැටුන බබලන මුතු ඇට අහකට දමා වැදි ජනයා ඔලිඳ ඇටවලින් තම උර පෙදෙස අලංකාර කර ගන්නා බවකි. අප විසින් මේ කරන්නේද ඊටත් එහා ගිය මෝඩ තකතීරු වැඩක්ය. ගජමුතු වැනි වටිනා පලාකොල ගොන්නකට ‘ඌණභාවිත’ (Under Utilized) යන ලේබලය අලවා පැත්තකට කර තබා, වසවිස තැවරී ඇතැයි හතරවටෙන් සැක සංකා පහල කෙරෙන වාණිජ පලාකොළ ත්‍රිත්වයක් සමග දැවටෙන්නට දැඟලීම මේ මහා පරිමානයේ ගොන්කමයි. මේ සමගම තවත් දෙයක් මතක් කල යුතුව තිබේ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා තිබීමත් හොඳ නැත. ෆීනෝලික සංයෝග වැනි දෑ වැඩිපුර ශරීර ගතවීමත් අප අනුමත නොකරමු. පැරැන්නන් වුවත් මෙවැනි සාම්ප්‍රදායික ආහාර දිනපතා අනුභව කෙරුවේ නැත. ඊට එක හේතුවක් වූයේ එදා පරිසරයේ  ආහාර බෝග බහුලව අන්තර්ගත වීමයි. සතියේ දින හතට ඔවුන්ගේ පතරාසයට කෑම ජාති හත් වර්ගයකි. ඒ නිසා අද කෑ දෙය ඔවුනට කැවෙන්නේ තවත් දින ගනනාවකිනි. මෙම විවිධත්වයට හැකි පමණින් අනුගත වීමට අප ළමා, තරුණ පරපුර මෙහෙයවිය යුතුවේ. දින දෙක තුනකට වරක් වාණිජ පලා අතහැර, ප්‍රති ඔක්සිකාරකයන්ගෙන් සපිරි ‘ඌන භාවිත’ පලා වර්ගයක් ආහාරයට ගැනීමට අදිටන් කර ගත යුතුය. පසුගිය දිනෙක මහරගම පැත්තෙන් අසන්නට ලැබුණු අමිහිරි පුවතක් වූයේ දිනකට මෙරට පිළිකා රෝගීන් 76 දෙනෙක් අලුතින් ලියාපදිංචි වෙන බවයි. පිළිකා වැළක්වීමේ විභවයක් ඇති ප්‍රති ඔක්සිකාරකයන් සහිත ශාක පිරි වනාන්තරයක වෙසෙන අප මෙවැනි පුවත් ඇසිය යුතු වන්නේ නැත. වැඩිහිටි ජනගහනයේ වර්ධනය මතද පිළිකා වාර්තාවීම වැඩිවීම සිදුවෙන බව අප පිළිගත යුතුවේ. මන්දයත් මෙවැනි රෝග මතුවන්නේ වයස වැඩිවීමේදී නිසාය. එසේ වුවත් තරුණ කාලයේදී කඩුව අතැතිව කොස් කොටමින් සිට වයසට යත්ම පිළිකා මාරයාට බෙල්ල දීම නම් නොකළ යුත්තක්ම වේ.

“පලා වර්ග සතු මෙම අගනා ෆීනෝලික සංයෝග අන්තර්ගත වෙන්නේ එම පත්‍රවල සෛල ඇතුලේ. අපේ සිරුරට පහසුවෙන් උරා ගන්න නම් ඒවා පිටතට ඇවිත් තිබිය යුතුයි. අපිටම ආවේනික පලාකොල පිසීමේ ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි මැල්ලුම. මෙතනදී හීනියට කොළ කපන විට අනිවාර්යෙන්ම සෛල කැඩිලා සංයෝග එලියට එනවා. මැල්ලුම ඕනෑවට වඩා රත් කරන්නෙත් නැති නිසා තාපය හමුවේ ෆීනෝලික සංයෝග විනාශ වෙනවාත් අඩුයි. හැබැයි වතුර දාල තැම්බුවොත් නම් දියවෙලා කොටසක් අපතේ යනවා. ඒ නිසා පලා අනුභව කිරීමේ හොඳම ක්‍රමය තමයි මැල්ලුම”

