‘පන්නරය’ ‘ඉන්න හිතෙන රටකට’ වැඩසටහන එළි දැක්වේ

මේ සෑම උත්සාහයකමල කාර්යයකම අවසන් ප‍්‍රතිඵලය වන්නේ දශක ගණනාවක් පුරා මෙරට ජනතාවගේ මුවගේ රැඳුණු යන්න හිතෙන රට වෙනුවට ‘‘ඉන්න හිතෙන රටකට’’ මං පෙත් විවර වීමයි – ඇමැති චම්පික

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ප‍්‍රමුඛ ආයතන වන නාගරික සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව හා ව්‍යාපෘති කාර්යාල මගින් පසුගිය සමයේ සිදු කළ සුවිසල් සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව පොදු මහජනතාව දැනුවත් කිරීම සඳහා සහ භෞතික සංවර්ධනයට සමගාමීව ජනතාව තුළ මානව සංවර්ධනයක් සිදුකිරීමේ අභිලාශය සහිතව ‘පන්නරය’ ප‍්‍රචාරණ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරේ.

එහි සමාරම්භක අවස්ථාව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද දින වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි. එහිදී විවිධ අංශයන්ගෙන් රට දැය වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා පුෂ්පානන්ද ඒකනායක, ධනික පෙරේරා, චමීර ප‍්‍රසාද් ජයසිංහ, දුලිත් හේරත්, හර්ෂ සුභසිංහ, ආචාර්ය බිෂාන් කුලපාල, මංජු ගුණවර්ධන, ඉංජිනේරු සනත් පනාවැන්නගේ, තරිඳු දයාරත්න, දුලානි චාමිකා විතානගේ, මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ යන මහත්ම මහත්මීන් අමාත්‍යවරයා අතින් සම්මානයට පාත‍්‍ර විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය චම්පික රණවක මහතා, 

අමාත්‍යාංශයේ පන්නරය තමයි මෙහි සිටින ලේකම්තුමා, සභාපතිතුමන්ලා ඇතුළු අපගේ වෘත්තීයවේදී කණ්ඩායම. අපගේ අරමුණ එවැනි කණඩායමක් මේ සමාජය තුළින් මතුවී රාජ්‍ය අංශයෙත්, පෞද්ගලික අංශයෙත් පරාර්ථය මුල්කරගත්, ඒ වෙනුවෙන් ම වැඩකරන වෘත්තීයවේදී පිරිසක් නිපුණතාවයෙන්, කුසළතාවයෙන් ඉස්තරම් මිනිසුන් පිරිසක් අපේ සමාජයේ සුක්කානම රැගෙන යන නායකයින් බවට පත් කිරීම. 

යකඩ මිනිසුන් යනු, එක් පැත්තකින් ශක්තිමත්, වගේම උණුවෙන එයින් අදහස් වන්නේ කරුණාවෙන්, මෛත‍්‍රියෙන්, උපේක්ෂාවෙන් සැදුම්ලත් පිරිසක්. යකඩ විසින් මේ ලෝකයේ විශාල පෙරලියකට, විප්ලවයකට පරිවර්ථනය කළා. ලෝකයේ මුලින්ම යකඩ නිස්සාරණය කර ඒ මගින් ප‍්‍රයෝජන ගන්න පුළුවන් කියලා පෙන්වපු ශිෂ්ඨාචාරය අපි. අතීත අපේ සුවිසල් ශිෂ්ටාචාරයේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ සහ නාගරික කරණයේ ඒ උරුමයත් රැගෙන යනවා. ඒ වගේ මූලික තේමා කිහිපයක් සමග තමයි යකඩ මිනිසුන් අප නිර්මාණය කරන්නේ. රට පුරාම නායකත්වය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මේ යකඩ මිනිසුන් පිරිසක් ආවොත් ඉස්තරම්ම නිපුණතාවයෙන් යුතු පිරිසක් ආවොත් රට බලගතු පෙරළියකට ලක්වෙනවා.

යකඩ භාණ්ඩ පන්නරය ලැබීමෙන් තමයි මුවහත් වෙන්නේ. ඒ වගේ මේ සමාජයේ නිපුණතාවයෙන්, කුසලතාවයෙන් පරිපූර්ණ විශාල පිරිසක් ඉන්නවා. එම විශාල පිරිසට පන්නරය ලබාදීලා රට ජාතිය ඉහළින් ඔසවා තබන වැඩපිළිවෙලට ඔවුන් ශක්තිමත්ව දායක කර ගැනීමේ ව්‍යායාමයක් තමයි අපේ අමාත්‍යාංශය මේ ආරම්භ කර තිබෙන්නේ යැයි පැවසීය.  

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සියළු ආයතන මගින් කි‍්‍රයාත්මක කෙරෙන තිරසර සංවර්ධනයේ කැපී පෙනෙන ව්‍යාපෘතිවල අඩිතාලම බවට පත්ව ඇත්තේ එකිනෙකට සමාන්තරව සිදුවෙන භෞතික හා මානව සංවර්ධනය මේ සඳහා දායකත්වය ලබාදෙන්නේ යකඩ මිනිසුන්ය. පන්නරය ජාතික ව්‍යාපාරයට සාරය ලබාදෙන්නේ ද මේ යකඩ මිනිසුන් බවයි.

ආර්ථික යහපැවැත්ම, ආධ්‍යාත්මික යහපැවැත්ම, ස්වභාව දහම සමග සංහිඳියාව සහ තිරසරභාවය යන හේතු ධර්ම ශාස්ත‍්‍රයන් මත පදනම් වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා දායකවන සහ එම සුවිසල් ව්‍යාපෘති හරහා මහජනතාව වෙත ප‍්‍රතිලාභයන් ලබාදීමට කැප වී ක‍්‍රියාකරන යකඩ මිනිස්සු හරහා ‘පන්නරය’ වැඩසටහන පෝෂණය වනවා.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික, වාණිජ, බුද්ධිමය මෙන්ම දේශපාලනික කේන්ද්‍රස්ථානය වශයෙන් සීග‍්‍ර සංවර්ධනයක් සිදුවන කොළඹ නගරය තුළ ජීවත්වන අඩු ආදායම්ලාභී පැල්පත්වාසී ජනතාව ඔවුන්ගේ අවිධිමත් මුල් පදිංචි ස්ථානවලින් බලහත්කාරයෙන් ඉවත්කරනවා වෙනුවට ගෞරවාන්විතව ජීවිතයක් ගොඩනැගීමට සලස්වමින් ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ ලබාදෙමින් විධිමත් තට්ටුනිවාස ව්‍යාපෘතිවල පදිංචිකරවීම සඳහා අපි නාගරික සංවර්ධන අධිකාරිය – නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කටයුතු කරනවා. පසුගිය සිව් වසරක කාලය තුළ නව නිවාස ඒකක 4,758 ක් ජනතා අයිතියට පත්කර ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය කර ඇති ආයෝජනය රුපියල් මිලියන 21,411 ක්. මේ වනවිට තවත් නිවාස 6,372 ක් ඉදිවෙමින් පවතින අතර ඒ සඳහාවන ආයෝජනය රුපියල් මිලියන 28,674 ක්. මෙම නිවාසවල පදිංචි ජනතාවගේ ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා නැණදිරිය, රිද්ම සැරිය, ජවයට දිරිය හා දිවිදිරිය වැඩසටහන් මගින් මානව සංවර්ධනය ද අඛණ්ඩව සිදු කෙරෙනවා.

සිව්වන කාර්මික විප්ලවය ජය ගැනීමට මෙරට සූදානම් කිරීමේ අරමුණින් හෝමාගම තාක්ෂණ නගරය ඉදිවෙමින් පවතී. මාලඹේ සිට හෝමාගම දක්වා අක්කර 1,200 ක භූමියක් කලාප 4 ක් ලෙස විධිමත් අන්දමින් සංවර්ධනය කොට තාක්ෂණ නගරය ඉදි කෙරෙමින් පවතිනවා. ශ‍්‍රී ජයවර්ධනපුර, කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයන් ති‍්‍රත්වයේ විද්‍යා සහ තාක්ෂණික පීඨයන් මෙම තාක්ෂණික නගරයේ දැනටමත් ඉදිවන අතර ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ජාතික විද්‍යා මධ්‍යස්ථානය, රාජ්‍ය සහ පුද්ගලික ආයතන රැසක් මෙම නව තාක්ෂණ නගරයේ පාර්ශවකරුවන් බවට පත් වෙනවා. ලෝක ආර්ථිකය තුළ සන්නද්ධව තරඟ කිරීමට හැකියාව ලබා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව ද නවීන තාක්ෂණය හා ඊට අවැසි මානව සම්පතින් ශක්තිමත් විය යුතුයි. ලාභ ශ‍්‍රමය මත පදනම්වූ ඇඟලූම් අපනයන ආර්ථිකයේ සිට දැනුම මත පදනම්වූ නවෝත්පාදන ආර්ථිකයක් කරා ශ‍්‍රී ලංකාව මෙහෙයවීම අපගේ අධිෂ්ඨානයයි, උත්සාහයයි. හෝමාගම තාක්ෂණ නගරය නුදුරේදීම මෙරට නවෝත්පාදන සහ තාක්ෂණික විප්ලවය සමග රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුවිසල් දායකත්වයක් සපයයි.

කුඩා වර්ෂාවකදී පවා කොළඹ නගරය ජලයෙන් යට වීම දීර්ඝ කාලයක සිට අප මුහුණ දෙන අවාසනාවන්ත තත්වයයි. උඩින් මල් සිටුවා යටින් අවසලස්සන නගරයක් වෙනුවට ගංවතුරට යට නොවන විධිමත් නගරයක් ලෙස කොළඹ නගරය පවත්වාගෙන යාමට මේ වනවිට කටයුතු ආරම්භ කර තිබෙනවා. රුපියල් මිලියන 5,221 ක් ආයෝජනය කරමින් කොළඹ නගරයේ අපජලය ක‍්‍රමාණුකූලව මුහුදට රැගෙන යාම සඳහා උමං මාර්ගයන් ද්විත්වයක් කොළඹ ටොරින්ටන් ආශ‍්‍රිතව හා නවමුතුවැල්ල ආශ‍්‍රිතව ඉදිකෙරෙමින් පවතිනවා. තවද රුපියල් මිලියන 2,870 ක් ආයෝජනය කර අඹතලේ වැසි ජල පොම්පාගාරය ඉදිකිරීම ද ආරම්භකර තිබෙන අතර මෙම ව්‍යාපෘති අවසන්වීමත් සමග යළි කිසිදිනක කොළඹ නගරයත්, කැළණි ගඟ දෙපස ජනාවාසත් ගංවතුරට බිලිනොවනු ඇත.

මෙරට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට අප අමාත්‍යාංශ වපසරියේ සිට කටයුතු කරා. මනා සැලැස්මකට අනුව පහසුකම් සහිත පොදු ප‍්‍රවාහන සේවයෙක් එමගින් ඇති කෙරේ. කොට්ටාව – මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය වැනි ප‍්‍රධාන මධ්‍යස්ථාන 4 ක් ඇති කිරීම, බස් සේවා නව්‍යකරන හා සහසර ව්‍යපෘතිය මගින් බස් සේවා හා මෙහෙයුම් ජාලගත කිරීම, බස්නාහිර පළාත් සැහැල්ලූ දුම්රිය සංක‍්‍රමණ සේවය රාගම – නාරාහේන්පිට, මොරටුව – කැළණිය, පන්නිපිටිය – හුණුපිටිය ආශ‍්‍රිතව ඇති කිරීම මෙන්ම ජූලි 3 වන දා ජපාන ජයිකා හා ඒකාබද්ධව මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය සංක‍්‍රමණ ව්‍යාපෘතිය ද වැඩ ආරම්භ කිරීමට නියමිතයි. කි.මී. 16 ක දුරක් නැවතුම් ස්ථාන 16 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඇ.ඩො. මිලියන 1,700  ක් වනවා.

ජීවිත 33 ක් බිලිගත් මහා ව්‍යසනයක් බවට පත් වූ මීතොටමුල්ල අද උද්‍යානයක් බවට පත්කර ඇත. ඝන අපද්‍රවව්‍ය කළමනාකරණය පිළිබඳව අලූත් පරිච්ඡේදයක් ඇරඹීමට මහා නගර අමාත්‍යාංශය අද වන විට සමත් වී ඇත. කසළින් පොහොර ‘මිහිජය’ නිෂ්පාදනය, කොළඹ නිකසළ පුරයක් බවට පත් කිරීම මෙන්ම කසළින් විදුලිය නිෂ්පාදනය ව්‍යාපෘති 2 ක් ද ආරම්භ කර ඇත. දිනකට කසළ ටොන් 1,200 ක් පරිසර හිතකාමීව බැහැ කිරීමේ හැකියාව ඇති අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ පළමු අදියර සාර්ථකව නිමවා තිබෙනවා. ඒ සඳහා කර ඇති ආයෝජනය ඇ.ඩොලර් මිලියන 101 ක් වනවා.

පාරිසරික හා ආර්ථික ප‍්‍රශ්න රැසක් රටට ඉතිරිකරමින් ඉදිකරමින් තිබූ වරාය නගරය විධිමත් අනුකූලතා සහ නිර්ණායක යටතේ රටට සම්පතක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල මහානගර අමාත්‍යාංශයෙන් දැන් කි‍්‍රයාත්මකයි. මුහුදෙන් හෙක්ටයාර 209 ක් සම්පූර්ණයෙන්ම ගොඩකර අවසන් අතර අනු කළාප 5 ක් යටතේ නුදුරේදී ඉදිකිරීම් ඇරඹීමට නියමිතයි. ඇ.ඩොලර් බිලියන 15 ක ආයෝජනයක් මගින් කොළඹ වාණිජ දිස්ත‍්‍රික්කය පුළුල් කරමින් අති නවීන සැලසුම් හා තාක්ෂණය යටතේ වරාය නගරය නිර්මාණය වනවා.

මෙරට ප‍්‍රධාන නගරයන් දේශීය දැක්මකින් විධිමත්ව සංවර්ධනය උදෙසා උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වනවා. ඒ යටතේ මහනුවර, ගාල්ල, අනුරාධපුර හා ගාල්ල මේ වන විට කි‍්‍රයාත්මක අතර දෙවන අදියර වශයෙන් කුරුණෑගල, රත්නපුර, දඹුල්ල හා ත‍්‍රිකුණාමලය යන නගර සංවර්ධනය සඳහා සියළු සැළසුම් අවසන් කර තිබෙනවා.

කොළඹ පරිපාලන නගරය ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සංවර්ධනය කිරීම දැන් ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව මහල් 25 කින් සමන්විත ලංකාවේ විශාලතම කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය බත්තරමුල්ලේ මේ වනවිට ඉදි කෙරෙනවා. ඒ සඳහා වන ආයෝජනය රුපියල් බිලියන 15.6 ක්.

කොළඹ වරාය, වරාය නගරය, විහාර මහා දේවී උද්‍යානය සහ ගාලූ මුවදොර ආවරණය කරමින් සංවර්ධන කොරිඩෝ 5 ක් හඳුනාගෙන ඇති අතර බේරේ වැවත් ඊට සමගාමීව සංවර්ධනය කෙරෙනවා. බේරේ වැව අවට සියළු පැල්පත් ඉවත් කර ඔවුනට නව ජීවිත ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියාවෙහි නියුතු සේවකයන් සඳහා ආදායමට සරිලන නිවසක් හිමිකරදීම මූලික කර ගනිමින් ‘වියත්පුර’ මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර රටේ ස්ථාන 6 ක මධ්‍ය ආදායම් නිවාස ඒකක 2,700 ක් ඉදිවෙමින් පවතිනවා.

රටේ සියළු දිස්ති‍්‍රක්කයන් ආවරණය කරමින් විධිමත් නාගරික සැලසුමකට යටත්ව සංවර්ධනය කිරීම නාගරික සංවර්ධන අධිකාරිය මගින් කි‍්‍රයාත්මක අතර ඊට නොදෙවෙනි සංවර්ධන මෙහෙවරකට ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව උරදී තිබෙනවා.

සියළු සංවර්ධනය රටේ ජනතාවට හිමිකර දෙද්දී ජනතාව, මහා භාණ්ඩාගාරයට හෝ රජයට බරක් නොවී තම ආයතනික වියදම් ආවරණය කරගෙන ලාභ උපයන ආයතන බවට පත්කර ගැනීමට ද සියළු කළමණාකාරීත්වයන් කටයුතු කරා.

මේ සෑම උත්සාහයකම, කාර්යයකම අවසන් ප‍්‍රතිඵලය වන්නේ දශක ගණනාවක් පුරා මෙරට ජනතාවගේ මුවගේ රැඳුණු යන්න හිතෙන රට වෙනුවට ‘ඉන්න හිතෙන රටකට’ මං පෙත් විවර වීම යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor