මේ සතියේ නම් එල්ලලා මරන්නේ නැහැ – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරන ලද අතර එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

අභියාචනාධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් මත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.

පෙත්සම්කාර මාලින්ද සෙනෙවිරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින් 4 දෙනෙකුට ඔවුන්ගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර ඇති බවයි. මෙම තීරණය තුළින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුවත් එමගින් දැඩි මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවීමට ඉඩකඩ තිබෙන බව පෙත්සම්කරු පෙන්වා දුන්නේය. එබැවින් එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා නියෝජනය කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙවැනි නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ පෙත්සම සලකා බලන අවස්ථාවේ දී එම මූලික විරෝධතාව මතු කිරීමට හැකියාව පවතින බවයි.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉදිරි දින 4 තුළ කිසියම් හෝ විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් කිරීමේ සූදානම් තිබේදැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගෙන් විමසා සිටියේය.

එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබි නොමැති බවයි.

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ කළ තවත් විමසුමකට පිළිතුරු දුන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සිකුරාදා සිට සතියක කාලයක් තුළ කිසිදු විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන බව ද දන්වා සිටියේය. ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කර ගත් අභියාචනාධිකරණය එම පෙත්සම සලකා බැලීම ජුලි මස 02 වන දා සිදු කරන ලෙසට නියම කළේය.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතාට අමතරව සිරකරුවන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් ද සිල්වා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු විසින් ද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර ඇත.

එහිදී පෙත්සම්කරුවන් කියා සිටින්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොව මිනීමැරුම් ඇතුළු චෝදනා ගණනාවකට වරදකරුවන් වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින් බන්ධනාගාරවල සිටින බවයි. එවැනි තත්වයක් තුළ මත් ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින්ගේ දඬුවම් පමණක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බව ද පෙත්සම්කරුවෝ තම පෙත්සම මගින් පෙන්වා දෙති.

Recommended For You

About the Author: Editor