සජිත් ජනපති වු පසු තනි සිගරුට්ටුවට තහනමක් – සෞඛ්‍ය ඇමැති රාජිතගෙන් පොරොන්දුවක්

සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වු විගස තම ප්‍රථම රාජකාරිය ලෙස තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරීමට අව්‍යශ නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතුව පිහිටුවන නව රජයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිදු විය යුතු ප්‍රවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාත් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් සමඟ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

කොළඔ වෝටර්ස් ඒජ් හෝටලයෙහි ඊයේ (21) දින පැවති මෙම සාකච්ජාවේදී වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ දුම්කොළ පාලනය පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතියට අනුව මේ වනවිට එහි සම්මුතීන් 22 න් 21 ක් අප රට ක්‍රියාත්මක කර  ඇති බවත්, අවසන් සම්මුතිය වන තනි දුම්වැටිය විකිණීම තහනම් කිරිම පිළිබද සම්මුතිය ක්‍රියාත්මක කිරිමට අදාලව තමන් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද ඊට මහා භාණ්ඩාගාරයෙන් විරුද්ධත්වය පළ කළ බවයි.

දුම්කොළ සම්බන්ධයෙන් තමන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට ලැබෙන විශාල බදු ආදායමක් අහිමි වන බැවින් සහ තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීම නිසා තවත්  බදු ආදායම් රජයට අහිමි වන බැවින් ඔවුන් ඊට විරුද්ධත්වය පළ කරන ලද බව  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දුම්වැටි පාලනය කිරිමට තමන් ගන්නා ඉහත ක්‍රියාමාර්ග හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ දුම්කොළ පාලනය පිළිබද  ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ  යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ඉතිහාසයේ කිසිදු රජයක් විසින් ක්‍රියාත්මක නොකළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ගුණාත්මක හා කඩිනම් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට විශාල වැඩකොටසක් සිදු කළ බවයි.

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් ඖෂධ මිල අඩු කිරිම, ගුණාත්මකභවින් ඉහළ අක්ෂි කාච සහ ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, රුධිර පරික්ෂණ කටයුතු රෝහල්වල ම සිදුකිරිමට පියවර ගැනීම. හෘද, අත්, පා, වකුගඩු, ඇටමිදුලු ආදී බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කරිම, පිළිකා රෝගී ප්‍රතිකාර සීමාවන් ඉවත් කර ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර සිදුකිරිම සහ අධික මිල ගණන් යටතේ පැවැති පිළිකා ඖෂධ මිල පාලනය කිරීම, වකුගඩු රෝග නිවාරණය පියවර ගැනීම සහ වකුගඩු රෝගීන් සදහා අවශ්‍ය රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර ලබාදීම, ශ්‍රවණාබාධිත දරුවන් සදහා අවශ්‍ය උපකරණ නොමිලේ ලබාදීම, හිඟයකින් තොරව රෝහල්වලට ඖෂ‍ධ ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීම, දුම්කොළ සහ මධ්‍යසාර පාලනයට පියවර ගැනීම ආදිය පෙන්වා දුන් අතර, රෝහල්වල භෞතික සම්පත් ඉහළ නංවමින් සංවර්ධන වැඩසටහන් රාශ්‍රියක් ද ක්‍රියාත්ම කොට ඇති බවද පෙන්වා දෙන ලදි. එමෙන්ම සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල ඉහළ නංවමින් රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාම සදහා මානව සම්පත ඉහළ නැංවීමට ද පියවර ගත් අයුරු මෙහිදී සංවාදයට ලක් විය.

ඉතිහාසයේ කිසිදු රජයක් විසින් ක්‍රියාත්මක නොකළ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ගන්නා ලද එම ක්‍රියාමාර්ග ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද පැසසුමට ලක් වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

Recommended For You

About the Author: Editor