කුඞ්ඩෝ එල්ලන ජනපති තීරණයට යුරෝපා සංගමයෙන් සහ මහා බි‍්‍රතාන්‍යයෙන් රතුඑළි

ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය ජාත්‍යන්තර ප්‍රජාවට, ආයෝජකයන්ට සහ රටේ පාර්ශ්වකරුවන්ට වැරැදි පණිවුඩයක් ගෙන යන බව යුරෝපා සංගමය විසින් අද (27) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, යුරෝපා සංගමය ඕනෑම අවස්ථාවකදී ඕනෑම දඬුවමකට මරණ දඬුවම ලබාදීමට පැහැදිලිවම සහ කිසිදු සැකයකින් තොරව විරුද්ධ බවයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකාව යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ මණ්ඩල සැසියට දුන් පොරොන්දුව කඩ කිරීමක් වශයෙන් සැලකිය හැකි අතර යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලබා දී තිබෙන අතර ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය ඇතුළු ප්‍රඥප්ති 27 ශ්‍රී ලංකාව සාර්ථකව හා ඵලදායීව ක්‍රියාත්මක කරන්නේදැයි යුරෝපා සංගමය සමීපව නිරීක්ෂණය කරයි.

මත්ද්‍රව්‍ය ආශ්‍රීත අපරාධ වැළැක්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ ද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් එම අපරාධ වැළැක්විය නොහැකි බව බොහෝ අධ්‍යයනවලින් අනාවරණය වී ඇති අතර මරණ දඬුවම කෲර, අමානුෂික සහ අවමන් සහගත දඬුවමක් වශයෙන් යුරෝපා සංගමය සලකයි.

රටේ පැවැති අභ්‍යන්තර ගැටුමෙන් පසුව ශ්‍රී ලංකාව නම්‍යශීලීල ප්‍රජාතන්ත්‍රවාදී සහ සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත සමාජයක් ගොඩනගමින් විශාල ප්‍රතිපත්තියක් අත්පත් කරගත් අතර එම ජයග්‍රහණ ඉදිරියටත් පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද යුරෝපා සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මහා බි‍්‍රතාන්‍යයෙන් අනතුරු ඇඟයීමක්

මේ අතර මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහා බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු නීතියේ බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර වනු ඇති බවයි. ඒ අනුව ප්‍රතිත‍්‍රස්ත සහ ආරක්ෂාව ඇතුළු ඒ හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රවලට ලබා දී ඇති තාක්ෂණික සහාය සම්බන්ධයෙන් නැවත වරක් විමසා බැලීමට සිදුවනු ඇතැයි ද එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මහා බි‍්‍රතාන්‍ය ශ්‍රී ලංකා රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන බවත් එමෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි මහා බි‍්‍රතාන්‍ය විසින් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Editor