සංසාරේ එපා කරවන ‘පීනසය’ නිට්ඨාවට සුවකර ගනිමුද ?

වර්තමානයේ අතිධාවනකාරී මෙන්ම තරගකාරී ජීවන රටාව හේතුවෙන් පීනස, ඇදුම ආදී සෙම් රෝගවලට බහුල වශයෙන් ගොදුරු වන පාසල් සිසුන් ද බොහෝය. එහෙයින් අතීතයට වඩා වර්තමානයේ පීනස් රෝගයෙන් බොහෝ දෙනා පීඩා විඳිනු දක්නට ලැබේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පීනස් රෝගය යනු, නාසාගත හෙවත් නාසය ඇසුරු කරන්නාවූ රෝගයකි. නාසය ඇසුරු කරන්නාවූ රෝග 31 කි. එයින් ප්‍රධානතම රෝගය වන්නේ පීනසයි.

කිසිදු වයස් බේදයකින් තොරව බාල, තරුණ, මහලු යන ඕනෑම වයසකදී ඇතිවිය හැකි රෝගයකි. මෙය රෝගියා අධික ලෙස පීඩාවට පත් කරවයි. දවසේ ඕනෑම වේලාවකදී රෝග ලක්‍ෂණ පහළ වන අතර කාලගුණයේ වෙනස්වීම්, පරිසරයේ වෙනස්කම් සහ දූවිලි සහිත පරිසරය රෝගියාගේ රෝග ලක්‍ෂණ වැඩි කිරීමට සමත් වෙයි.

පීනස් රෝග හැඳින්වීම සඳහා නම් කිහිපයක් භාවිතා කරයි. ඒවා නම්,අපීනස, දුෂ්ඨ ප්‍රතිෂ්‍යාව, නාසිකාමය, ජීර්ණ නාසා කාල ශෝථය යනුවෙනි. පීනස් රෝගය ඇසුරු කරන්නේ නාසයයි.

නාසය ආශ්‍රය කළ පමණින් රෝග ලක්‍ෂණ නාසය තුළ පමණක් පහළ නොවේ. පීනස් රෝගයේදී උගුර, කන, නාසය, මුඛය, විදුරුමස, ඇස, දිව, තොල්, පපුව, උදරය, මුහුණ හිස යන සෑම ස්ථානයෙන්ම රෝග ලක්‍ෂණ පහල වෙයි.

පීනස් රෝගය ඇති වීමට හේතු

අතීතයට වඩා වර්තමානයේ පීනස් රෝගය බොහෝ සේ ව්‍යාප්ත වී ඇත. පීනස් රෝගය ඇති වීමට මූලික හේතු 2 කි.
1. ඍජු හේතු
2 වක්‍ර හේතු

1. ඍජු හේතු – ඍජු හේතූන් ලෙස දැක්වෙන්නේ දෛනික ජීවිතයේදී පීනස් රෝගය ඇතිවීම සඳහා බලපාන ප්‍රධානතම හේතූන්ය. ඒවා නම්,
* නාස්පුඩු තුළට දුම්, දූවිලි පිවිසීම
* ඍතු විපර්යාස
* නිතරම අධික ලෙස සීත ජලය ස්නානය කිරීම
* නිදි වැරීම සහ දහවල් නිදා ගැනීම
* අධික ලෙස සිසිල් ජලය පානය කිරීම
* අධික තෙතමනය හා පින්නට හසු වීම
* නිතරම වායුසමීකරණය කළ ස්ථානවල වාසය කිරීම
* කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම
* හිසේ ආලේප කරන ඇතැම් කෘතිම ආලේපන වර්ග
* වෛද්‍ය උපදෙස්වලින් තොරව ඇතැම් ඖෂධ වර්ග භාවිතා කිරීම
* නිරන්තරයෙන් දුම් පානය හා මත්පැන් පානය කිරීම
* දීර්ඝ කාලයක් සෙම්ප්‍රතිශ්‍යාව පැවතීම හා එයට ප්‍රතිකාර නොකිරීම.
* ඇදුම රෝගයෙන් පෙලීම
* වැටීම් හා තැලීම් මගින් හිස තුවාල වීම යන ඒවාය.

2. වක්‍ර හේතු – පීනස් රෝගය ඇති වීමට බලපාන ප්‍රධාන හේතූන්ට සහය දක්වන හේතූන් වක්‍ර හේතු ලෙස හඳුන්වයි. වක්‍ර හේතූන් දීර්ඝ කාලයක් සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පීණස් රෝගය ඇතිවෙයි.
* මළ මුත්‍ර වේග බොහෝ වේලා දරාගෙන සිටීම
* කඳුළු වේග දැරීම
* අධිකව හැඬීම
* අධිකව කථා කිරීම

පීනස් රෝගයෙහි ලක්ෂණ

Model.

01.) නිරන්තරයෙන් ම අධිකව කිවිසුම් යාම – විශේෂයෙන් ම පීනස් රෝගීන්ට උදෑසන කාලයේ අධිකව කිවිසුම් යාම පවතින අතර, නින්දෙන් අවදි වූ සැනින් කිවිසුම් යාම ආරම්භ වේ. ඇතැම් විට උදෑසනින් කිවිසුම් යාම ආරම්භ වී දහවල් වනතුරුම කිවිසුම් යාම පවතී. මෙයට අමතරව පරිසරයේ ක්ෂණික වෙනස්වීම් හා දුම්, දූවිලි, මකුළු දැල් කැඩීම ආදිය කළ විට දවස පුරාම කිවිසුම් යාම පවතී.

02.) සොටු දියර ගැලීම – පීනස් රෝගීන්ට කිවිසුම් කිහිපයක් යාම ආරම්භ වීමත් සමඟම නාසයෙන් ජලය මෙන් හෝ ඝණ කහ පැහැති සොටු දියර ගැලීම ආරම්භ වෙයි. කෙතෙක් සොටු පිස දැමීම සිදු කළත් නිරන්තරයෙන් ජලය සේ සොටු ගැලීම පවතියි.

03.) ගඳ සුවඳ නොදැනීම – පීනස් රෝගයෙන් දීර්ඝ කාලයක් පීඩා විඳින රෝගීන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැත. විශේෂයෙන් ගඳ සුවඳ සඳහා සංවේදී ස්නායුන් අක්‍රිය වීම සිදු වන්නේ දීර්ඝ කාලයක් පීනස් රෝගය තිබීම හේතුවෙනි.

04.) රස නොදැනීම – දීර්ඝ කාලීන පීනස් රෝගීන්ට ගන්නා ආහාර වල රස දැනීම අඩුය.

05.) හිසේ බර බව නිතර දැනීම – පීනස් රෝගීන්ට නළල ප්‍රදේශයේ කැක්කුම, ඇස් යට කැක්කුම, ඇස් කැසීම, කන් කැසීම, උදේ පාන්දර හිසේ බර බව ආදිය නිතර නිතර පවතී. තවද උදේ සහ රාත්‍රී උගුර කැසීම ආදිය උග්‍ර සෙම් අවස්ථාවල දී දැකිය හැකිය.

06.) විදුරුමස් වලින් ලේ ගැලීම – පීනස් රෝගය දීර්ඝ කාලීනව පීඩා විඳීමේදී විදුරුමසෙන් ලේ ගැලීම පවතින අතර, කාලයත් සමඟ දත් සෙලවීම, දත් මුල් දියවීම සහ මුඛයේ දුර්ගන්ධය පැවතීම ද සිදුවේ.

07.) අකලට හිසකෙස් සුදු පැහැ ගැන්වීම – පීනස් රෝගය කාලයක් පැවතීමෙන් හිස කෙස් සුදු පැහැ ගැන්වෙයි. තවද කෙස් ගැලවී යාම සිදුවන අතර තට්ටය පෑදීම සිදුවෙයි. තවද හිසකෙස් අකලට සුදු පැහැ ගැන්වෙන්නේ පීනස් රෝගයේ දී පමණක් ම නොවන අතර වෙනත් රෝග අවස්ථාවන්හිදී ද හිස කෙස් සුදු පැහැ ගැන්වෙයි.

08.) නාසයෙන් මස් දළු හට ගැනීම – මෙම රෝගය කලක් පවතින රෝගීන්ගේ නාසයේ මස් දළු හටගැනීම සිදු වෙයි. නාස් කුහරයේ එක පැත්තක හෝ දෙපැත්තෙම වර්ධනය වන්නා වූ ආගන්තුක අංකුරය හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුව, නාස් කුහරයේ හිර වීම, දැවිල්ල ආදිය ඇතිවේ.

09.) කටහඬ වෙනස් වීම – රෝගියාගේ කටහඬ වෙනස් වීම දැකිය හැකි අතර උගුර බරැන්ඩිගතිය, සෙම පැටලෙන බව සහ කථා කිරීමේ දී අපහසුතාවය ඇතිවේ.

10.) නාසයෙන් ලේ ගැලීම සිදු වීම – පීනස් රෝගයේ ඇතැම් රෝග ප්‍රභේද වලදී නාසයෙන් ලේ ගැලීම සිදුවේ. නාසයෙන් වරින් වර හෝ දවස පුරා හෝ සති කීපයකට වරක් ලේ ගැලීම පැවතිය හැකි අතර එම අවස්ථා විශේෂ අවස්ථාවකි. නමුත් නාසයෙන් ලේ ගැලීම රෝග විශාල සංඛ්‍යාවක දී සිදුවන අතර ලේ ගැලීම ඇති වූ සැනින් එය පීනස් රෝගය ලෙස වරදවා තේරුම් නොගත යුතුය.

ආයුර්වේදයට අනුව ප්‍රභේද :

පීනස ආයුර්වේදයට අනුව ප්‍රභේද 5 කි.
1.) වාතජ පීනස
2.) පිත්තජ පීනස
3.) කඵජ පීනස
4.) සන්නිපාතජ පීනස
5.) රක්තජ පීනස

1.) වාතජ පීනස – මෙය වාතය ප්‍රධාන කොට ඇති වෙයි. මෙහිදී අධිකව කිවිසුම් යාම, කථාව ගොත වීම, හිසරදය, නාසයෙන් සොටු දියර ගැලීම, නාසය තුළ ඉදිකටු අනින්නාක් බඳු වේදනාව ආදී ලක්ෂණ ඇතිවේ.

2.) පිත්තජ පීනස – මෙය පිත ප්‍රධාන වීමෙන් ඇතිවේ. මෙහිදී මුඛ්‍ය වියළීම, නිතර පිපාසය, රතු පාට හෝ කහ පාට සොටු දියර ගැලීම, නිතර උණ ඇති වීම, නාසයේ අග පැස වීම, කිවිසුම් යාම පවතී.

3.) කඵජ පීනස – මෙය සෙම ප්‍රධානව ඇතිවේ. මෙහිදී නිතර කැස්ස, ආහාර අරුචිය, නාසයේ බර බව හා සොටු දියර ගැලීම, කිවිසුම් යෑමේදී අධික දුගඳක් හැමීම, ඇස්, කන්, උගුර කැසීම විදුරුමස් වලින් ලේ ගැලීම, කට ගඳ ගැසීම, ආදිය ඇතිවේ.

4.) සන්නිපාතජ පීනස – මෙහිදී වාත, පිත්ත, කඵ යන අවස්ථා තුනෙහිම රෝග ලක්ෂණයන් පවතී. ඊට අමතරව නාසයෙන් දුගඳ වායුව බැහැර වීම නාසයේ පිරුණු බව දැනීම, නිතර නිතර කිවිසුම් යාම, නාසයේ තෙත බව ආදී ලක්ෂණ මතුවේ.

5.) රක්තජ පීනස – මෙහිදී නාසයේ ලේ ගැලීම, හිසරදය, නාසයේ බර බව, ඇස් රතු වීම, කන් කැසීම, නාසයේ දැවිල්ල ආදී රෝග ලක්ෂණ පහළ වෙයි.

පීනස රෝගයේදී රුධිරයේ සුදු රුධිරාණු විශේෂයක් වන ඉයොසිනෝෆීල් වල සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීමක් දක්නට ලැබේ. මෙම තත්ත්වයට ක්‍රමානුකූලව ප්‍රතිකාර ගැනීම හා හිතකර ආහාර විධි නොසලකා හැරීම හෝ නිසි ප්‍රතිකාර නොකිරීම නිසා පසුකාලීනව ඇදුම, ක්ෂය රෝගය, නියුමෝනියාව වැනි දරුණු උපද්‍රව තත්ත්ව ඇති විය හැකිය.

පීනස් රෝග ප්‍රතිකාර

අවස්ථානුකූලව නස්‍ය හා වමන, විරේචන වැනි විවිධ පංච කර්ම ප්‍රතිකාර ක්‍රම යෝග්‍යය. එසේම කෂාය වර්ග, විවිධ නිශ්පාදිත ඖෂධ වර්ග, තෙල් වර්ග නාසයට ඉරීමට ද, නාසයට ඉරීමට සුදුසු විවිධ කුඩු වර්ග ආයුර්වේදයේ පවතී.

පීනස් රෝගයට හිතකර ආහාර:

ගොටුකොළ, කතුරුමුරුංගා, රතුළුෑණු, වැල්තිබ්බටු, කොහිල අල, අමු ඉඟුරු, තලනබටු

පීනස් රෝගයට අහිතකර ආහාර පාන

පිපිඤ්ඤා, නිවිති, බණ්ඩක්කා, කොමඩු, පුහුල්, මෑකරල්, තැඹිලි, මී කිරි, තක්කාලි, අන්නාසි, අච්චාරු, සැමන්, ඉස්සන්, අයිස්ක්‍රීම්, යෝගට්, ශීතකරන ලද බීම

ආයුර්වේද වෛද්‍යාචාරිණී
එච්. ඖෂධී රාජපක්ෂ
ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව,
නො: 726, නුවර පාර, තොරණ හංදිය,
කැලණිය

Recommended For You

About the Author: Editor