අද සජිත් ප්‍රේමදාස නොවෙයි නම් මොකක්ද විකල්පය – සජිත් ප්‍රේමදාස

රටට අවශ්‍ය ඉඩි අමින්ගේ යුගයක්ද, රොබට් මුගාබේගේ හෝ හිට්ලර්ගේ යුගයක්ද නැතිනම් රටට පූර්ණ මාධ්‍ය නිදහස ලබා දෙන අංග සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක්ද යන්න මාධ්‍යවේදින් ජනතාවට පෙන්වා දිය යුතුව ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (22) ප්‍රකාශ කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදියෝ සංවිධානය” විසින් සංවිධානය කළ උත්සවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේය. මෙම අවස්ථාවේදි යෝජනා මාලාවක් ද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දෙනු ලැබීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පදනමේ අද (22) පැවැති නව මාධ්‍ය හා ජනමාධ්‍ය ක්‍රියාකාරීන් හමුවේ කළ කතාව

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවුනු මාධ්‍යවේදි සංවිධානය අප වෙනුවෙන් දක්වන සහායට මාගේ කෘතඥතාව පළකරනවා. මාධ්‍ය ක්ෂේත්‍රය මම හඳුන්වන්නේ රටක් තිබෙන විධායකය, ව්‍යවස්ථාධායකය, අධිකරණය ගත්තහම ඒ සියල්ලටම මඟපෙන්වන කණ්ඩායමක් තමයි මාධ්‍ය කියන්නේ. ව්‍යවස්ථාදායකව රටක් ඉදිරියට ගෙන යන වැඩසටහන් ක්‍රියාත්මක කරන කොට රටේ සිදුවන ක්‍රියාකරම් පිළිබදව පොදු ජනතාවගේ ස්ථිරසාර භාරකරුවන් ලෙසයි මාධ්‍ය හදුන්වන්නේ.

දේශපාලන වශයෙන් ඉතාමත් සීරුවෙන් බලාගෙන සිටිනවා රාජ්‍ය ක්‍රියාකාරකම් හා සමාජයේ සිදුවන්නාවූ විවිධ ක්‍රියාකාරකම් ගැන. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍රය කරන්නාවූ කාර්යයභාරය ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ ක්‍රියාත්මක වන අතිවැදගත් වූ කාර්යභාරයක්.

තොරතුරු හෙළිදරව් කිරිම, පොදු ජනතාව දැනුම්වත් කිරිම, සත්‍ය ඉදිරිපත් කිරීම යනාදී කරුණු කාරණා දිහා බලනකොට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මාධ්‍ය ක්ෂේත්‍රය ඉතාම වැදගත් කාර්යභාරයක් සිදුකරනවා. ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජ සේවකයින් හැටියට අපි තවදුරටත් ඒ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නට ඕනේ. ඒ තුලින් රාජ්‍ය පාලනයක් තුළ තිබිය යුතු පාරිදෘෂ්‍ය භාවය, විනිවිදභාවය, වගකිම, වගවිම මේ යනාදි ගුණාංගයන් සියල්ලක්ම නිදහස් මාධ්‍යයක් හරහා ශක්තිමත් කරනවා.

නිදහස් මාධ්‍ය පිළිබදව මා සතුව තිබෙන්නේ ඉතාමත්ම ධනාත්මක ආකල්පයක්. මගේ දේශපාලන ගමන තුළ 1994 සිට මෙරට ජනමාධ්‍යයත් සමග මා ඉතාම සමීප සබඳතාවයක් ඇති කර ගත්තා. මේ කාලය තුළ මම ප්‍රකාශ කරනවා වෙනුවට මම කොයිවගේ ආකල්පයක සිටින, කොයිවගේ පුද්ගලයෙක්ද කියන කාරණය මාධ්‍යවේදින් දන්නවා.

නිදහස් මාධ්‍ය පිළිබද මා තුළ තිබෙන ධනාත්මක ආකල්පය ජයග්‍රහණයෙන් පසු නිදහස් මාධ්‍ය ඇති කිරිමට මා කැප වෙනවා. මගේ ක්‍රියා කලාපය තුල මෙතෙක් කල් ආ ගමන තුළ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනා දන්නවා කිසිම දිනක මාධ්‍ය හිංසන රටාවකට මා යොමු වෙලා නැති බව. මාධ්‍යයට බැන වදින තත්ත්වයකටවත් මා ඇවිත් නැහැ. මම හැමවිටම උත්සාහ කර තිබෙන්නේ මාධ්‍ය සමග මිත්‍රත්වයෙන් සුහදශීලිව කටයුතු කරමින් විවේචන එල්ලවිම ධනාත්මක දෙයක් ලෙස භාර ගෙන උතුම් මාධ්‍ය නිදහස සුරකින තැන ඉදගෙනයි මම මගේ දේශපාලන ජිවිතය ගත කරලා තියෙන්නේ.

ලබන 16 දායින් පසුව මට අවස්ථාව උදාවෙනවා මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දැවැන්ත ධනාත්මක කාර්යභාරයක් කරන්න. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන මාධ්‍යවේදින්ගේ මාධ්‍ය නිදහස තවදුරටත් ශක්තිමත් කරන්න. කිසි අවස්ථාවක නීතිමය රාමු නිර්මාණය කරමින් මාධ්‍ය නිදහසට ඇගිලි ගසන්නට මම කටයුතු කරන්නේ නැහැ. මාධ්‍ය ක්ෂේත්‍රයට රජයක් මැදිහත් වෙලා නියාමනයක් කිරිමට අවශ්‍ය නැහැ. නමුත් යම් කිසි ක්‍රමවේදයක් තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයේම ස්වයං නියාමනයකට යොමු වෙලා, සත්‍ය ඉදිරිපත් කරන ආයතන බවට පරිවර්තනය වීම ඉතාම වැදගත්. රජයක් මාධ්‍ය නිදහසට ඇගිලි ගහලා නීති රාමු නිර්මාණය කරනවා කියන්නේ නීතිය කොතනින් පටන් ගෙන කොතනින් අවසන් වේද කියන භායනක තත්ත්වයක් නිර්මාණය වීමයි.

පූර්ණ මාධ්‍ය නිදහස විශ්වාස කරන පුද්ගලයෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රය තුළම ස්වයං නියාමනයකට යොමු වීම ඉතාම සුදුසු බව තමයි මගේ අදහස.

ජාත්‍යන්තර තලයේ මාධ්‍ය පුහුණු සම්පත් මධ්‍යස්ථානයක් ඇති කර රට අභ්‍යන්තරයේ මාධ්‍ය ක්ෂේත්‍රයටත්, කුසලතාවයන් තිබෙන මාධ්‍ය ක්ෂේත්‍රයේ පිටරැටියන්ටත් මෙරට මාධ්‍යවේදින් සමග ඉතාමත් සමීව වෘත්තිය සබදතාවයක් ඇති කර ඒකාබද්ධ වැඩපිළිවෙලක් තුළ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශස්ත භාවය ඉතා ඉහල තැනකට ගේන්නට මාධ්‍ය සම්පත් පුහුණු මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.

මේ තුලින් නව තාක්ෂණ ක්ෂේත්‍රයේ, ඩිජිටත් තාක්ෂණ ක්ෂේත්‍රයේ, නව පරිගණක විද්‍යා ක්‍රමෝපය ක්ෂේත්‍රයේ නවීන මාදිලියේ පුහුණු වැඩසටහන් අපේ රටේ සියලු මාධ්‍ය ක්ෂේත්‍රයන්ට මෙන්ම ප්‍රදේශිය මාධ්‍ය ක්ෂේත්‍රයන්ටද ලබාදීලා මාධ්‍ය ක්ෂේත්‍රයේ කුසලතාවය නිපුණත්වය වර්ධනය කරන්න අපි අදහස් කරනවා. ඒ වගේම අපේ මාධ්‍ය සහොදර සහෝදරියන් හමුවෙන කොට මාධ්‍යවේදින්ගේ සුබසාධන ප්‍රශ්න අහන්න ලැබෙනවා. බොහෝ දෙනෙකුට තමන්ගේම කියලා ඉඩමක් නැහැ. තමන්ගේම කියලා නිවසක් නැහැ. මම දැනටමත් අභියෝග රැසක් මධ්‍ය ගම්මාන වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඉදිරියේදි මාධ්‍යවේදින්ගේ ඉඩම් හා නිවාස ප්‍රශ්නය විසදන්න ජනාධිපති ලෙස මා මැදිහත් වෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරි සියලු දෙනාගේ සමාජ ආරක්ෂණය ගැන මා අවධනය යොමු කරලා තියෙනවා. මාධ්‍ය ආයතනවල ස්ථිර සේවයේ නොමැති අර්ධකාලීනව වැඩකරන මධ්‍යවේදින්ට තිරසර සමාජ ආරක්ෂන ක්‍රමවේදයත් අත්‍යවශ්‍ය බව මා සිතනවා.

ප්‍රාදේශිය මාධ්‍යවේදින්ගේ හා නිදහස් මාධ්‍යවේදින්ගේ වෘත්තිය ආරක්ෂාව තහවුරු කිරීම වැදගත් දෙයක්. මගේ අවධානය මේ වෙනුවෙන් යොමු කරලා ඒ අයිතියත් ඒ ශක්තියත් මාධ්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන්න මා කටයුතු කරනවා.

“දිනු නිදහස රැක ගනිමු ඒකාධිපතිත්තවයට වැට බදිමුයැයි” මේ සම්මන්ත්‍රණයේ තවත් එක් මාතෘකාවක්.  මාධ්‍යවේදින් හමුවේ ඉතා වැදගත් කාරණයක් තිබෙනවා. මේ මැතිවරණයේ මගේ ප්‍රධාන ප්‍රතිවාදියාගේ පසුගිය කාලයේ ක්‍රියාකලාපයත් 1994 සිට අද දක්වා දේශපාලඥයෙන් හැටියට සජිත් ප්‍රේමදාස කටයුතු කළ ආකරයත් කිරිලා මැනලා බලන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. හර බැර සියල්ලකම් තීන්දු කිරීම මාධ්‍යයට බාරයි.

මගේ දේශපාලන ගමන තුළ ෆැසිස්ට්වාදය අනුගමනය කරන හිට්ලර් කෙනෙක් වෙන්නට කටයුතු කර නැහැ. මම කිසි දවසක ඉඩි අමින් කෙනෙක්වත්, රොබට් මුගාබේ කෙනෙක් වෙන්නවත් කටයුතු කරලා නැහැ. ඒක මුළු මාධ්‍ය ක්ෂේත්‍රයම දන්නවා. අද සජිත් ප්‍රේමදාස නොවෙයි නම් මොකක්ද විකල්පය. විකල්පය ගැන හිතනකොට එක්නැලිගොඩ මහතා ගැන මතක් වෙන්නේ නැද්ද? උපාලි තෙන්නකෝන් මහත්තයා මතක් වෙන්නේ නැද්ද? ලසන්ත වික්‍රමතුංග මැතිතුමාට කීත් නොයාර් මහත්තයට අත් වූ ඉරණම මතක් වෙන්නේ නැද්ද? පෝද්දල ජයන්ත වගේම උතුරේ බොහෝ මාධ්‍යවේදින්ට සිදුවු දේ ගැන අමුතුවෙන් කතා කළ යුතු නැහැ.

මාධ්‍යවේදින් කියන්නේ බුද්ධිමත් ජන පරපුරක්. දේශපාලනඥයන්ටත් රටටත් ජනතාවටත් පාඩම් උගන්වන පරපුරක්, මාධ්‍යවේදින් කියන්නේ. අමුතුවෙන් ඉගැන්වීමට දෙයක් නැහැ. දැන් මාධ්‍යවේදින් තරාදියක දාලා කිරලා මැනලා තිරණය කළ යුතුයි මොකක්ද විසදුම කියලා. . රටේ ජනතාවට මග පෙන්වන කණ්ඩායමක් ලෙස ඔබ තිරණය කළ යුතුයි රටට අවශ්‍ය ඉඩි අමින්ගේ යුගයක්ද, රොබට් මුගාබේගේ හෝ හිට්ලර්ගේ යුගයක්ද නැතිනම් රටට පූර්ණ මාධ්‍ය නිදහස ලබා දෙන අංග සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියලා. තීන්දුව තිබෙන්නේ මාධ්‍යවේදින් අතයි.

අවසානයේ මාධ්‍යයට ගන්න තිබෙන පියවර වන්නේ ඒකාධිපති මිලිටරි ආණ්ඩුවක්ද ඕනේ නැතිනම් පූර්ණ නිදහස තිබෙන සිවිල් ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමවේදයක්ද ඕනේ කියන තීන්දුවයි. මාධ්‍ය නිදහස වගේම මාධ්‍යවේදින්ගේ සුබසාධන අයිතින් වෙනුවෙන් මා හැම විටම පෙනි සිටිනවා පමණක් නොව 16 දායින් පසුව මට ලැබෙන රාජ්‍ය බලය කියන හස්තය මානව හිතවාදීව, ජනතාවාදීව, ප්‍රගතිශිලිව, පොදුජන හිතකාමිව උපයෝගි කරගෙන මෙරට පොදු ජනතාවත් අප මාතෘභුමියත් ජයග්‍රහණය කරවන්න මා ඇප කැප වෙනවා.

Recommended For You

About the Author: Editor