ආචාර්ය ප්‍රසන්න එවර අවතීර්ණ වුයේ අපතේ නොයවා උපරිම ප්‍රමාණයකින් ප්‍රති ඔක්සිකාරකයන් සිරුරට ඇතුළු කරගැනීමේ ක්‍රමවේදයන් පැහැදිලි කිරීමටයි. මැල්ල කොළ, පර්යේෂණ ප්‍රතිපල අනුව ප්‍රති ඔක්සිකාරක ගුණය අතින් ප්‍රධාන පලා වර්ග 5 අතරට පැමිණියත්, ගැඹුරු තෙලෙහි බැද අනුභව කිරීමේ රටාව නිසා එහි අන්තර්ගත ෆීනෝලික සංයෝග බොහොමයක් විනාශ වන බවද ඔහු පෙන්වා දෙයි. බ්‍රොකොලි වැනි එළවලුවක් තුල සංයුතියෙන් එකිනෙකට වෙනස් වූ ප්‍රති ඔක්සිකාරකයන් 70 කට වඩා අන්තර්ගත වේ. මේවා කලහකාරී ‘මුක්ත ඛණ්ඩක’ සමග සටනේ යෙදෙන්නේ තනි තනිව නොව සාමූහිකවය. සටන් ක්‍රමවේදයන්ද එකිනෙකට වෙනස්ය. විවිධ ශාක ආහාර පාදකවූ කෑම පිඟානක් හරහා දේහයට ඇතුල්වෙන ප්‍රති ඔක්සිකාරකයන්ගේ ප්‍රමාණය, සාන්ද්‍රණය හා සයෝග පරාසය හා සමකරන්නට තබා ඊට ලංවන්නට වත් කෘතිමව නිපදවන ප්‍රති ඔක්සිකාරක ඖෂධයන්ට හැකිවන්නේ නැත. ලංකාවේ පවතින ජෛව විවිධත්වය තුලින් මිනිසා ලඟාකරගෙන ඇති රෝග නිවාරණ වාසනාව එයයි.

කපුටු කූඩුවක කොවුලා ඇතිදැඩි වුවද උගේ නාදය දෙසවනට මිහිර ගෙනදෙන්නා සේ, කීර කොටුවේ තෙල් බෙහෙත් සාත්තුව නොලැබූ ඌන භාවිත කැලෑ කොලයේ වරුණ, ලොවට හෙලිකල මෙම පර්යේෂණයේ වාර්තාවට ඇමරිකා එක්සත් ජනපදයේ පලවෙන ක්‍රියාකාරී ආහාර පිළිබඳ ජාත්‍යන්තර සඟරාව වන Journal of Functional Food හි ඉඩ වෙන්කර දීමට 2016 දී එම සංස්කාරක මඬුල්ල පියවර ගෙන තිබේ. ඊට අමතරව ලංකාවේ ජාතික පර්යේෂණ සභාව විසින් මෙම අධ්‍යයනය සඳහා ජනාධිපත් සම්මාන පිරිනැමීම නිර්දේශ කරනු ලදුව, ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් අතින් ආචාර්ය ප්‍රසන්න ශූරීන් එම වසරේදීම සම්මාන ලබා තිබේ. මින් සනාථ වන්නේ ජාත්‍යන්තරවත්, දේශීයවත් මෙම අනාවරණය නිසිලෙස පිදුම් ලබා ඇති බවයි. එසේනම් අප තවමත් වටපිට බලමින් සිටිය යුතු නොවේ. ‘ඌන භාවිත’ ලේබලය මෙම පලා කොළ වලින් ගලවා වගා තාක්‍ෂණයන් බිහිකර, ගොවීන් දැනුවත් කිරීමටත්, බෙහෙත් ගුණය නොනැසෙන්නට කෑමජාති සාදා ගෘහණිය දැනුවත් කරන්නටත්, වගකිවයුත්තන් පෙරට ආ යුතුවේ. සම්මානලාභී අනාවරණයක් හරහා ජනතා සුභසිද්ධිය සැලසෙන්නේ ඒ අයුරෙන්ය. ආතතිය කරපින්නාගෙන ජීවත් වෙමින් ‘මුක්ත ඛණ්ඩ’ යන්ගේ පහරදීම් හමුවේ අකාලයේ වයසට යනවාට අමතරව, බෝ නොවන රෝග වැළඳී කලින්ම සුසානයට යන මිනිසාගේ ගමන පමාකරන්නට හැකිවන්නේද එවිටය.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor