අග්නිදිග ආසියානු විනෝදය ‘උරා බොමින්’ බුරුමයේ කළ කෙළි

නගර සාම්‍යතා බොහොමයක් ඉපිද ඇත්තේ යටත් විජිත ව පැවතීම හේතුවෙනි. ගාල්ලේදී හෝ කොළඹදී දැකිය හැකි ඇතැම් පැරණි හා රමණීය ගොඩනැගිල්ලක වන බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ යැන්ගොනයේ ගොඩනැගිල්ලකද දකින්නට ලැබෙයි.

‘සිංහල අපි’ බුරුමයේදී ‘ඉන්දියානුවන්’වගේ

එහෙත් නගරයේ ඇතැම් පෙදෙසක් හරහා ඇවිද යද්දී ගොඩනැගිලිවල දක්නට ලැබෙන්නේ චීන ආභාෂයයි. චීන මුහුණු හා සම මුහුණු මෙන්ම ශරීර ලක්ෂණ ඇති මියන්මාර වැසියන් අතර ඉන්දීය පෙනුමැති හින්දු භක්තිකයන්ද, බුරුම මුසල්මානුවන්ද ස්වල්ප වශයෙන් හමු වේ.

ලොව කිනම් හෝ නුවරෙක සැබෑ සිරි මෙන්ම අසුන්දර දසුන්ද විඳින්නට අවැසි නම් කළ යුතු වන්නේ ඇවිදීමයි. පත්තර මිත්‍රයා අසේළ සමඟ ටැක්සියක යමින් සිටියදී රියැදුරා අපෙන් විමසුවේ නුඹලා ඉන්දියානුවන්ද යන්නයි. මුසල්මානුවෙකු වූ හෙතෙම ස්වල්ප වශයෙන් හින්දි කතා කිරීමට සමත් ව සිටියේ ය.

අප හින්දි කතා කිරීමට අසමත් නමුත් හින්දි සිනමාවේ අනුහසින් වදනක් දෙකක් ගලපා ගැනීමට හා තේරුම් ගැනීමට සමත් කමක් තිබීම අවස්ථාවේ හැටියට විමතිය දැනවූ කරුණක් වූයේ අපටම ය. ඉන්දියාව ලෝ ප්‍රකට වීමට හේතුවක් වූ ක්‍රිකට් ගැන උනන්දුවක් නොවූ ඒ තරුණ බුරුම වැසියා අගමැති මෝදි ගැන මෙන්ම හින්දි සිනමාව ගැන දැන සිටියේ ය.

ලංකාව ගැන වෙසෙස් උනන්දුවක් නොවූවද බොදු සබැඳියාව හෙයින් එවැනි රටක් ඉන්දියාව ආසන්නයේ පවතින බව බුරුම මුසල්මානුවාට පහදා දීම එතරම් අසීරු වූයේ නැත.

පෙර දිනෙක තනූජ පැවසූ පරිදි “බුද්ධපාද” යනුවෙන් පවසමින් සිය පපුවට අත තබා තමන් බෞද්ධයෙකු බව බුරුම වැසියන්ට හඳුන්වා දෙන්නට ලාංකික බොදුනුවන්ට පුලුවන්කම තිබේ. එහෙත් එසේ හඳුන්වා දුන්නේ වී නමුත් අත්වන වෙසෙස් සුගතියක් නැත.

ඩොලර් තුන හතරකට සුපිරි කෑම

යැන්ගොනය නිතර වැසි ඇදහැලෙන නිවර්තන කලාපයට අයත් භූමි භාගයකි. සුවිසල් ගංගාධාරයෙක පිහිටි නිසා වාතය තෙත් හා උණුසුම්ය. එහෙයින් දිවා කාලයේ තද උණුසුමක් දැනේ. වායුසමනයෙන් බැහැර වූ විට ගතින් දහදිය වෑහෙන්නට පටන් ගන්නා නමුත් රැය වඩා සිසිල් ය. එහෙත් රාත්‍රී කාලය වීදි සරන්නට සුදුසු යැයි උපදෙස් ලැබෙන්නේ නැත.

අප නවාතැන් ගෙන සිටි යැන්ගොන් සරසවි මාවතේ පිවිසුමට නොදුරින් වූ සුන්දර විල නැරඹීමට ඇතමෙකු ඇවිද ගියේ හිමිදිරියේ ය. නාගරික විලක් වූවද එය කොළඹ බේරේ වැව තරම් සුපෝෂිත හා දූෂිත ජලයෙන් සමන්විත නොවේ. මණ්ඩලේ නුවරට වඩා ක්‍රමවත් නාගරික කලාපයක් වූ මෙනුවර ඇතැම් වීදියක දෙපස කුඩා මඩු අටවාගත් වීදි කෝකිහු වෙති. එහෙත් අපට ලැබුණු මග පෙන්වීම්වල සඳහන් වූයේ වීදි ආහාර අනුභවයෙන් වැළකිය යුතුය යන්නයි.

නවාතැන් ගත් හෝටලවලින්ම වුව ඇමරිකානු ඩොලර් තුනකට හෝ හතරකට ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගත හැකි වීම නිසා අපේ දුප්පත් පසුම්බිවලට වීදි ආහාර සොයා යෑමේ අවශ්‍යතාව මතු වූයේ නැත.

අපේ ‘රඹුටන්’ ළගින් යන්න ‘ලෙවීවලට’ බැහැ

එහෙත් යාබද චීනයෙන් හා මියන්මාරයේම ඇතැම් පෙදෙසකින් ගෙනැවිත් මග දෙපස අලෙවි කරන පළතුරු මිලදී ගැනීමට අප පෙළඹුනෙමු. මෙරට සුපිරි වෙළඳසැල්වල ඉහළ මිළැති මකර පළතුර එහි බෙහෙවින් ලාභ ය. අපට රඹුටන් මෙන් වූ ලිචී කිලෝවක් මිළ දී ගැනීමට වැය වන්නේ ඩොලරයකට සමාන මුදලකි. ඒවා ප්‍රණීත යුෂයෙන් පිරුණු රසවත් පළතුරකි.

මා මීට පෙර ලිචී අනුභව කොට තිබුණේ බණ්ඩාරවෙල කහගොල්ල කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණය සඳහා වැවූ ගසකිනි. රඹුටන් ඉක්මවීමේ හැකියාවක් නොවෙතැයි නිගමනය කොට ලිචී ව්‍යාප්ත නොකර සිටින්නට එහි පර්යේෂකයෝ තීරණය කර තිබුණාහ.

වරක් කොළඹදී මට හමුවූ බංගලියෙකුද සිය රටෙහි ලිචී ගැන මහත් උද්දාමයෙන් වහසි බෙණෙමින් සිටි නමුත් මල්වානේ පැණි රඹුටන් කෑ විගස පරාජය පිළි ගත්තේය. කහගොල්ලේ ලිචීවලට වඩා ලෙල්ලේ වර්ණය වෙනස් මියන්මාර ලිචී නිසා මට යළි මතක් වූයේ කිතුල්දොවේ වනගත පීල්ලට මෙපිට වැවී තිබූ සුවිසල් පැණි මොර ගස්වල රසවත් පලය. අපේ  ලිචී ඒවා ය. 

අත්කම් විස්කම් මවන බෝජෝ මාර්කැට්ටුවට

බෝජෝකේ අවුන් සාන් මාර්කැට්ටුව ලෝ ප්‍රකටය. පහසු එය බෝජෝ මාකට් යනුවෙන් ව්‍යවහාර කිරීමයි. මියන්මාර වාණිජ අගනගරයට යන පිටරැටියෙකු ඔවුන්ගේ අත්කම්, රෙදිපිළි හෝ ජේඩ් වැනි වටිනා පාෂාණවලින් නිර්මිත යමක් මිළදී ගන්නට වුවමනා නම් මධ්‍යම යැන්ගොන් හි පිහිටි මේ විසල් වෙළඳ සංකීර්ණයට පිවිසිය යුතු ය. එහි නොමැති යමක් නැති තරම්ය.

ඩොලරයක සිට සිය ගණනක් ඩොලර් ගෙවා මිලදී ගන්නට තරම් වන පරාසයක ඉතා සිත්ගන්නා සුලු දේශීය නිමැවුම් එහි වෙයි. කපු පිළියෙන් තැනූ කමනීය බුරුම ලුංජි සහ එරට වැසියන් වැඩිපුරම අඳින සරොම් මිළදී ගැනුමට බෝජෝ මාර්කැට්ටුව කදිම තැනකි. අප රුපියල් හය හත්සීයකට ඉතා වටිනා සරමක් හෝ ලුංජියක් මිළදී ගැනීමට අපහසු නැති බෝජෝ මාර්කට් වෙත පිවිසි සැණින් ලී පතුරෙන් තැනූ අවාන් විකුණන කාන්තාවක් ඔබ පසුපස පැමිණෙන්නට පටන් ගනී. ඇයගෙන් මිදෙන්නට නම් මේ අවානක් මිළදී ගත යුතුමය.

සුන්දර සුකොමළ අවාන් වෙළෙන්දියන්

ලී පතුරුවල ඉතා සියුම් කැටයම් කපා ඇති මේ අවාන විදහාලූ විගස ඉමිහිරි සුවඳක් පැතිරේ. ලංකා රුපියල් දෙසියයක් පමණ ගෙවා එය මිළ දී ගැනීම පාඩුවක් නොවේ.

අවාන වෙළෙන්ඳියන් සේම බෝජෝ හී වෙළඳාම් කරන කතුන් බොහෝ දෙනාද සිය වතට සිසිල හා දිගුකාලීන සුන්දරත්වය ලබා දීම සඳහා මුහුණේ තනාකා ආලේපය ගල්වා ගෙන සිටිති. ඒවා තනන්නේ දිවුල් දැවයෙන් බව මීට පෙර සඳහන් කරන්නට ඇතැයි සිතමි.

මේ සුන්දර තනාකා ළඳුන් බෝජෝ වෙත පිවිසෙන ඔබට සුන්දර දාරුමය නිර්මාණ, රෙදි පිළි හා සිය ගණනක් අත්කම් පෙන්වමින් ඒවා මිළට ගන්නට ඇරයුම් කරනු ඇත. ඔබට ඔවුන් හා කේවල් කරන්නට අවස්ථාව හිමි ය.

මා ඉතා සුන්දර රූකඩයක් හිමි කර ගත්තේ රූබර තනාකා ළඳක් සමග කේවල් කිරීමෙන් පසු එහි මිළ ඩොලර් දෙකකින් පහත හෙලා ගන්නට සමත් වෙමිනි. අතින් වියන ලද සුන්දර උර මල්ලක මිළ තායි බාත් දෙසියයක් ලෙස සඳහන්ව තිබුණේ ඒවා නිපයන්නේ තායි බුරුම දේශ සීමාව ආසන්න ගමක කතුන් වන හෙයිනි. දේශ සීමා ආසන්නව අසල්වැසි මුදල් ඒකක භාවිතා කිරීම සිදුවන නිසා තායිලන්තය අසළදී තායි බාත්ද, චීන වැට මායිමේ යුවාන් මුදලද භාවිතා වන බව අසන්නට ලැබුණි.

අපේ මැණික් ගැන කියා බුරුමය පරාජය කළ හැටි

බුරුමය හෙවත් මියන්මාරයේ භූ සම්පත් අතර වටිනා ජේඩ් පාෂාණය ප්‍රමුඛ වේ. එහි වාර්ෂික දළ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන තිහකට වැඩිය. එය බුරුම රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් වැදගත් පංගුවක් නියෝජනය කරයි.

බෝජෝ වෙත පිවිසෙන සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජේඩ් අභරණ අලෙවි කරන්නන් රැසක් දක්නට ලැබේ. ඇතමෙක් අලෙවි සැළ සමග වැඩ කාමරයක්ද පවත්වා ගෙන යති. ඔවුන් ගේ ඇරයුම ඇතිව ඒවාට එබිකම් කොට ජේඩ් කපා ඔප දමන ආකාරය දැකගත හැකි වේ. ජේඩ් නිර්මාණ අලෙවි වන්නේ ඩොලර් එකේ සිට දහස් ගණනක් දක්වා මිළ ගණන්වලටය. ඒවායේ වර්ණ පරාසයද කිරි සුදු පැහැයේ සිට දීප්තිමත් කොළ පැහැය දක්වා පරාසයක විහිදෙයි.

බෝජෝහීදී මට හමුවූ එක් ජේඩ් වෙළෙන්දෙක් ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ කතා කරන්නෙකි. පරම්පරා ත්‍රිත්වයකදී ඔහු බුරුම රැටියෙකු ව ඇත. ඔහු සතුව විකුණන්නට තුබුණේ ජේඩ් පමණක් නොවේ. වටිනා පුෂ්පරාග, පළිඟු සහ සෞම්‍ය කාන්තියක් විහිදුවන චන්ද්‍රකාන්ති මැණිකක්ද හෙතෙම මා වෙත ඉදිරිපත් කළේය. ඒ සඳකැන් පාෂාණය මගේ සිත පැහැර ගත් නමුදු දිළිඳු ලාංකික සැරියෙකු වූ මට ඒ වෙනුවෙන් ගෙවන්නට ඩොලර් සිය ගණනක් තිබුණේ නැත.

ඒවා නැරඹීම වෙනුවෙන් ඔහු ඒ වනවිටත් දැන සිටි ලංකාවේ ඉතා වටිනා මැණික් වර්ග පිළිබඳ වර්ණනයක් කරන්නට මට සිදු විය. එය මටද මහත් ආඩම්බරයක් වූයේ අප රට මැණික් බුරුම ගල්වලට වඩා වටිනා බව ඔහුද  පිළිගැනීම නිසා ය. අවසන ඔහු මගෙන් ඉල්ලා සිටියේ නැවත යැන්ගොනයට පැමිණෙන දිනෙක රත්නපුරයේ හෝ බලංගොඩ හමුවන ගෝමේධ පාෂාණ රැගෙන එන ලෙසයි. අවැසි නම් ඒවා සමග ඔහුගේ වටිනා සඳකැන් පාෂාණය හුවමාරු කරගන්නට පුලුවන.

19 වීදියේ රෑ යමේ සාජ්ජේ

මධ්‍යම යැන්ගොනයෙන් බැහැර චයිනා ස්ට්‍රීට් නමැති බසාරයක් පිහිටා තිබේ. එය ලාභ චීන සුකුරුත්තම් හා අරුමෝසම්ද, තායි රස කැවිලිද මිළට ගැනීම සඳහා නම් දැරූ පෙදෙසකි. පරසිඳු නිෂ්පාදනවල චීන අනුකාරක ලාබෙට ඇති එපෙදෙස පිටකොටුවේ වෙළෙඳ වීථි ජාලය සිහි ගන්වයි.

මේ බසාරයෙන් බෙදී විහිද යන නයින්ටීන් ස්ට්‍රීට් ලෙස හැඳින්වෙන කෙටි වීදියකි. දහවල් කාලයේ රථ වාහනද ගමන් කරන සාමාන්‍ය  වීදියක් වන එය සැබැවින්ම පිබිදෙන්නේ සන්ධ්‍යා කාලයේ ය. එවිට වීදිය ඔස්සේ රිය ධාවනය තාවකාලිකව අත් හිටුවනු ලැබේ.

මේ දහනව වැනි වීදිය යනු යැන්ගොනයේ රාත්‍රී ජීවනාවකාශයයි. එහි දෙපස ඇති කුඩා අවන්හල් සන්ධ්‍යා අඳුර ගලා එද්දී රෑ රාජකාරිය වෙනුවෙන් සූදානම් වෙයි. වීදියේ තම තමන්ගේ අවන්හල ඉදිරියේ වන කොටසෙහි මේස හා පුටු තැන්පත් කරන්නේ වේටර කොල්ලන් ය.

විවිධ බීර සමාගම්වල නිල ඇඳුම් හැඳගත් රූබර ලාබාල කෙල්ලෝ බීර පානය පිණිස ගැණුම්කරුවන්ට ඇරයුම් කරන අතර ඔවුන්ගේ ඇණවුම් භාරගෙන ලොකු බීර ජග්ගු සහ ටවර ගෙනැවිත් දීම පිණිස සැදී පැහැදී සිටිති. ඒ අතරතුර ගැණුම්කරුවාට තමන් කැමති අවන්හලක උඳුනක් අසබඩ ඇති මත්ස්‍ය, මාංශයක් හෝ ශාඛාහාරයක් බාබකිවු කර දෙන මෙන් ඇණවුම් කරන්නට පුලුවන.

පළගැටි රස බොජුන් අත ළගටම

කෙටි වේලාවකට පසුව ඉල්ලූ ආහාර හා කැමැත්ත ප්‍රකාශ කළ බීර නැතිනම් සැර මධුවිතද මේස වෙත ගෙනැවිත් තැබීමෙන් ඔබේ සාදය ඇරඹෙනු ඇත. ඒ අතර අවන්හල් ගණනාවකට අයත් කලාපයේ බුරුම හා බටහිර සංගීත රසය මැවෙද්දී ජංගම වෙළෙන්දන් මේස අතරින් ඇවිද යන්නට පටන් ගනී. ඉන්දියානු වඩේ කරුවන් සහ බුරුම පළඟැටි අලෙවිකරුවන් මෙන්ම පැණි රසැති අයිස්ක්‍රීම් එසැණ නිපදවන මහලු වෙළෙන්දෙක්ද මගේ සිත් ගත් ජංගමයන් අතර වූහ.

ගැඹුරු තෙලේ බදින ලද තෙල් බේරෙන පළඟැටියන් දුටු විට හම්බන්තොට ඉස්සො වඩේ සිහිපත් වන නමුත් ඒවා කෑමේ රුචියක් නූපදින. එහෙත් මියන්මාරියන්ලා මෙන්ම බොහෝ චීන්නුද කර කර ගා රසට හැපෙන පළඟැටියන්  මහත් අභිරුචියෙන් බුදිමින් සිටියහ.

ඒවා නුබුදිතත් දහනව වැනි වීදියේ ආගන්තුකයින් වූ ජර්මානු යුවලකට හා ඉන්දියානුවන් රැසකට නැවුම් ඉස්සන්, දැල්ලන් හා බූවල්ලන්ගෙන්ද සමන්විත මුහුදු ආහාර රැසක් හා සූකර අඟපසඟ හා චීන වන හතු සහ නොයෙකුත් ඇට වර්ගද, හුඟක් එළළුලුද විය.

අපේ ඇණවුමටද ඌරු අක්මාවක්, බඩවැල් හා දිවක් අයත් විය. කන බොන අතරතුර වීදියේ ඇවිද ගිය මට ජර්මානු යුවල පැවසුවේ තමන් අග්නිදිග ආසියානු විනෝදය උරා ගනිමින් සිටින බවයි. මට සිතුණේ ඒ ආශ්වාදය අපේම කරගන්නට කොළඹටත් දහනව වැනි වීදියක් අවශ්‍ය බවයි.

ලසන්ත ද සිල්වා.

Recommended For You

About the Author: Editor