සෝපා ගිවිසුම ගෙනත් රට තව තවත් අරාජික කිරීමටයි සූදානම් වෙන්නේ – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ආර්ථික වශයෙන් අරාජික කරපු මේ ආණ්ඩුව ඉදිරි මාස කිහිපය ඇතුළත සෝපා ගිවිසුම ගෙනත් රට තව තවත් අරාජික කිරීමටයි සූදානම් වෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා චෝදනා කරයි.

අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ අද (2) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. වැඩි දුරටත් කරුණු දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,

සෝපා ගිවිසුම කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව මේ වෙනතෙක් පියවර අරගෙන නැහැ. වත්මන් ආණ්ඩුව එවැනි ගිවිසුම් බොහොමයකට එළඹුණා. මේ බොහෝමයක් ගිවිසුම් ඒ නිසා රට ආර්ථික වශයෙන් ඇද වැටුණා.

මේ ආණ්ඩුවට තියෙන්නේ තව මාස කිහිපයයි. රට ආර්ථික වශයෙන් අරාජික කරපු මේ ආණ්ඩුව ඉදිරි මාස කිහිපය ඇතුළත සෝපා ගිවිසුම ගෙනත් රට තව තවත් අරාජික කිරීමටයි සූදානම් වෙන්නේ.

මේ වනවිට පාස්කු ප‍්‍රහාරයේ වගකීම අගරදගුරුතුමාත්, අස්ගිරි මහනායක හිමියනුත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂයත් පිට පවරන්න ආණ්ඩුව පියවර අරන්. ඒ සිද්ධියෝ වැරදි කාරයා වෙලා තියෙන්නේ මේ පිරිසයි. සහරාන් වැරදි කාරයෙක් නෙවෙයි. ප‍්‍රහාරයේ වගකීම සම්පූර්ණයෙ ම අනිත් පැත්ත හරවලා. ආණ්ඩුව කරන්නේ රට තවතවත් අර්බුදයට ගෙන යාමයි. ජනතාව මුලා කරන්න සහන දෙනවා කිව්වට සංවර්ධනයක් කරනවා කිව්වට ජනතාවට මේවා විශ්වාස කරන්න බැහැ. දැන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉදිරියට ඇවිත් ආණ්ඩුව කියන දේවල් කරන්න පුළුවන්ද කියලා ජනතාවට සත්‍ය හෙළි කරනවා නම් සුදුසුයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පැවති සමයේ ආදායම් මාර්ග වැඩි වුණා. සෘජු විදේශ ආදායම් ලැබුණා. අපනයන ආදායම වැඩි වුණා. විදේශ රට වලින් විශාල වශයෙන් ආධාර ලැබුණා. ඒවායින් මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කළා. මේ නිසා ආර්ථික වර්ධන වේගය සීඝ‍්‍රයෙන් ඉදිරියට ආවා.

අදවන විට ආර්ථික වර්ධන වේගය ශීඝ‍්‍රයෙන් පහළ බසිනවා. එහෙම තියෙද්දී ජනතාවට දෙන මේ පොරොන්දු මැතිවරණය අරමුණු කර ගෙන දෙන පොරොන්දු පමණයි. ඉන්දියාව ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව කියන දේට මුල් දීලයි මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ. ඒ වෙලාවේ විරුද්ධ පක්ෂය සහන මල්ලක් දෙන එක ගැන කතා කලේ. ජනතාව පිළිගත්තේ ජාතික ආරක්ෂාව සැලසීමයි. ඒ නිසා ජනතාව දැන් චන්ද ගුන්ඩු ගැන අවබෝධයෙන් ඉන්නේ.

Recommended For You

About the Author: Editor