ශ්‍රී ලංකාව තුළ උද්ගත වූ ත්‍රස්තවාදී තර්ජන අවසන් වී ඇතැයි තහවුරු කළ නොහැකියි – යුද හමුදාපති

ශ්‍රී ලංකාව තුළ උද්ගත වූ ත්‍රස්තවාදී තර්ජන අවසන් වී ඇතැයි තහවුරු කළ නොහැකි බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කරන ලද පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

“අපි යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය එකතු වෙලා බුද්ධි අංශ මාර්ගයෙන් සිදු කරමින් යන්නේ, මෙය තවදුරටත් වර්ධනය වීම තවත්වන්න. එහෙම නැතුව කිසි ම කෙනෙකුට තහවුරු කරන්න බැහැ, මේක ඉවරයි කියන එක කාටවත් කියන්න බැහැ. ඒක ප්‍රායෝගික නැහැ.”

කෙසේ වෙතත්, එය “වර්ධනය වන තත්ත්වයක් ඉඳුරා ම පෙනෙන්නට නැති,” බව ඔහු සඳහන් කළේය.

එහිදී සාක්ෂි දෙමින් යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක පැවසුවේ, මේ වන විට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර සබඳතා වැඩි වී ඇති බවය. ඒ හරහා ත්‍රස්ත උවදුරු පිළිබඳව බුද්ධි තොරතුරු ලබා ගැනීමට ඉන්දියාව පමණක් නොව ජාත්‍යන්තරය සමග ද සබඳතා පැවැත්වීමට හැකි වී ඇතැයි ඔහු සඳහන් කළේය.

ත්‍රස්ත තර්ජන සම්පූර්ණයෙන් ම අවසන් වී ඇති බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා කමිටුව හමුවේ දුන් සාක්ෂි උපුටා දක්වමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහිදී ප්‍රශ්න කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා:

ත්‍රස්තවාදී ප්‍රහාර පිට පිට එල්ල වෙන්නෙ නැහැනෙ. අද එකයි, හෙට එකයි, ලබන සුමානෙ එකයි එහෙම නැහැනෙ. බෝම්බ යන වේගය අනිවාර්යයෙන් ම කාලයක් යනවා. එතකොට අපට එක බෝම්බයක් ගියාට පස්සේ ඒකට අදාළ අය ඇල්ලුවාට තීරණයකට එන්න බැහැ ත්‍රස්ත උවදුරු ඉවරයි කියලා. ඒක පිළිගන්නවා ද ඔබතුමා?

යුද්ධ හමුදාපති:

ඇත්ත වශයෙන් ම ඔබතුමා කළ ප්‍රකාශය හරි. මං පිළිගන්නවා කාල වේලාවක් නෑ මේ සඳහා. ඒ නිසා තාමත් කෙනෙකුට අවශ්‍ය නම් යමක් සිදු කිරීමේ හැකියාවක් තිබෙන්නට පුළුවන්. ඒ නිසා තමයි උදෙක් ම හමුදාවල් ඒ සඳහා යොදවලා තියෙන්නේ. බුද්ධි අංශ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. තවත් සක්‍රීය කරල තියෙන්නේ, එවැනි දෙයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන විදිහට. ඒ නිසා කිසි ම අවස්ථාවකදී කියන්න බැහැ, 100%ක් ඉවරයි කියලා. තවමත් අපි හොයලා බලනවා, එල්ටීටීඊ සංවිධානයේ අයත් කරන්නේ මොනව ද කියලා. ඒ අය එතෙර ගිහිල්ලා ඩයස්පෝරාව එක්ක වෙන්න පුළුවන් නැත්නම් අනෙක් කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒ නිසා ත්‍රස්තවාදය කියන එක දවසකින් දෙකකින් කාලවකවානුවකදී ඉවර කරන්න බැහැ. ඒ සඳහා රජයක් හැටියට හමුදාවක් හැටියට අපේ තියෙන සැලසුම් අනුව තමයි ඒක තව තවත් කොන්ටේන් කරන්න පුළුවන් වෙන්නේ.

බුද්ධි අංශය අඩපණ වුණා ද?

වත්මන් රජය යටතේ බුද්ධි අංශයේ යම් පසුබෑමක් සිදුවුණා දැයි මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ, එය පිළිගත නොහැකි බවය.

“මම හිතන්නේ නැහැ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා සමස්ත බුද්ධි අංශයක් ම රටක කඩාකප්පල් වෙන්න පුළුවන් කියලා. ඒකට ඒ නායකයින් ප්‍රතිකර්ම යොදාගත යුතුයි. අත්අඩංගුවට ගැනීම් කෙසේ වෙතත් යම් කෙනෙක් මිය ගියා නම් තත්ත්වය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. යුද්ධ කාලෙදි ඒ වගේ අපේ බුද්ධි අංශයේ අය මිය ගිහිල්ලා තියෙනවා. එහෙම කියල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ, අනිත් හමුදාවල බුද්ධි අංශවල කඩා වැටීමක් තිබුණ කියල මට එක පාරට ම කියන්න බැහැ. හමුදාපති හැටියට මම වගකියන්න ඕන මේ වෙලාවේ තත්ත්වයට.”

ඇමති බදියුද්දීන් බලපෑම් කළා ද?

පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙහිවලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ගේ බලපෑම් සිදුවුණා දැයි මෙහිදී ප්‍රශ්න කෙරිණි.

“කිසි ම වතාවක එතුමා මට බල කිරීමක් කළේ නැහැ. එතුමා මගෙන් අසා සිටීමක් කළා. සමහර අවස්ථාවලදී මම කියලා තියෙනවා ඉල්ලීමක් කළා කියලා. තුන්වෙනි අවස්ථාවෙදි එතුමා මට කිව්වා මේ පුද්ගලයා එතුමා යටතේ වැඩ කරන උසස් නිලධාරියෙකුගේ පුතෙක්. ඒ නිසා පොඩ්ඩක් හොයල බලන්න, මොකක් ද කරන්න පුළුවන් කියලා. එහෙම නැතුව කිසි ම අවස්ථාවකදී ඇමතිතුමාවත්, වෙන කිසි ම දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙක්, රජයේ සේවකයෙක් මේ දක්වා මට කිසි ම බලපෑමක් ඇති කරල නැහැ අත්අඩංගුවට ගැනීමට හෝ අත්අඩංගුවට ගත් අයවලුන්ව නිදහස් කරන්න කියලා.”

ඔබට ඔබේ රාජකාරිය ස්වාධීනව කරගෙන යන්න ඕන තරම් නිදහස තිබුණ ද?

යුද්ධ හමුදාපති:

මේ දක්වා ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත් වෙන කිසි ම ඇමතිවරයෙක්වත් මට බලපෑම් ඇති කරල නැහැ. යුද්ධ හමුදාව ස්වාධීනව කටයුතු කරන ආකාරයක් තමයි මේ අවස්ථාවේදී පෙන්නුම් කරන්නේ.

බුද්ධි අංශ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවෙන් ජනමාධ්‍ය ඉවත් කරනු ලැබීය

2019 ජූනි 26 BBC සන්දේශය වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි.

Recommended For You

About the Author: Editor