රවීට තෙල් දෙන්නෑ – වෘත්තීය සමිති: මම වෘත්තීය සමිතිවලට බය නෑ – රවී

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නවතා දමන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ජයන්ත පරෙයිගම මහතා පැවැසීය.

මේ සඳහා හේතු වශයෙන් එම සංගමය දක්වන්නේ කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉනධන නළ සකස් කිරිමේදී විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා බාධා සිදුකිරීමයි.

අඟල් 12 නළ මාර්ගය එළීමේදී ඉවත් කළ යුතු නිවාස වන්දි මුදල් ලබාදී ඉවත් කර තිබියදී කිසිඳු හේතුවක් නොමැතිව අමාත්‍යවරයා අදාළ කටයුතුවලට බලපෑම් කරන බවද එම පරෙයිගම මහතා පැවැසීය.

තම තීරණය සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම වෘත්තීය සමිති සහාය දක්වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ තීරණය ගැන ප‍්‍රතිචාර දක්වන ඇමැති රවී කරුණානායක මහතා පවසන්නේ තමන් වෘත්තීය සමිතිවල අභියෝගවලට බිය නොවන බවයි.

අද (30) මට්ටක්කුලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවැසීය.

මෙහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමති රවී කරුණානායක මහතා,

‘‘අවුරුදු 11ක් ඛනිජ තෙල් සංස්ථාවේ අදක්ෂතාව අපේ අහිංසක උතුරු කොළඹ ජනතාව තුළින් ගන්න බෑ. තෙල් නළයක් යනවා ඒක ඇත්ත. නමුත් මේ සම්බන්ධයෙන් මොකක්ද කරලා තිබෙන්නේ ? මම උතුරු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් කොයි එක්කෙනෙක් ඇවිල්ල අභියෝග කර ජනතාව නෙරපා හරින්න ඉඩ දෙන්නේ නෑ. ඔය යූනියන් වල අභියෝග කළා කියලා අපට කිසි ගණනක් නෑ. ඒ අය මේ සම්බන්ධයෙන් කථා කරන්නත් අවශ්‍ය නෑ. කබීර් හෂීමුයි මමයි අපේ අමාත්‍යාංශ ලේකම්වරුයි කථා කරලා තිබෙන්නේ. මේ අහිංසක ජනතාව ගෙයින් තල්ලු කරන්නද කියන්නේ. ධනපතියන්ට උදව් කරන්නද හදන්න? ඛනිජ තෙල් සංස්ථාවෙන් සල්ලි දෙන්න ඕන. තෙල් නළ පුපුරවනවා කියලා හරියන්නේ නෑ’’ යැයි ද පැවසීය.

Recommended For You

About the Author: Editor