හිටපු ආරක්ෂක ලේකම්-පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් වැ.බ. පොලිස්පතිට ලිඛිත නියෝග

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම මඟින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයා ප‍්‍රබල ලෙස රාජකාරිය පැහැර ඇති බව සඳහන් කරමින් ඔවුන් සැකකරුවන් ලෙස වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට ලිඛිතව නියෝග කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

ඒ අතර නීතීපතිවරයා විසින් මීට දින 05කට පෙර නිකුත් කළ මෙම නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතූ දක්වන ලෙස ද වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට නීතිපතිවරයා විසින් ලිඛිතව නියම කර ඇතැයි ද නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ජයරත්න මෙනෙවිය, පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ තවත් අයවලුන්ගේ නොසැලකිල්ල හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කරනු ලබන අපරාධ විමර්ශනය අනුව නීතිපතිවරයා මෙම නියෝගය නිකුත් කළ බව දැනුම් දුන්නාය.

Recommended For You

About the Author: Editor