ගොවියාගේ බීජ මල්ලේ ඉහඳ තබන ‘ඇට’ මැස්සෝ

  • ශක්තිමත් බීජ යාන්ත්‍රණයක් රටේ තිබියදී වංචාකාරයින් සුළු පිරිසකට ගොවියා රැවටෙනවා
  • පෞද්ගලික අංශය බීජ හදන්නෙත් රජයේ අධීක්ෂණය යටතේ
  • බීජ මිලදී ගන්නාවිට බීජ පනතේ ලියාපදිංචිය හා තොග අංකය තිබේදැයි බලන්න
  • මිලට ගත් බීජ සිටුවනතෙක් පරිහරණයත් ප්‍රවේසමෙන් කල යුතුයි

“නොයෙක් රස ඇති පොළොවෙහි කොහොඹ ඇටයක් සිටවූ කල්හි එයින් හටගන්නාවූ ගෙඩිය පෘථිවි රස මැකී තිත්ත වන්නේමය” වීදාගම මෙත් හිමිපාණෝ බීජය සතු ශක්තිය උපමාවකට ගනිමින් ලෝවැඩ සඟරාවේ 90 වෙනි පැදි පෙළෙහි එසේ ලියා තැබූහ.

මේ පැත්තේ එසේ සිදුවෙත්දී ඒ පැත්තෙන්ද එවැනිම ප්‍රකාශයන් අසන්නට ලැබුණි. බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් නාට්‍ය රචක ජෝර්ජ් බර්නාඩ් ෂෝ වරෙක ප්‍රකාශ කෙරුවේ “ඕක් ගසේ ඇටයක ගබඩා වී ඇති උග්‍ර ශක්ති ප්‍රමානය කෙතරම්ද යත්, ඔබ ඕක් ඇටයක් පොළොවේ සිටවූ පසු දැවැන්ත ඕක් ගසක් බිහිකරමින් එම ශක්තිය පුපුරා යයි.” යනුවෙන්ය.

ගසකින් හෙළනා බීජයක තිබූ ශක්තිය ඈත අතීතයේ සිට ඇස්තමේන්තු කෙරුවේ ඒ අයුරිනි. එපමණක්ද නොවේ. කුමන සංස්කෘතික පසුබිමක් යටතේ ජීවත් වුවද, බොහෝ ජන කොට්ඨාශයන් තම විවාහ මංගල උත්සවයන්හිදී මනාල යුවල දෙසට යම්කිසි බෝගයක ඇට වර්ගයක් වීසිකිරීමේ සිරිතක් පවා අනුගමනය කල බවට සාක්ෂි තිබේ. අදටත් සමහරු එසේ කරති. ඉන්දියානුවන් සහල්ද, යුරෝපයේ ඇතැම් රටවල තිරිඟුද, උගන්ඩාවේ මිලට් නොහොත් මෙනේරි වර්ගද, තවත් රටවලදී ආමන්ඩ් හෝ කපු ඇටද මෙසේ මනාල යුවල වෙත දමා ගසන්නේ ඔවුන් දෙදෙනාගේ සශ්‍රීක අනාගතයත්, ඉදිරියේ බිහිවෙන මීළඟ පරම්පරාවට කෙරෙන ආශීර්වාදයත් පෙරදැරි කරගෙනය. මේ හැම ප්‍රකාශයකින්ම, සෑම සිදුවීමකින්ම කියාපාන්නේ ශාක බීජ කෙරෙහි ජනතාව තුල තැන්පත්ව තිබෙන ගෞරවයයි. විශ්වාසයයි.

එඬේර යුගය පසුකල ආදී මානවයා ගොවිතැනට අතහුරුකර ගනිද්දී මුලින්ම අතපත ගෑවේ, නවාතැන වෙත රැගෙන ආවේ, කැලෑවේ තැන තැන වැටී තිබුණු බීජ වර්ගයන්ය. අද වෙනවිට මෙය වෙළඳ භාණ්ඩයකි. ජාත්‍යන්තරයේ පවා කෝටි ගණනින් මුදල් හුවමාරු වන ගනුදෙනුවක් බවට බීජ වෙළඳාම පත්වී තිබේ. බිස්නස් වලදී බොහෝවිට හමුවෙන සටකපටකම්, බීජ වෙළඳාමේදීද හමු නොවන්නට හේතුවක් නැත. ඒ හැම උප්පරවැට්ටියකම පළමු ගොදුර වන්නේ ගොවියාය. දෙවනුව ගොවියාගේ නිෂ්පාදන මත යැපෙන සමස්ත රටවැසියාය. ලොව සෑම රටක්ම පාහේ බීජ පරිහරණය කිරීමේදී නිශ්චිත නිර්නායකයන් මත පිහිටා කටයුතු කරන්නේ, පොට වරද්දා ගත්තොත් සිදුවෙන හානිය රටකට ජාතියකට පමණක් නොව පරිසරයට පවා දරාගැනීමටත් අපහසුවන තරමට බරපතල වන බැවිනි.

පරිසරයට උචිත බෝග මාදිලි තෝරා දෙනවාට අමතරව, බෝගයේ හටගන්නා ලෙඩරෝග වලට ප්‍රතිකාර කරනවාට අමතරව, ගොවියාගේ බීජ හැසිරවීමද නියාමනය කළයුතුයයි අපේ ඇත්තන්ටද හැඟුණු බැවින්, 1958 දී පේරාදෙණියේදී බීජ පරීක්‍ෂා කිරීමේ විද්‍යාගාරයක් අරඹා ඇති අතර එම වසරේදී වී බීජ සාම්පල 1758 ක් ආරම්භක පියවර වශයෙන් පරීක්ෂා කර තිබේ. එවන් ඉතිහාසයක් හරහා පැමිණි අපට පසුගියදා ගොවිමහතෙකු මෙසේ ප්‍රකාශ කරනවා ඇසුනි.

“කඩෙන් මිරිස් ඇට ටිකක් ගත්ත. පින්තූරෙනම් ලස්සනට කොලපාට දිග මිරිස් කරල් තිබුන. ජාතියක් නම් ගහල තිබුනේ නෑ. මුදලාලිගේ වචනෙටයි ගත්තේ. අනේ පැලකරලා කරල් හැදෙනකොට එක එක ජාති. කොච්චි පැලත් තිබුන.”

            මා ඉදිරිපිට සිටිනා ඔහු සැහැල්ලුවෙන් සිනාසෙයි.

“ඕව මොනවද, රටේ සිදුවෙන දේවල් වල හැටියට.”

අද සමාජයේ බොහෝදෙනා තමාට සිදුවෙන අසාධාරණයන් මත ඇතිවෙන වේදනාව සමනය කරගන්නා පොදු පිළිවෙතට ඔහුද අවතීර්ණ වෙමින් සිටී. රටේම ජනතාවගේ කුසගිනි නිවාදැමූ පසු, ගොවි ණය වාරිකය ගෙවාගත නොහැකිව ඇතැම්විට වස කුප්පියේ පවා පිහිට පතන ජන කොට්ඨාශයක නියෝජිතයෙකු වන මේ ගොවිමහතාට මෙසේවූයේ ඇයිදැයි සෙවීමේ උවමනාව පෙරදැරිව සතර දිශාවට ඇවිද ගියෙමි.

“ඔය වගේ පැමිණිලි ගොවීන් විසින් කාලෙක පටන් අපිට ඉදිරිපත් කරනවා. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) අරමුදල් හරහා අපි ව්‍යාපෘතියක් කරගෙන ගියා 2012 සිට 2017 දක්වා. එහි කොටසක් හැටියට මේ කතාවල ඇත්ත නැත්ත හොයන්න සමීක්ෂණයකුත් කෙරුවා. එතනදී පෞද්ගලික වෙළඳසැල් වලින් එළවලු බීජ සාම්පල අහඹු ලෙස එකතුකරලා, මුලින්ම කෙරුවේ ඒවා විද්‍යාගාරයට ගෙනත් තෙතමනය, බීජවල ජීව්‍යතාවය, බීජ සෞඛ්‍යය වගේ කරුණු හදාරන එකයි. පස්සේ ඒවා ගන්නොරුවේ හා මහඉලුප්පල්ලම ක්ෂේත්‍රවල සිටුවා අස්වැන්න පරීක්‍ෂා කෙරුවා – කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කේ. කේ. එස්. ඩී. ප්‍රදීපිකා මහත්මිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ උසාවියවූ, බීජ සහතිකකිරීමේ සේවය විසින් මේ චෝදනාව විභාග කිරීමට ගත් පියවරයන් එලෙස විස්තර කෙරුවේ එහි සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කේ. කේ. එස්. ඩී. ප්‍රදීපිකා මහත්මියයි.

වට්ටක්කා, පතෝල, කරවිල, වැටකොළු, පිපිඤ්ඤා, තක්කාලි, බෝංචි යනාදී වශයෙන් බෝග ගණනාවක් මේ අධ්‍යයනය උදෙසා ඇතුල් කරගෙන තිබුණි. බළලා මල්ලෙන් එලියට පැන ඇත්තේ එම ක්ෂේත්‍ර පරීක්ෂණය අතරතුරදීය.

එක් සාම්පලයක් ඔවුන් වෙළඳපොලෙන් ලබාගෙන තිබුනේ මෙරට ජනප්‍රිය දේශීය තක්කාලි ප්‍රභේදයක් වන ‘තිලින’ තක්කාලි නමිනි. ගොවියන්ගේ චෝදනාව නිවැරදිය. අලෙවිකරුවා විසින් වගාකරුට මතක හිටින තිළිණයක් ලබාදී ඇති බවක් පෙනේ. වගාකළ පාත්තියේ එකදු ‘තිලිණ’ ගසක්වත් නොතිබූ බවත්, හටගත් තක්කාලි ගස්ද ඉතා දුර්වල වර්ධන මට්ටමක තිබූ බවත් ඇය සඳහන් කරයි.

නිල නොවන ආරංචි මගින් පැවසෙන්නේ දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථානවලින් ඉවතලන ‘කුණු තක්කාලි’ ඇතැමුන් විසින් රැගෙන ගොස් බීජ නිෂ්පාදනයට යොදා ගන්නා බවය. එසේනම් ගොවියා මිලදීගෙන ඇත්තේ මෙවන් කුණු ගොඩක්ද? රජය මගින් පාලනය කෙරෙන බීජ නියාමනයක් තිබියදී මෙවැන්නක් සිදුවිය හැකිද?  පරීක්ෂණයට බඳුන්කළ තවත් සාම්පලයක තක්කාලි ගස් නම් හොඳට වර්ධනය වුනි. එහෙත් ගෙඩි හටගන්නා අවස්ථාවේදී පෙනීගොස් ඇත්තේ එම වගාව විවිධ මාදිලිවල තක්කාලි ගස්වලින් සමන්විත මිශ්‍ර වගාවක් බවයි. එතැනදී නම් බීජ නිෂ්පාදකයා කරන්නට ඇත්තේ හොඳට කැපී පෙනෙන දෙමුහුම් තක්කාලි ගෙඩියක බීජ වෙළඳපොළට නිදහස්කිරීම වැනි දෙයකි. දෙමුහුම් බෝගයකින් දෙවැනි පරම්පරාව ලෙස ලැබෙන්නේ මෙවන් විෂමජාතී ගහනයක් නිසා එවැන්නක් අනුමාන කිරීම සාධාරණය. මෙයනම් පොලිසිය පිළිකන්නේ කංසා වවනවා වගේ සිද්ධියකි. අනපනත්, නීතිරීති මෙතරම් පවතිද්දී නොහොබිනා බීජ මල්ලක් ගොවිදෑතට ලංවී තිබේ.

ලෑන්ඩ්මාක් පෞද්ගලික බීජ සමාගමේ හිමිකරු වූ, කලකට ඉහතදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද සේවය කරමින් රාජ්‍ය අංශයේ අත්දැකීම්ද සහිත ව්‍යාපාරිකයෙකු වූ ජයසිරි ප්‍රේමරත්න මහතාගෙන්, කරුණු විමසීමටද අප කටයුතු කෙරුවෙමු. රාජ්‍ය ක්‍රියාකාරිත්වයේ ඇසට වැලිගසා අහිංසක ගොවියාගේ බීජ මල්ලට ඉහඳ තබන ‘ඇට’ මැස්සන් කවුරුන්දැයි පෞද්ගලික අංශයෙන්ම පැහැදිලි වචනයක් එලියට බැසීම ගොවියාගේ හිතටද හයියකි.

