පමා වී පැමිණි වසන්තයෙන් දැන් කවර නම් ඵලයක් ද ?

ඊයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකාව තියුණු ජයග‍්‍රහණයක් ලබා ගැනීම සමග කණ්ඩායම තුළ පමා වී හෝ යම් ප‍්‍රබෝධයක් ඇති වී තිබෙන බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

ඒත් ක‍්‍රීඩාවට ආදරය කරන, ක‍්‍රීඩාව කියන්නේ කුමක් දැයි හැඟීමක් ඇති අයෙක් ලෙස මගේ අදහස වන්නේ පරාජයේදී සැඟවීම මෙන්ම ජයග‍්‍රහණයේදී උදම්වීමත් ක‍්‍රීඩාවට නොගැළපෙන බවයි. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා උදාහරණ අපිට මේ තරගාවලියෙන්ම ලැබුණා.

හොඳම උදාහරණය තමයි ලංකාව. අපි එංගලන්තය සමග පැවැති තරගය ජයග‍්‍රහණය කළ විට ඒ ජයග‍්‍රහණයෙන් උදම් වුණා. ඒත් ඊට පස්සේ දකුණු අප‍්‍රිකාව සමග පැවැති තරගයෙන් පරාජයට පත් වූ විට පැස්බරා වාගේ වැඩ කළා.

ඒ කොහොම වුණත් ඊයේ බටහිර ඉන්දිය කෙදෙව් කණ්ඩායම සමග පැවැති තරගය ආරම්භ වන විටත් පේ‍්‍රක්ෂකයින් තුළ පැවැතියේ දැඩි ඇල්මැරුණු ස්වභාවයක්. තරගයේ ටිකට්පත් අලෙවිය අතිෂය දුර්වල මට්ටමක පැවැති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කළේ ඒ නිසාම විය හැකියි. එය සාමාන්‍යයෙන් ඕනෑම පේ‍්‍රක්ෂකයෙක් සම්බන්ධයෙන් දැකිය හැකි පොදු තත්ත්වයක්. ඔවුන් ක‍්‍රීඩාපිටියට යන්නේ නියමිත පන්දුවාර 50 ක‍්‍රීඩා කරනු දකින්න මිස ඕවර් 30-40කින් අවසන් වන තරගයක් බලන්න නෙවෙයි. උපරිම ක‍්‍රීඩාශීලීත්වයක් ඇති උද්වේගාකාර තරගයක් දෑසින් දැකබලා ගන්න. ඒක රූපවාහිනය ඉදිරිපිට වගේම ගුවන් විදුලි යන්ත‍්‍රය ඉදිරිපිට ඉන්න පේ‍්‍රක්ෂකයාටත් අදාළයි. ස්මාට් ෆොන් එකෙන් තරගය බලන කෙනාටත් අදාළයි.

ඒ කොහොම වුණත් ඊයේ අපි සියලූ දෙනාටම වර්ණවත් තරගයක් දැකබලා ගන්න ලැබුණා. ශ‍්‍රී ලංකා කණ්ඩායම කාලයකට පසු නියමිත පන්දුවාර 50 අවසන් කළා සේම ලකුණු 300ක ඉලක්කයත් පසු කළා. ඒත් මේ තරගය තුළත් සුපුරුදු ප‍්‍රශ්නය නොමැති බව නම් කිසිවෙකුට කියන්න බැහැ. අවිශ්ක තම මංගල ශතකය වාර්තා කරමින් ලකුණු 104ක් ලබාගැනීම ආශ්චර්යයක් ලෙස ගණන් නොගත යුත්තේ මේ නිසයි. පසුගිය තරග ගණනාවක අවිශ්ක අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා අසාර්ථක වීම නිසා ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යාම අනෙක් කණ්ඩායම් මත රැඳී සිටිය යුතු තත්ත්වයක් නිර්මාණය කළා.

අනෙක් අතින් ඊයේ තරගයේදීත් අවිශ්ක සහ කුසල් පෙරේරා (64) සාර්ථක වුණා මිස අනෙක් කිසිම ක‍්‍රීඩකයෙක් සාර්ථක වූ බවක් දැකිය නොහැකියි. නායක දිමුත් කරුණාරත්නගෙන් පවා අපි දැක්කේ අකලට පොල් වැටෙන්නා වාගේ ඉදහිට සාර්ථකත්වයක් පමණයි. අඛණ්ඩ සාර්ථකත්වයක් අපි මේ කිිසිවෙකුගෙන් දැක්කේ නැහැ.

අනෙක් අතින් පසුගිය තරගවලදී දැඩි පසුබෑමක සිටි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පවා ඊයේ තරගයේදී දැඩි සටනක් ලබා දුන්නා. ඔවුන් ද නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 09කට ලකුණු 315ක් ලබා ගත්තා.

මේ අනුව අපට ඊයේ තරගය ලංකාවට කොතරම් අවිනිශ්චිත දැයි වටහා ගන්න පුළුවන්.

කොහොම වුණත් ශ‍්‍රී ලාංකිකයෙක් විදිහට, ලංකා කණ්ඩායම විජයග‍්‍රහණය කරනු දැකීමට පෙරුම් පුරමින් සිටි පේ‍්‍රක්ෂකයෙක් විදිහට අපි ඊයේ ලැබූ ජයග‍්‍රහණය ගැන හදවතින්ම සතුටු විය හැකියි. සතුටු විය යුතුයි.

ඒ්ත් ඒ සතුටින් පමණක් ලෝක කුසලාන මනදොළ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ ඉදිරි ඉන්දීය තරගය වගේම වෙනත් රටවල් (පාකිස්ථානය සහ එංගලන්තය) මත යැපෙන යැපුම් මානසිකත්වයක් මත නීරස රැඳීමක් දැන් නිර්මාණය වී ඇති නිසයි.

ඒ නිසා ඊයේ දකුණු අප‍්‍රිකාව මෙන්ම අවාසනාවන්ත බටහිර ඉන්දිය කොදෙව්වන් හමුවේ ලැබූ තීරණාත්මක ජයග‍්‍රහණය සැලකිය හැක්කේ ‘‘පමාවී පැමිණි වසන්තයක්’’ ලෙස මිස වෙනත් විදිහකින් නොවෙයි.

අවිශ්කලා, කුසල් පෙරේරලා ඊයේ වගේ ඊට පෙරත් යම් පමණකට හෝ සාර්ථක වුණා නම්, දිමුත්ලා හැමදාම යම් පමණක හෝ සාර්ථකත්වයක් ලබා ගත්තා නම් අපිට අද ඉන්නේ අවසන් පූර්ව වටයේ කියලා හිතෙන කොට ඊයේ ජයග‍්‍රහණය ගැන පමණක් තෘප්තිමත් වෙමින් හුරේ දාන්න අමාරුයි වාගේ.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor