බුදු පුත් සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමය ක්‍රියාවට නංවන්නේ මහා සංඝරත්නයේ මෙන්ම බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව සඳහායි – අගමැති

බුදු පුත් සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමය ක්‍රියාවට නංවන්නේ මහා සංඝරත්නයේ මෙන්ම බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව සඳහා බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම රක්‍ෂණ ක්‍රමය ඉදිරියේදී අනෙකුත් ආගම්වල පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන බව අද (26) අරලියගහ මන්දිරයේදී පැවසීය.

මේ වනවිට බුද්ධශාසන අමාත්‍යංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඇතුළු රජයේ සියලූම ආයතන බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ගත වූ වසර හතර, පහ තුළ රුපියල් මිලියන 7000 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත් මෙතරම් විශාල මුදලක් බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් වෙන් කළ වෙනත් ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ නොතිබූ බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (26) අරලියගහ මන්දිරයේදී පැවැති ශ්‍රී ලාංකීය භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන් ක්‍රියාත්මක කරන “බුදු පුත් සුරක්‍ෂා” රක්‍ෂණ ක්‍රමය  ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාව තුළ බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමට අපි දේශපාලන භේද පසෙකින් තබා කටයුතු කළ යුතුයි. ගමේ පන්සල් දියුණු කිරීම විශේෂයෙන් කළ යුතුයි. නගරයේ විහාරස්ථානවලට යම් තරමකින් මූල්‍ය ශක්තියක් තිබෙනවා. එම නිසා ග්‍රාමීය, නාගරික භේදයකින් තොරව රටේ බෞද්ධ විහාරස්ථාන ආරක්‍ෂා කිරීම හා දියුණු කිරීම රජයෙන් සිදුවිය යුතු කාර්යයක්.

බුදු පුත් රක්‍ෂණ වැඩසටහන යටතේ සංඝයා වහන්සේලා පමණක් නොව සංඝයා වහන්සේලාගේ දෙමව්පියන් රැක බලාගැනීමට අවශ්‍ය වියදම් පිළිබඳවත් අවධානය යොමු කරනවා. රාජ්‍ය අනුග්‍රහය සහිතව අප මෙම වැඩසටහන ආරම්භ කළේ අනාගතයේත් සංඝයා වහන්සේලාගේ සුරක්‍ෂාව අරමුණු කරගෙනයි.

Recommended For You

About the Author: Editor