දේශපාලන පක්‍ෂයකට ඡන්ද අවශ්‍ය නැහැ කියන පුද්ගලයින් ඉන්නවාද ? – හිටපු ජනපති මහින්ද

සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියක්ම අනාරක්‍ෂිත තත්වයට පත්වෙලා / සෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නොවන බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් ගෙන යන බවත් දේශපාලන පක්‍ෂයකට ඡන්ද අවශ්‍ය නැහැ කියන පුද්ගලයින් ඉන්නවාද ? යනුවෙන ප්‍රශ්න කරන බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රශ්න කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතා මේ ප‍්‍රශ්නය ඇසුවේ ඊයේ (6) විද්වත් වෘත්තිකයින්ගේ ප්‍රධාන කාර්යාලය වන ‘‘පවුර’’ ප‍්‍රධාන කාර්යාලය හා එහි වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේ දීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා,

‘‘රටේ අනාගතය ගැන මෙන්ම සමාජ, ආර්ථික ප්‍රශ්න ගැන බැලුවාම රටක් අවුරුදු හතරක් තුළ මෙහෙම විනාශ කළ හැකි දැයි කියා සිතෙනෙවා. ප්‍රශ්නවලින් මඟ හරින්න ආණ්ඩුව දවස ගානේ අලුත් ප්‍රශ්නයක් මවනවා.

පසුගියදා සිදු වූ සිදුවීමත් සමඟ රටට වගේම කිසිම ජාතියකට ආරක්‍ෂාවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියක්ම අනාරක්‍ෂිත තත්වයට පත්වෙලා. තාත්තට පාසලට ගිහින් තම දරුවා පාසලෙන් ගන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා. ළමයා ගන්න ගිය තාත්තට වෙඩි තියලා මරනවා. එවැනි තත්වයක් රට තුළ උදාවෙලා. ජාතීන් අතර සැකය ඇතිවෙලා.

රටක් ඉදිරියට යන්න අරමුණක් තිබිය යුතුයි. 2005දී ජනතාව අපෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කරදෙන ලෙසයි. වසර 30ක් තිබූ යුද්ධය වසර තුනහමාරකින් අපි අවසන් කළා. ඊළඟට තිබුණේ සංවර්ධනය ආරම්භ කිරීමයි. අපි එයත් කළා. වසර 30ක් යුද්ධයෙන් බැට කාපු උතුරු නැගෙනහිර පළාත්වලත් යටිතල පහසුකම් ගොඩ නගමින් සංවර්ධනය කළා.

අද රටට විවිධ බලපෑම් එන්න පටන් අරගෙන. විවිධ ගිවිසුම්වලින් රට පාවා දෙන්න හදනවා. සෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රථම වාතාවට ඇමරිකානු ඩොලර්වලින් පඩි ලබන නිලධාරීන් පත්කරගෙන. මැතිවරණ කොමසාරිස් කාර්යාලයට, අල්ලස් දෙපාර්තමේන්තුවට මෙන්ම රටේ අනෙකුත් ආයතනවලටත් විදේශකයින් ඇතුල් වෙන්න පටන් අරගෙන’’ යැයි ද හිටපු ජනපතිවරයා සඳහන් කළේය.

විද්වත් වෘත්තිකයින්ගේ ප්‍රධාන කාර්යාලය වන ‘‘පවුර’’ ප‍්‍රධාන කාර්යාලය නුගේගොඩ පිටකෝට්ට පාරේ සියපත ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටා ඇත.

Recommended For You

About the Author: Editor