රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යහපාලන නිදහස අවභාවිත කරනවා – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යහපාලන නිදහස අවභාවිත කරනවා යැයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීම සඳහා ඊයේ පස්වරුවේ (4) මල්වතු මහා විහාරයට පැමිණීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

ඇමැති රාජිත මෙසේද සඳහන් කළේය.

‘‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන වැඩපිළිවෙළක් දියත් කරමින් සිටිනවා. ඔවුන් මට එරෙහිව චෝදනා කරමින් සකස් කළ චෝදනා පත්‍රයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට ලබාදී තිබෙනවා. දේශපාලනඥයින් පිටුපස යන සංගමයක් බවට ඔවුන් පත්ව තිබෙනවා.

මමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර 14ක් පුරා වෘත්තීය සමිති ව්‍යාපාරයක සිටියා. ඒත් දේශපාලනඥයින් පිටුපස යන තත්ත්වයක් අපට තිබුණේ නැහැ. අපි දේශපාලනඥයින් සමග මිත්‍රශීලීව වැඩ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළා.

නමුත් වර්තමානයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන සංගමයක් වගේම ත‍්‍රස්තවාදීන් මෙන් කටයුතු කරනවා. මෙමඟින් සිදු වන්නේ අහිංසක රෝගීන් අපහසුතාවයට පත්වීමයි. වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 10, 000කින් ඉහළ නැංවූවා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තවත් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා, ඉල්ලීම් ඉටු කළා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම සියලු වරප්‍රසාද ලබාගනිමින් කීර්තිමත් සංගමයක් අවභාවිතයට ලක් කරමින් දේශපාලන ව්‍යාපාරයක නිරත වෙනවා.

අද ඔවුන් වෘත්තීය ඉල්ලීම් ඉල්ලන්නේ නැහැ. එම සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රසිද්ධියේ විහාරාධිපති හිමිනමකට බනිනවා. ඊට ගම්වාසීන් විරෝධය පළ කරනවා. මාධ්‍ය හමුවේ මෙම වෛද්‍යවරයා හාමුදුරුවන්ට කථා කරන්නේ පහත් භාෂාවෙන්. මෙවැනි වෛද්‍යවරුන් සංගමයට සුදුසු ද?

ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් රෝහල් භූමිය සටන් බිමක් බවට පත් කරගෙන හරියට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වගේ. එම වෛද්‍යවරුන් පෝස්ටර් ඇලවීමට, විරෝධතා පැවැත්වීමට තමයි කටයුතු කරන්නේ, යහපාලන රජය ලබාදුන් නිදහස වැරදි විදිහට භුක්ති විදිනවා’’ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor