පාඩම් කිරීමේ හා ‘මතක තබා ගැනීමේ’ වඩාත් ඵලදායී ක්‍රම

මනෝ වෛද්‍ය, මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ

අ. පො. ස. (සා. පෙ.) විභාගයට තව ඇත්තේ සීමිත දින ගණනකි. දිනය ළං වන විට ඇතැම් විභාග අපේක්ෂකයෝ නොසන්සුන් වෙති. කලබලේ පාඩම් පොත් ගොඩගසා ගෙන පිළිවෙළක් නැතිව, වෙලාවක් කලාවක් නැතිව පාඩම් කිරීමට පෙලඹෙති.

මෙසේ විභාගය අත ළඟ තිබී හඳිසියේ, කඩිමුඩියේ සූදානම් වීමට යාමේ දී, සිත නො සන්සුන් වීම ස්වභාවික ය. එහිදී, කලබලකාරී චිත්ත ස්වභාවයෙන් මිදීම අත්‍යවශ්‍ය ය. සන්සුන්ව හා තැන්පත්ව විභාගයට මුහුණ දීම සඳහා, කල්තියා සූදානම් වී තිබීම අත්‍යාවශ්‍ය ය.

පාඩම් කිරීමේ හා මතක තබා ගැනීමේ වඩාත් ඵලදායී ක්‍රමය, පහත දැක්වෙන පැහැදිලි කිරීමෙන් ඔබට අවබෝධ කර ගත හැකි ය.

යම් අධ්‍යයනයක් කිරීම පිළිබඳ සැලකීමේ දී “අධ්‍යයන පිරමීඩය” (Learning pyramid) නැතහොත් “ඉගෙනුම් පිරමීඩය” වැදගත් වේ. මෙහි ඉහළ සිට පහළට, තමාගේ මතක ශක්තිය වර්ධනය පිළිබඳ සැලකිය යුතු වැදගත් අවබෝධයක් ලබා දෙයි.

පිරමීඩයේ ඉහළින් හඳුනාගත හැකි වන්නේ දේශනවලින් දැනුම ලැබී ගබඩා වීම පිළිබඳ තත්ත්වයයි. ගුරුවරයෙකු හෝ දේශකයෙකු දේශනයක් කරන විලාසයෙන් යම් දෙයක් ඉදිරිපත් කරන විට එය අසා සිටින ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව උකහා ගන්නා ප්‍රමාණය ඉන් 5%කි. එනම් අධ්‍යයනය කරන තැනැත්තාගේ මතක ගබඩාවේ තැන්පත් වන්නේ, දේශනයෙන් ඉදිරිපත් කරන දැනුමෙන් 5%ක පමණකි.

කියවීම මඟින්, මේ තත්ත්වයට වඩා වැඩි, එනම් දෙගුණයක මතක ශක්තියක් ලැබෙන බව සොයා ගෙන තිබේ. ආසන්න වශයෙන් එය 10%කි. එසේ ම මේ තත්ත්වය දෙගුණයකින් වැඩි කර ගැනීමට ඇසීම සහ ඇසින් කියවීම (Audio – Visual) යන ක්‍රම දෙක මඟින් ම පුළුවනි. එම තත්ත්වයේ දී, දැනුම ගබඩාවේ මතකය 20%කි. ඊළඟ අවස්ථාව, යමක් පැහැදිළි කර දැක්වීමේ දී, මතකය ඒ සම්බන්ධයෙන් 30%කින් ඉහළ නංවයි.

මේ ක්‍රමයට ඉගෙනීමේ කටයුතු කරන්නාට, තම මතක ශක්තිය, දේශනයකින් ලබා ගන්නා මතකය මෙන් 6 ගුණයකින් වැඩි ය. එබැවින් ගුරුවරු තම ඉගැන්වීම් කටයුතුවල දී මේ Demonstration ක්‍රමය අනුගමනය කිරීම වඩාත් ඵලදායී වේ. ඒ අනුව ගුරුවරයා ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිර්මාණය කරමින් සහ ඒවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වහා වටහාගත හැකි අයුරින් ක්‍රියාකාරකම් සමඟ නිරූපණය කිරීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මතක ශක්තිය 30%කින් ඉහළ නැංවීමට හේතු වේ. ගුරුවරයා ක්‍රියාකාරකම් සමඟ ශිෂ්‍යයා වෙත දැනුම ලබා දීම සාර්ථක ඉගැන්වීමේ ක්‍රමවේදයක් බැවින්, මෙය ලොව පුරා රටවල ගුරු පුහුණුවේ දී භාවිත කෙරේ.

ඉහත සඳහන් කළ සියලු ම ක්‍රම, ශිෂ්‍යයා අක්‍රීය, උදාසීන (Passive) ලෙස තබා ගනිමින් ගුරුවරයාග සක්‍රීය (active) කරන ක්‍රම බව පැහැදිළි ය. ඉහත දක්වා ඇති ක්‍රම හතරම, එනම් දේශන (Lecture), කියවීම (Reading), ඇසීම හා ඇසින් කියවීම (Audio – Visual) යන ක්‍රම හතර මඟින් ශිෂ්‍යයාට දැනුම සම්ප්‍රේෂණය කරන්නේ, ශ්‍රව්‍ය හා දෘශ්‍ය (Audio – Visual) යන මාධ්‍ය දෙක භාවිත කරමිනි. එහෙත්, සොයාගෙන ඇති ආකාරයට ශිෂ්‍යයා අධ්‍යයන කටයුතු සඳහා වඩාත් සක්‍රීය (active) දායකත්වයක් ලබා දීම සඳහා සකච්ඡාව (Discussion), ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීම (Practices doing) සහ අන් අයට ඉගැන්වීම, කියා දීම, පැහැදිලි කර දීම (Teaching Others) ඉතා ඵලදායී ක්‍රමවේද බව අධ්‍යයන මඟින් තහවුරු වී තිබේ.

සාකච්ඡා (Discussion) කිරීම මඟින් 50% ක පමණ මතකයේ ගබඩා වීමක් සිදු වේ. එහෙත්, මෙහි දී සාකච්ඡාවට සහභාගී වන කණ්ඩායමේ සියලු දෙනා ම, අදාළ කාරණය සම්බන්ධව හැකි තරම් තොරතුරු සොයා ගෙන, කරුණු කාරණා එක් රැස් කර ගෙන සූදානම් වී සිටීම අත්‍යවශ්‍ය ය. එසේ නැතහොත් දැනුම, තොරතුරු රැස් කර නො ගත් අයට සිදු වන්නේ, අන් අය කියන දෙය අසා සිටීමට ය.

තමන්ගේ සක්‍රීය දායකත්වයක් එහි දී නැත. එවිට එම සාකච්ඡාවේ ප්‍රතිඵල සාර්ථක නැත. එබැවින් සැමගේම පූර්ව සූදානම අතිශය වැදගත් ය. එසේ කිරීමේ දී කණ්ඩායමේ සියල්ලන්ටම සැලකිය යුතු තරම් ප්‍රතිලාභ ලැබේ. සාකච්ඡා ක්‍රමයේ දී 50%ක තරම් මතක ශක්තියේ වර්ධනයක් ළඟාකර ගත හැකි ය.

ක්‍රියාකාරකම් සමඟ අධ්‍යයන කිරීම මඟින්, ඉහත සියලු අධ්‍යයන ක්‍රමවේදවලට වඩා ශිෂ්‍යයාට ප්‍රතිලාභ ලැබෙන බව, අධ්‍යයන මඟින් හඳුනාගෙන තිබේ. ක්‍රියාකාරකම් සමඟ අධ්‍යයන කටයුතු කිරීමේ දී, ශිෂ්‍යයාට තම මතක ශක්තිය 75% දක්වා වර්ධනය කර ගත හැකි ය. ක්‍රියාකාරකම් සමඟ ශිෂ්‍යයා එම අධ්‍යයන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරයි. ඔහු ඒ සඳහා සහභාගී වන්නේ විශේෂ අවධානයකින් යුක්තව ය. එබැවින් තර්කානුකූල පදනම මත දැනුම ස්ථාවරව තැන්පත් කර ගැනීමක් සිදු වේ. එනිසා, ශිෂ්‍යයා සමඟ ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරමින්, හැඟීමකින් යුතුව අධ්‍යයන කටයුතු කිරීම නිසා, මනා ඵලදායීතාවකින් යුතුව දැනුම තැන්පත් කර ගත හරකි ය. මෙය, සාර්ථක ක්‍රමවේදයක් බවට හඳුනා ගත හැකි ය.

යම් ශිෂ්‍යයකුට තමා උකහා ගත් දැනුම නිවැරැදි ලෙස අවබෝධ කරගෙන, ඉහත දැක්වූ සියලු ක්‍රමවේද අභිබවමින්, නැවත එය තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගැන්වීමේ ක්‍රමය ඉතා ම ඵලදායී සහ මතක ශක්තිය තැන්පත් කර ගත හැකි ක්‍රමවේදයකි. අප සාකච්ඡා කළ සාකච්ඡාව (Discussion), පුහුණුව හා භාවිතය (practice doing) සහ අන් අයට ඉගැන්වීම, කියාදීම (teaching others) ඉතාමත් වැදගත් වන්නේ, එහි දී ශ්‍රව්‍ය දෘශ්‍යවලට අමතරව කාය චලන සන්නිවේදන ක්‍රමය (kin esthetic) යන ක්‍රමවේද තුනම සහසම්බන්ධව, ශිෂ්‍යයන් තුළ දැනුම තැන්පත් වීම සහ මතක ශක්තිය වර්ධනය වීම නිසයි.

එබැවින් අධ්‍යයන පිරමීඩය පිළිබඳ නිසි අවබෝධ‍යක් ලබා ගැනීම මඟින්, වඩා සාර්ථක සහ ඵලදායී අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යයා යොමු කර ගැනීමට පුළුවන.

Recommended For You

About the Author: Editor