ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම නතර කරන්නට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නෑ – අගමැති රනිල් වික‍්‍රමසිංහ

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ කටයුත්ත නතර කරන්නට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැතැයි ද ඒ සම්බන්ධයෙන් ජනතා සහාය පෙන්වීම සඳහා පාරට බැස ජනතාව සමඟ උත්ඝෝෂණය කර ඉඩම් අයිතිය අවශ්‍යවන බවට වන පණිවිඩය රටට දෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (7) අම්පාරේදී අවධාරණය කළේය.

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහනේ අම්පාර දිස්ත්‍රික් උත්සවයට සහභාගී වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා,

‘‘සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ පනත් කෙටුම්පත සකසා කැබිනට් අනුමැතිය ගැනීමට වසර දෙකක් ගත වුණා. දැන් ඒ පනත අනුමත කොට ගැසට් මගින් ප්‍රකාශ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

සංවිධාන දෙකක් ඔබට සින්නක්කර අයිතිය ලබා දීමට විරුද්ධව කටයුතු කර තිබෙනවා. මේ පිරිස කව්ද ? මේ මොන සංවිධානද ? ප්‍රතිගාමී බලවේග ජනතාවට ඉඩම් අයිතිය දීමට අකමැති අය සිටිනවා. දැන් මේ ඉඩම් අයිතිය නතර කරන්නට නඩු කියන්න හදනවාලු. මේ සටන අත්හරින්න බැහැ. අප දුරක් පැමිණ තිබෙනවා.

ගිය වාරයේත් මෙවැනි කෙටුම්පතක් ඉදිරිපත් කළ විට නොයෙක් ආකාරයට කටයුතු කළා. එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනපති ලෙසත් අප ආණ්ඩුව ලෙසත් කටයුතු කළා. එතැනින් විවිධ දේ ගෙනාවා. මහ ඇමතිවරු ගෙනාවා මේ කටයුත්ත නතර කරන්න ක්‍රියා කළා. එහෙත් මෙවර එය නතර කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙම වැඩවසම් ආකල්පවලට ඉඩ දෙන්නේ නැහැ.

ශ්‍රී ලාංකික ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ කටයුත්ත නතර කරන්නට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ජනතා සහාය පෙන්වීම සඳහා පාරට බැස ජනතාව සමඟ උත්ඝෝෂණය කර ඉඩම් අයිතිය අවශ්‍යවන බවට වන පණිවිඩය රටට දෙන්න අපි සූදානම්’’ යැයි ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

Recommended For You

About the Author: Editor