“පෞද්ගලික අංශයෙන් අලෙවිකරණ බීජවල ප්‍රශ්න මතුවීම අපිටත් අසන්නට ලැබෙනවා. බීජ පනත යටතේ ‘බීජ හසුරුවන්නා’ කියල කෙනෙක් හඳුන්වා දෙනවනේ. බෝගයක් වවල, එහි ඇට වෙන්කරන වගාකරුවාගේ සිට බීජ සකසන්නා, අසුරන්නා, බෙදාහරින්නා හා විකුණන්නා දක්වා සියලු පිරිස එයට අයත්වෙනවා. බීජ කර්මාන්තයේ නියැලෙන මේ පිරිස අතරින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ‘මූලික බීජ’ අරගෙන වැඩේ පටන්ගෙන අලෙවිය දක්වාම කරගෙන යන පිරිස වෙන්නේ 20% ක් විතර. අනික් සේරෝම බෝගය වවන්නේ නැතුව, ධාරාවට මැද්දෙන් පනින අතරමැදියෝ. මේ අයත් නිවැරදියි. වැඩි දෙනෙක් වැඩේ හරියට කරනවා. ඒත් සුළු පිරිසක් වංචාකාරී කටයුතු කරනවා.”

පෞද්ගලික බීජ කර්මාන්තයට පැමිණ විධිමත් බීජ සෑදීමට බලාපොරොත්තු වන්නෙකු ප්‍රථමයෙන් කලයුතු වන්නේ බීජ හසුරුවන්නෙකු ලෙස බීජ පනත යටතේ ලියාපදිංචි වීමයි. බීජ නිපදවා අලෙවි කිරීමට ඔහු සූදානම් නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ‘බීජ උසාවිය’ වන බීජ සහතික කිරීමේ සේවයේ අනතුරුව ලියාපදිංචි විය යුතුය.

තමාට අවශ්‍ය ‘මූලික බීජ’ දැන් වගාකරුවාට දෙපාර්තමේන්තුවෙන් මිලදී ගත හැකිය. බීජ සහතික කිරීමේ නිලධාරීන් පැමිණ වගා බිම පරීක්ෂාකර බලාවි. සුදුසුනම් සිටුවන්නට අවසර දේවි. බෝගය පවතිද්දී තුන් හතරවතාවක් පැමිණ වගාවත් පරීක්‍ෂා කරාවි. අවසාන පරීක්ෂාවේදී මෙම වගාවෙන් ලැබෙන බීජ අස්වැන්න මෙපමණයයි ඔවුන් තීරණය කරනු ඇත. ගොවියා විසින් අස්වැන්න ලෙස සකසා අනුමැතියට ඉදිරිපත් කරන බීජ තොගයේ ප්‍රමාණය එසේ තීරණය කල අගයට ආසන්නව තිබිය යුතුය. 10% ක් පමණ එහාමෙහා වීමක් එතරම් ගැටලුකාරී නොවේ. තොගයෙන් සාම්පලයක් ගන්නා නිලධාරීන්, මුළු තොගයටම සීල්තබා සාම්පලය රැගෙන යනු ඇත.

විද්‍යාගාරයේදී සිදුකරන සොයාබැලීම් රාශියකි. ඒ ගැන වැඩි  විස්තර ඉදිරිපත් නොකලත් කිවයුතු වන්නේ, මෙම බීජ මිලට ගන්නා ගොවියාගේ බලාපොරොත්තු ඉහලින්ම මල්පල ගැන්වීමකට අදාළ සොයාබැලීම් ගණනාවත් එහිදී සිදුකෙරෙන බවයි. සාම්පලය ‘සමත්’ නම් බීජ නිෂ්පාදකයාට තම අභිමතය පරිදි තොග වශයෙන් හෝ ඇසිරූ කුඩා සාම්පල වශයෙන් හෝ මේවා අලෙවිකළ හැකිවේ. ඒ මාස තුනක් ඇතුළතය. එම කාලය තුල බීජවල පැලවීමේ ශක්තිය අඩුවිය හැකිනිසා මාස තුනක් පසුවුනි නම් නැවතත් සාම්පලයක් දී තොගය සහතික කරගත යුතු බවට නීතියක් පවා දෙපාර්තමේන්තුව විසින් පනවා ඇත්තේ බීජ පාරිභෝගිකයාගේ උපරිම තෘප්තිමත්භාවය රැකගැනීම වෙනුවෙන්මය.

මෙවන් නීතිරීති හා නිර්නායකයන් පද්ධතියකට යටත්ව බීජ කර්මාන්තය කෙරෙන්නේ නම් වරදින්නට විධියක් නැත. ගොවියා නොසිතූ නොපැතූ එළවලු ජාති ගොවිබිමෙන් බිහිවන්නටද හැකියාවක් නැත. මෙය රාජ්‍ය අංශය සර්ව සම්පූර්ණනයයි කියා එයට සුදු පිරුවට ඇන්දවීමක් නොව, දේශහිතෛශී ව්‍යාපාරයකට අතගසා ඇති ලියාපදිංචි පෞද්ගලික බීජ නිෂ්පාදකයින්ටද සාධාරණයක් ඉටුකිරීමකි. ඉහත දැක්වූ සමීක්ෂණය කරද්දී විද්වත් නඩය වෙළඳසැල් වලට ගොස් එදිනට එහි තිබූ බීජ මිලදී ගත්තා මිස, ඒවාහි විධිමත් හෝ අවිධිමත් බව විමසන්නට ගියේ නැත. ඔවුහු හැසුරුනේ සාමාන්‍ය පාරිභෝගිකයින් ලෙසිනි. අඩු තරමින් මොවුන් කෘෂිකර්මයේ කට්ටිය බව කඩේ මුදලාලිවත් දැන සිටියේ නැත. බීජ වෙළඳසැලට පැමිණෙන ගමේ ගොවියාටත් සිදුවන්නේත් මෙන්න මේ ටික යයි ඔවුනට ස්ථිරව කිව හැකිවන්නේ, එදා ඒ ආකාරයෙන් නිවැරදිව සාම්පල ලබාගත් බැවිනි.

ලංකාවේ බීජ සහතික කිරීමේ සේවය නිර්මාණය කිරීමේ අදහස මුලින්ම පිළිසිඳගෙන ඇත්තේ හිටපු කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයෙකු වූ ආචාර්ය අර්නස්ට් අබේරත්න මහතාගේ සිත තුලයි. ඔහුගේ අදහස ක්‍රියාත්මක කරන්නට එකල දරදිය ඇද්දේ ඔහුගේ දකුණු අත මෙන් සිටි කෘෂිකර්ම නිලධාරියෙකු වූ එස්. එච්. චාල්ස් නමැත්තෙකි. මේ දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත.

බීජ අන්දරය ගැන විමසන්නට හැකි ඊළඟ ජ්‍යෙෂ්ටතමයා වන්නේ පසු කලෙක කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරටද පත්ව විශ්‍රාම ලැබූ ආචාර්ය සරත් වීරසේන මහතාය.

“1979 වසරේදී තමයි මෙම සේවය ආරම්භ උනේ. ඒ කාලේ අපි හිටියේ පේරාදෙණියේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ.  එතනත්, ගොවි ජනතාවට පණිවිඩ බෙදපු ව්‍යාප්ති අංශය යටතේ තමයි මුලින්ම බීජ සහතික කිරීම ඇරඹුණේ. ඊට වසරකට පසුව එයින් වෙන්වෙලා ස්වාධීන වෙන්න අපට පුළුවන් උනා.

            ආචාර්ය වීරසේන තම යටගිය මතකය අවදි කරන්නට පටන්ගනී.

“ගන්නෝරුවේ ඕනේ තරම් ඉඩම් තිබුන. ඒ කාලේ ගන්නෝරුවේ පර්යේෂණ ආයතනයට අයිතිව තිබුන අක්කර දෙක හමාරක් විතර ඉඩමක් ඉල්ලගෙන බීජ සතික කිරීමේ කාර්යාලයකුත් හදාගත්ත. එකේ වැඩ ඉවර කරලා තිබුනෙත් බාගෙට. අපිට තිබුන හදිස්සියට ගොඩනැගිල්ල ඉවර කරන්නත් කලින් අපි ගෙවදුනා. මහවැලි ගඟ, ඉඩම අද්දරින්ම ගලාගෙන ගියත් ඉඩමට වතුර ගන්න වතුර පොම්පයක්වත් මුලදී අපිට තිබුනේ නෑ.”

ගොවියාගේ යහපත උදෙසා නිවැරදිව සෑදූ බීජ ඇසුරුමක් දෙන්නට වැඩ ඇල්ලූ හැටි හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මතකයට නැගුවේ එලෙසය. එවන් ශක්තිමත් අඩිතාලමක් මත මීට දශක හතරකට පෙර පටන්ගත් මෙම සේවය අද වනවිට බීජ පනතක් හරහාද බලගැන්වී තිබේ. එවන් පසුබිමක් යටතේ ගොවියාට ලැබෙන ඇතැම් බීජ කලවම්වී මෙසේ නන්නත්තාර වීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව ඔහු පවසා සිටී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිපදවා හෝ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ වගාකරුවන් මගින් නිපදවා හෝ නිසි අනන්‍යතාවයකින් වෙළඳපොළට නිකුත්කරන බීජ තමයි ගොවියා සොයා යා යුත්තේ. ඒවාට කියන්නේ ‘විධිමත් බීජ’ කියලා. මීට අමතරව කිසිදු හැඳින්වීමක් නැතිව විකිනෙන ඒවා ‘අවිධිමත් බීජ’ වශයෙනුයි නම් කරන්නේ. ඔය කියන අක්‍රමිකතා බොහොමයක් හමුවෙන්නේ දෙවැනි කොටස තුල. පැහැදිලිව සඳහන් කල ලියාපදිංචි අංකය, තොග අංකය, නිෂ්පාදකයාගේ විස්තර ආදිය තිබෙන නිසා විධිමත් බීජ නිසි ප්‍රමිතියක් සහිතයි. මොකද වරදක් උනොත් නිෂ්පාදකයාගේ නමටයි කැළල. අනෙක නීති මගින් ගොවියාට වන්දි ගෙවන්න උනත් ඔහුට සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ප්‍රමිතිය ආරක්‍ෂා කරනවා.

ආචාර්ය වීරසේන එසේ සඳහන් කරයි. බීජ මිලදී ගැනීමේදී ඇසුරුමේ තොග අංකය, බීජ පනතේ ලියාපදිංචි අංකය, කල් ඉකුත්වෙන දිනය, නිෂ්පාදකයාගේ විස්තර ආදිය පරීක්ෂාකර බැලීමට එතරම් උගත්කමක් අවශ්‍ය නැත. මළපොතේ අකුරක්වත් ඉගෙනගෙන නැතිවුන් පවා මේ දිනවල කතා කරන්නේ පැලෝපීය නාලයේ දිග පලල ගැනයි. අප එය ගැන ඇසුවේ ඕලෙවල් පන්තියේ ජීව විද්‍යාව පාඩම හරහා වුවත්, ප්‍රචාරණයේ ශක්තිමත් බව නිසා ස්වාස නාලය, ගල නාලය ආදියේ උතුර දකුණ නොදන්නා බාලාංශ කොලු කුරුට්ටෝ පවා පැලෝපීය නාලය  ඇත්තේ කුමන ඉසව්වකදැයි මේ වනවිට වරද්දන්නේ නැතිව කියති. එසේනම් මේ ඉඟි කෙරෙන්නේ බීජ මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවියා හරියාකාරව තවමත් දැනුවත් වී නොමැති බවද?

බීජ වෙළෙන්දාටද යමක් කිව යුතුව තිබේ. හාඩ්වෙයාර් කඩයක යකඩ ඇන කිලෝවක් විකුණනවිට තිබෙන වෙළඳ මානසිකත්වය වැන්නක් මෙතැනට ගාවා ගන්නේ නැතිව මේ පාරිශුද්ධවූ වෙළඳාමේ නියැලීම ඔවුන්ගේ යුතුකමකි. ඔබගේ ව්‍යාපාරයට විනකටිමින් වෙළඳසැලේම අහුමුලුවල වෙසෙනා මීයන්, කැරපොත්තන් වැනි ජීවීන් මෙන් නොව, තම ගබඩාවන් පිරී ඇත්තේ ව්‍යාපාරයේ පමණක් නොව රටේම ආහාර සුරක්ෂිතතාවයේ අරටුව සේ සැලකිය හැකි සුවිශේෂී ජීවියෙකුගෙන් බව පළමුව තේරුම් ගත යුතුය. ඒ ගසකින් නෙලාගත් බීජයයි. එම ජීවියා පැමිණියේ කොහි සිටද, කා සමගද, කවදාද යන්න ඔබ දැන සිටිය යුතුවාට අමතරව, තවෙකෙකුට ජීවියා භාරදීමේදී නොමරා භාරදීමටද කටයුතු කිරීම ඔබගේ වගකීමක් බව සිහි තබාගත යුතුය.    

කර්මාන්තයේ අක්‍රමිකතා කතාකරන අපට ගොවිබිමේ අඩුපාඩුද නොපෙනෙනවා නොවේ. කලකට ඉහතදී මහවැලි සී කලාපයේ වී ගොවියෙක් අලුත්තරම බීජ ගොවිපොළෙන් බිත්තර වී මල්ලක් රැගෙන ගෙදර ගියේ කබල් බස්රථයක නැගීගෙනය. සෙනඟ පිරුණු බස්රථයට ගොඩවූ ඔහු දෙවරක් නොසිතා බිත්තර වී මල්ල තැබුවේ රියදුරු අසල වූ එන්ජිම මතය. දෙහිඅත්තකන්ඩිය පැත්තෙන් බැසයනතෙක් විනාඩි 45 ක් පමණ එන්ජිම මත වූ බිත්තර වී මල්ල තුල ‘පොරි’ සෑදී නොතිබුනා නම් එයයි පුදුමය.

අනිවාර්යයෙන්ම මෙම බීජ මල්ලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අධික උෂ්ණත්වය නිසා විනාශ වන්නට ඇත. එහෙත් කෘෂිකර්මයේ ඇත්තන්ට අන්තිමට ඉතුරු වන්නේ බීජ පැලවෙන්නේ නෑ කියන දෝෂාරෝපනය පමණක් වේ. හොඳ බීජ තොගයක් තෝරා ගන්නවාට සමත් වෙනවා සේම, මිලට ගත් පසු සිදුවන ප්‍රවාහනයේදීත්, නිවසේ ගබඩා කිරීමේදීත් බීජ වෙතට තමාගෙන් වියයුතු යුතුකම් කොටස ඉටුකිරීමට ගොවියා අමතක කලයුතු නැත. වියලි කලාපයේ රාජකාරියේ යෙදී සිටියදී එළවලු ගොවීන් වෙතින් බීජ ප්‍රරෝහණය සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන විට මාගේ සිරිතක් වූයේ හරස් ප්‍රශ්න කීපයක් අසා, සිදුකර ඇති වරද ඔහුටම එවේලේම තේරුම් කරදීමයි. බොහෝ අවස්ථා වලදී වරද සිදුවී තිබුනේ බීජ මිලයට ගත්තායින් පසුවය. එක් ගොවි මහතෙක් නිවසට රැගෙන ගිය එළවලු ඇට පැකට් කීපය පසුව ගන්නා තෙක් ටකරන් වහලයේ රීප්පයක් අතර රඳවා තබා දින ගණනකට පසු රැගෙන තවාන් දමා ඇත. තවත් අයෙක් වැඩි හොඳට සති කීපයක් තිස්සේ ඇට ගබඩා කර ඇත්තේ අධි ශීතකරනයේය. දෙදෙනාගෙන්ම ලැබුනේ පොදු පැමිණිල්ලකි. බීජ හරියාකාරව පැල නොවුණු බවයි. මෙවන් තත්වයන් යටතේ පැලවූවා නම් එයද අරුමයක්ම වේ.         

බීජ තිබෙන්නේ ගොවියාට වවාගෙන කන්නටය. ඒ අතරේ බීජ ව්‍යාපාරය වවාගෙන කන සුළු පිරිසකින් රට බේරාගැනීම සමස්ත සමාජයේම වගකීමකි. මන්දයත් බීජයේ පටන්ම ගොවියාට ගොවිතැන වරදින්නේනම් අස්වැන්න ගැන කතාකරලා වැඩක් නැති නිසාය. 

සනත් එම්. බණ්ඩාර

B.Sc.(Botany), M.Sc. (Systematic Botany) UPLB​Assistant Director of AgricultureNational Agriculture Information and Communication CentreGannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor