අදටත් 30%ක් පමණ තීරණය කර නැහැ කාටද ඡන්දය දෙන්නේ කියලා – චම්පික රණවක

”අදටත්, මේ අවසානයේ තිබෙන සංඛ්‍යාලේඛන අනුවත් මේ රටේ 30% ක් පමණ ජනතාවක් තවම තීරණය කර නැහැ මේ ජනාධිපතිවරණයේදී කාටද ඡන්දය දෙන්නේ කියලා. මේ 30% තමයි තීරණය කරන්නේ කවර දේශපාලන පක්ෂයක්, කවර මත ප‍්‍රකාශ කළත් අනාගත ජනාධිපතිවරයා කවුද කියලා”

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, පසුගියදා ජාතික ජනතා පෙරමුණ විසින් පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ විශේෂ හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

මේ රටේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතාවගේ අනාගත ආර්ථික දියුණුව, සමාජ දියුණුව, මේ රට බලගතු රටක් බවට පරිවර්තනය කරන්න 2019 නොවැම්බර් පවත්වන ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මැතිතුමා දිනවීමට අපි කැපවිය යුතුයි.

මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් මැතිවරණ කි‍්‍රයාවලියත් දැන් දශක ගණනාවක සිට  කි‍්‍රයාත්මකයි.  1931 සිට මේ රටේ සර්වජන ඡන්ද අයිතිය කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඒ ඡන්ද අයිතිය ලබාදෙන වෙලාවේ මෙරට ප‍්‍රභූවරු ඇතැම් ආගමික කණ්ඩායම් මේ රටේ සෑම ජන කණඩායමකටම ඡන්ද අයිතිය ලැබෙනවාට, කාන්තාවන්ට ලැබෙනවාට, දුගියන්ට ලැබෙනවාට, කුලභේදයෙන් පහළ යැයි කියන අයට ලැබෙනවාට විරුද්ධ උනා. නමුත් මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ප‍්‍රගතිය ප‍්‍රාර්ථනා කරන පිරිස් ඉදිරිපත්වෙලා ඒ සර්ව ජන ඡන්ද අයිතිය අපේ රටේ සෑම ජනතාවකටම ලබාදුන්නා.

එහි ප‍්‍රතිපලයක් හැටියට ආණ්ඩු මාරුකර තිබෙනවා, අලූත් ආණ්ඩු ඇතිකර තිබෙනවා. ඒ වගේම මේ රටේ ඉතාම භයානයක යුධමය තත්වයක් තිබුණත් කිසිම අවස්ථාවක හමුදා ආණ්ඩු හදන්න කවර අවස්ථාවකවමත් අපි ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ඒ රැක ගත්ත ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදාය අපි ඉදිරියට රැගෙන යා යුතුයි. මොකද රෙජිමේන්තු ගත කරපු, මිලිටරිකරණය කරපු ආණ්ඩුවලින් සිදුවෙන්නේ ඒ අවස්ථාවේදී විනය පවත්වා ගැනීම නෙමෙයි පසුව ගැටළු – ගැටුම් තව වැඩිවෙලා භයානක ප‍්‍රශ්නවලට රට මුහුණ දෙන එක විතරයි.

මේ රටේ ඇති වූ විශාල ගැටළුවක් තමයි පසුගිය කාලයන්හි හැමදාම වගේ උද්ඝෝෂණ. තුනක් හතරක් රටේ පැවැත්වෙනවාමයි. මේ නිසා ජන ජීවිතයට මහත් බාධාවල් මේ වැඩවර්ජන උද්ඝෝෂණ නිසා ඇතිවෙනවා. මේක රජයේ අස්ථාවරත්වයක් හැටියට, රජයේ නොසැලකිල්ලක් හැටියට රජය මේවා පාලනය කළ යුතුයි කියන හැඟීමක්  ජනතාව අතින් මතු උනා. නමුත් මෙය රජයේ දුර්වලතාවයක්වත් රජයේ නොසැලකිල්ලක්වත් නෙමෙයි රජය මේ රටේ නිදහසට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ලබාදුන් ඉඩකඩ. පසුගිය වසර 5 ක ආසන්න කාලය තුළ එකම පුද්ගලයෙක්වත් ආරක්‍ෂක අංශ විසින් උද්ඝෝෂණ, වැඩවර්ජන කළා කියලා, විරෝධය දැක්වූවා කියලා ඝාතනය කළේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට තමයි මේ සියළුම දේ සිදු කර තිබෙන්නේ. එය මේ රටේ ඉතිහාසයේ වාර්ථාවක්.

ඒ වගේම අපි දන්නවා ඇතැම් දේවල් මර්ධනය කරන්න ගියහම තාවකාලිකව ස්ථාවර පාලනයන් ආවට, දිගු කාලීනව භයානක ප‍්‍රශ්න පැන නැගුණු බව. 1981 දී සංවර්ධන සභා මැතිවරණය ජයගැනීම සඳහා එවකට පැවති ආණ්ඩුව කි‍්‍රයා කරපු ආකාරය නිසා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට ලොකු පිටිබලයක්, ලොකු ශක්තියක් ඒ දෙමළ ජනතාව තුළින ලැබුණා. 

83 ජනතා විමුක්ති පෙරමුණ, සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආදිය තහනම් කිරීම නිසා ඒ පක්ෂවලට, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට කැරැල්ලක් ගහන්න අවශ්‍ය ශක්තිය ලැබුණා. ඒ නිසා තාවකාලිකව යම් යම් දේවල් අපට මර්ධනයෙන් පාලනය කරන්න පුළුවන් උනත් පසුව ඒවා භයානක බරපතල ප‍්‍රශ්න, විරෝධතා බවට පත් වෙනවා. ඒ නිසා මේ රජය කවුරු මොනවා කිව්වත්, මොන දුර්වලතා තිබුණත් ඒ  නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් අපේ ජනතාවට ලබාදුන්නා. එය නැවතත් මිලිටරිකරණය වෙච්ච, රෙජිමේන්තුකරණය වෙච්ච රටකට එක වරිගෙකට, එක පවුලකට භාර නොදී ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පවුල් 55ලක්‍ෂයටම භාර දීම තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ.

අද මේ රටේ දේශපාලන ප‍්‍රවණාතාවයක් තිබෙනවා. ඒක තමයි මේ දේශපාලන පක්ෂවලට ගැටගැහිච්ච නැති  විශාල පිරිසක් ඉන්නවා. අදටත්, මේ අවසානයේ තිබෙන සංඛ්‍යාලේඛන අනුවත් මේ රටේ 30% ක් පමණ ජනතාවක් තවම තීරණය කර නැහැ මේ ජනාධිපතිවරණයේදී කාටද ඡන්දය දෙන්නේ කියලා. මේ 30% තමයි තීරණය කරන්නේ කවර දේශපාලන පක්ෂයක්, කවර මත ප‍්‍රකාශ කළත් අනාගත ජනාධිපතිවරයා කවුද කියලා. මේ අය ඇතැම් විට උගත්තු, වෘත්තීයවේදියෝ, එහෙම නැත්නම් සමාජ කි‍්‍රයාකාරීන්  ඒ වගේම ඔබතුමාලා වැනි සිවිල් සංවිධානවල නොයෙකුත්, ගැටළු ප‍්‍රශ්න මුල්කරගෙන මතුවෙච්ච සංවිධාන. මේ අය තමයි අනාගතයේ ජයග‍්‍රාහකයා තීරණය කරන්නේ.

පක්ෂවලට පුළුවන්  ඕන තරම් එකතු වෙන්න, අවබෝධතා ගිවිසුම් ගහගන්න, සංවිධානය වෙන්න. නමුත් ජයග‍්‍රාහකයා තීරණය වෙන්නේ පක්ෂවල ජනතාව අතරින් නෙමෙයි. අනිවාර්යයෙන්ම මේ මැදිහත් නොබැඳි ඔබවැනි ජනතා සංවිධානවලින් තමයි ජයග‍්‍රාහකයා තීරණය කරන්නේ. ඒ නිසා ඔබගේ මේ පැමිණීම අපි දකින්නේ ඒ තීරණය කර නැති ඡන්ද දායකයා තීරණයක් ගනිමින් තිබෙන බව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට, නිදහස දෙසට. ඒ වගේම මේ රටේ අනාගත සංවර්ධනය දෙසට තීරණයක් ගනිමින් සිටින බව තමයි ඔබෙන් අපට පෙනී යන්නේ. 

ඒ වගේම ඔබ 2015 මැතිවරණයේදී ඉතාම වැදගත් ක්‍ෂෙත‍්‍රයක් නියෝජනය කළා.  ඒ තමයි මේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සහන ලබාදීමේ වැඩපිලිවෙල. නොයෙක් ආණ්ඩු යටතේ, නොයෙක් පලිගැනීම් අපේ රටේ සිදුවුණා. විවිධ ආණ්ඩු බලයට පත්වුණහම විවිධ පළි ගැනීම්. 70 සමගි පෙරමුණ ආවහම   එක්සත් ජාතික පක්ෂයෙන් පලිගැනීම්. 77 එක්සත් ජාතික පක්ෂය ආවහම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පලිගැනීම්. ඊ ළඟට 94 පොදුජන පෙරමුණ ආවහම එක්සත් ජාතික පක්ෂයෙන් පලිගත්තා. මේ වගේ දේවල් සිදුවුණා. මෙවැනි දේ සිදු නොවී ඉන්න රජය බලගතු පියවරයන් කිහිපයක් අරන් තිබෙනවා. එකක් තමයි ස්වාධින රාජ්‍ය සේවයක් ඇතිකළා. ඒ වගේම ස්වාධින පොලිස් සේවයක් ඇති කලා.

අද පුංචි පොලිස් නිලධාරියෙකුට පොලිස්පතිවරයා තර්ජනය කළත්, පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්න තරම් අද පොලීසිය ස්වාධින කර තිබෙනවා. රටේ ජනාධිපතිට විරුද්ධව තීන්දු ගන්න. ඒ වගේම පත් කරන ලද අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ගෙදර යවන්න පුළුවන් විදිහේ ශක්තිමත් අධිකරණ පද්ධතියක් අපි මේ රටේ ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම ශක්තිමත් රාජ්‍ය සේවයක් අපි මේ රටේ ස්වාධින කර තිබෙනවා. ඊ ළඟට තිබෙන්නේ රාජ්‍ය සේවය පළාත් මට්ටමිනුත් ස්වාධින කරන්න. මොකද ආණ්ඩුවේ රාජ්‍ය සේවය පමණයි ස්වාධින කොමිසමට යටත් වෙන්නේ. පළාත්වල තිබෙන රාජ්‍යසේවයත් ස්වාධින කළ යුතුයි. එවිට පළිගැනීම් හැටියට දක්වන දේවල් අපට විසඳා ගත හැකියි.

කෙසේ නමුත් 1994 සිට 47,000 අධික උසස්වීම් නොමැතිවීමෙන්, පළිගැනීම්වලට ලක්වූ පිරිස්වෙත සහන ලබාදීම බලගතු වගකීමක්. අපේ තිබෙන අමාත්‍යාංශ 48 කට ආසන්න ප‍්‍රමාණයෙන් එක අමාත්‍යාංශයක් හැර අනෙක් හැම අමාත්‍යාංශයකම තොරතුරු එකතු කරලා, ඒ පිළිබඳ නිර්දේශ ගත කරලා කමිටු වාර්තා ලබාදීලා කැබිනට් මණ්ඩලයට ඒවා ඉදිරිපත් කර ඉවරයි.

ඒ නිසා දැන් ඒවා කි‍්‍රයාත්මක කරන්න බැහැ මොකද මැතිවරණ නීතිය කි‍්‍රයාත්මක වන නිසා, මැතිවරණ කොමිසමේ අනුමැතිය ලැබෙන්නේ නැහැ එය දේශපාලන වාසි ලබාගැනීමෙන් සිදු කෙරෙන කටයුත්තක් බැව් දැනෙන නිසා. ඒ නිසා නව ජනාධිපතිවරයාපත් වූ වහාම යුක්තිය ඉටුවීමේ කි‍්‍රයාවලිය, කැබිනට් පත‍්‍රිකාව හරහා යෝජනා කර තිබෙන සහන ඔබට ලබාදීමේ ක‍්‍රියාවලිය අප ක‍්‍රියාත්මක කරන බව මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවයේ කුසලතාවයට මුල්තැන කි‍්‍රයාවලියක් අපි ආරම්භ කරන බවද ප‍්‍රකාශ කරන්න  ඕනේ.   

ඒ වගේම යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලිය දූෂිතයින්ට පමණක් නෙමෙයි අපරාධකරුවන්ට දඬුවම්දීමේ කි‍්‍රයාවලිය පොලිස් සේවය, අධිකරණ සේවය, බන්ධනාගාර සේවයේ විප්ලවකාරී පරිවර්තනයක් සිදුවිය යුතු යුගයක් ඇවිත් තිබෙනවා. එම විප්ලවකාරී පරිවර්තනය අපි මීළඟ රජයේදී ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා.  යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලිය, ස්වාධින පමණක් නෙමෙයි, කාර්යක්ෂම අපක්ෂපාතී කි‍්‍රයාවලියක් කරන්නත් ඒ වගේම විශිෂ්ඨතා ඇති පිරිස් පොලීසියේ විමර්ශන අංශවලට වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ අංශවලටත්, ඒ වගේම බන්ධනාගාරය අපරාධකාරයින්ගේ ක්‍ෂෙම භූමියක් නොවී කාර්යක්‍ෂම බන්ධනාගාර සේවයක් බවට පරිවර්තනය කරන්න අපි කටයුතු කරනවා. 

ඒ වගේම ප‍්‍රායෝගිකත්වය, මේ රටේ ගොඩක් අපට බලපා තිබෙන විශාල ගැටළුවක් තමයි රටේ අනවශ්‍ය තරම් දාර්ශනික මතවාද වැඩිවීම. ධනවාදය, සමාජවාදය, කොමියුනිස්ට්වාදය, ලිබරල්වාදය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ අදහස විශාල ප‍්‍රමාණයක් ඇවිත් දැන් ජාතිකවාදය ආගමික අන්තවාදය වගේ තවත් නොයෙක් පැති ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා මේවා තුළින් නැතිව අපි ප‍්‍රායෝගිකව ඉදිරියට යා යුතුයි. 

අපට මතකයි චීනයේ 1980 ප‍්‍රතිසංස්කරණ ආරම්භ කරපු වෙලාව. ඒ රටේ මිනිස්සු බඩගින්නේ මිය ගියා. කොමියුනිස්ට් ආණ්ඩුවක් ඇවිත් අවුරුදු 30 කට ආසන්න කාලයක් ගියත් රටේ ජනතාවගේ බඩගින්නේ ප‍්‍රශ්නය විසඳන්න බැරි උනා ඒ රතු හමුදාවට. ඩෙන්ෂියාවෝ පින් මැතිතුමා ඇති කළා ප‍්‍රතිසංස්කරණ රැල්ලක්. ඒ අවස්ථාවේදී එතුමාට චෝදනා කළා ධනවාදයට රට ඇදන් යන්න හදනවා කියලා. එතුමා දුන්නා බලගතු පිළිතුරක්, බලලා කලූද සුදුද කියලා වැඩක් නැහැ. බලලාගේ රජකාරිය මීයෝ අල්ලන එකයි. ඒ විදිහට තමයි අපි රාජ්‍ය පාලනය ගැනත් හිතන්නේ කියලා.

මේ හැම වාදයකින්ම කොහෙන් හරි වැඩේ අපට කරෙනවා නම් ජනතාව සේවය සිදුවෙනවා නම් රට ඉදිරියට යනවා නම් අපි එම කි‍්‍රමාර්ගය ගත යුතුයි.  එය තමයි ප‍්‍රායෝගිකත්වය කියන්නේ. අද මේ ලෝකය දුවන්නේ ප‍්‍රායෝගික මිනිසුන් අතින්. අද මේ ලෝකයේ අනාගතය තීරණය වෙන්නේ තාක්ෂණයේ ජය කෙහෙලි නංවන ප‍්‍රමාණය මතයි.

ඒ සඳහා තමයි ඇමරිකාවේ සිලිකන් වැලිය වගේ, ඉන්දියාවේ බැංගලෝරය වගේ අපි හෝමාගම සිට මාලබේට අපි තාක්ෂණික පුවරයක් යෝජනා කර විශ්වවිද්‍යාල 4ක් එතනට ගෙනිහින් එම කි‍්‍රයාදාමය ආරම්භ කර තිබෙන්නේ.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වැනි ලෝකය විප්ලවකාරී ලෙස වෙනස් කරන්න පුළුවන් තාක්ෂණවේදීන් අප රටතුළින් බිහිකිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර තිබෙනවා. ඒ සඳහා මොකද්ද අවශ්‍ය ප‍්‍රථම කාරණය වන්නේ නිදහසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සාක්ෂාත් කර ගැනීමයි. 

නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිව රටවල් මිය යනවා, කැරළි වැඩිවෙනවා, අසහනය වැඩිදියුණුවෙනවා, රටෙන් මිනිසුන් එළියට යෑම මිස රට ගොඩනැගෙන්නේ නැහැ. නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ අපේක්‍ෂකයා දිනවා ඉදිරි වසර 05 ට අලූත්, තරුණ ආණ්ඩුවක් වගේම අනාගතය පිළිසිඳ දකින්න පුළුවන් ආණ්ඩුවක් ගොඩනැගීමට දායකවන ලෙස පවසා සිටියහ.

Recommended For You

About the Author: Editor