පාකිස්ථානය බලාපොරොත්තු දල්වා ගනී : ඔස්ටේ‍්‍රලියාව ස්ථාවර වෙයි: නවසීලන්තය පසුබෑමක

ඊයේ (29) පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයෙන් පාකිස්ථානය ද, ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර පැවැති තරගයෙන් ඔස්ටේ‍්‍රලියාව ද ජයග‍්‍රහණය කළා.

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත් වුණේ ලීඞ්ස් ක‍්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගන් පිල නියමිත පන්දුවාර 50 තුළදී සියලූ දෙනාම දැවී ලකුණු 227ක් රැස් කළා. ඇෆ්ගන් පිළ වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස Asghar Afghan සහ Najibullah Zadran ලකුණු 45 බැගින් වාර්තා කළා.

පාකිස්ථානය වෙනුවෙන් පන්දු යැවූ Shaheen Afridi ලකුණු 47කට කඩුළු 04ක් වාර්තා කළා.

ලකුණු 227ක් වැනි පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමට ඒ ඉලක්කය හඹා යාම පහසු වුණේ නැහැ. ආරම්භක පිතිකරු ෆකර් සමාන් ලකුණු නොලබා දැවී ගියා. පසුව බාබර් අසාම් සහ ඉමාම් උල් හක් දෙදෙනා එක්ව ඉනි යළි ගොඩනැගුවා. එහෙත් මෙම පිතිකරුවන් දෙදෙනාම පන්දු 8 ක් ඇතුළත දැවී යාම නිසා පාකිස්තානය අමාරුවේ වැටුණා.

පන්දු 30 කින් ලකුණු 46 ක් අවශ්‍යව තිබියදී අවසන් ඕවර 5 ආරම්භ වූ අතර ඉමාඞ් වසිම් එම ඕවරයෙන් ලකුණු 17 ක් උදුරා ගත්තේ වයිඞ් පන්දුවක වාසියද කණ්ඩායමට එකතු කරමිනුයි. මෙම ඕවරයේදී ඉමාඞ් වසිම්ගේ පහරක් වැරදී ගියද එයින් ඉහළ ගිය උඩපන්දුව අස්ගර් ඇෆ්ගන්ට රැකගත නොහැකි වුණා. ඒ සමග තරගයේ වාසිය පාකිස්ථානය වෙත ගමන් කළා.

පාකිස්ථාන පිල පන්දුවාර 49.4 දී කඩුළු 07ක් දැවී ඉතාම අසීරුවෙන් ජයග‍්‍රාහී ලකුණු සංඛ්‍යාව පසුකර ගියා. ඒ අනුව ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුළු 03ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කළා.

මේ සමග පාකිස්ථානය ප‍්‍රසාද ලකුණු පුවරුවේ සිව්වන ස්ථානය දිනා ගත්තා. ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව දැන් පාකිස්ථානය හමුවේ තිබෙනවා.

නවසීලන්තය පසුබෑමක

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 37 වැනි තරගය ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර ඊයේ (29) පැවැත් වුණා. එම තරගයෙන් ඔස්ටේ‍්‍රලියාව ලකුණු 86ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගත්තා.

පළමුවෙන්ම පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දු වාර 50 තුළ දී කඩුළු 09කට ලකුණු 243ක් ලබා ගත්තා. එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට සියලූ දෙනාම දැවී පන්දු වාර 43.4කදී ලබාගත හැකි වුණේ ලකුණු 157ක් පමණයි.

ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ 88 වාර්තා කළේ Usman Khawaja විසිනුයි. Alex Carey ලකුණු 71ක් වාර්තා කළා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවූ Trent Boult ලකුණු 51කට කඩුළු 04ක් දවා ගත්තා.

ඔස්ටේ‍්‍රලියාව විසින් ලබා දුන් ලකුණු 243ක පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම දැඩිව අසාර්ථක වුණා. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ ලකුණු 40ක් ලබා ගත් Kane Williamson පමණයි.
ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් Mitchell Starc   ලකුණු 26/5ක් දවා ගත්තා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor