පූජිත් ජයසුන්දරගේ මූලික අයිතිවාසිකම්පෙ ත්සම ජූලි 31ට කල් යයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය.

පොලිස්පතිවරයා විසින් ගොනුකර ඇති මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය කරුණු පුළුල් ලෙසට සහ තර්කානුකූලව බැලිය යුතු බැවින් මෙම තීරණය ගත් බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

මෙම පෙත්සමෙන් පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පති C.D.වික්‍රමරත්න, ජනාධිපති ලේකම්වරයා, කථානායක කරූ ජයසූරිය ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් නම් කර තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිව යුතු බව සඳහන් කරමින් ජනපතිවරයා විසින් තමා අනිවාර්ය නිවාඩු යැවීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි නියෝග කරන මෙන් ද තමා යළි සේවයේ පිහිටුවන ලෙස ජනපතිවරයාට නියෝග කරන මෙන් ද ඉල්ලා මේ වන විට අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

මෙම පෙත්සමට එරෙහිව පෙත්සමේ හතර වන වගඋත්තරකරු වන ජනාධිපති ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මගින් විරෝධතා ගොනු කළ බව ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණී ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා  සිටියේය.

අද දින මෙම පෙත්සම විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනියගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.

Recommended For You

About the Author: Editor