ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය ‘දරුවන්ට’ හානිකරන හැටි

විවාහ දිවියේ මිහිරිතම මෙන්ම විශාලතම බලාපොරොත්තුව වෙන්නෙ දරු සම්පතයි. දරුවෙකු බිහිකල දින සිට මවක් හා පියෙක් දරුවාගේ සියලු අවශ්‍යතා සපුරාලීමට නොගන්නා උත්සාහයක් නැහැ. එහෙත් දරුවෙකු හදාවඩා ගැනීම නම් අවශ්‍යතා සැපයීම පමණක් ලෙස ඔබ සිතනවාද? එය කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

හා පැටවෙකුටත් වඩා අවිහිංසකව උපදින දරු පැටවෙකු දවසින් දවස වැඩෙන්නේ තමන් අවට ලෝකය පාඩම් පොතක් කියවනවාක් මෙන් අධ්‍යනය කරමිනි. වැඩිහිටි ඔබ නොදන්නවා උනාට දරුවෙකුට, වැඩිහිටියෙකුගේ සෑම කතාවක්ම, ක්‍රියාකාරකමක්ම අනුකරනය කිරීමට ගත වෙන්නේ ඇසිපිය ගසනවාටත් වඩා සුළු කාලයකි. වැඩිහිටියන් සැර කිරීම උපක්‍රමයක් ලෙසින් යොදා ගන්නා විට දරුවාද එය ආදර්ශයට ගනී. පසුකාලයේ ප්‍රචණ්ඩත්වයට පත්වන්නන්ගෙන් 85% ක්ම ළමාවියේදී ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන්නන් බව තහවුරුවී තිබේ.

දරුවන් ඉදිරියේ දබර වීම, ගුටි බැට හුවමාරු කර ගැනීම මව්පියන් කරන විශාල වැරැද්දකි. කුඩා වියේදී එවන් අත්දැකීම් ලබන දරුවා වැඩිහිටි වියේදී සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.

පරම්පරාගත රෝග මෙන් ප්‍රචණ්ඩත්වයද බොහෝවිට පරපුරෙන් පරපුරට දායාද වන්නකි.

ප්‍රචණ්ඩකාරී පරිපරයක ජීවත්වන දරුවෙකු කායික, මානසික ගැටළු රාශියකට මුහුණ පායි. ගොත ගැසීම, අනිසි බිය ,පාළුව, තනිකම, ආත්මවිශ්වාසයක් නොමැතිකම, ලැජ්ජාව, නිදාගැනීමේ ගැටළු, ඉගෙනගැනීමේ ගැටළු, කෝපය, අන් අයට හිංසා කිරීම, විෂාදය..එවැනි දරුවෙක් මුහුණපාන්නට වෙන අමිහිරි අත්දැකීම් කිහිපයකි.

ගෙයි ගිනි පිටට දෙන්න එපා යන්න වගේම ගෙයි ගිනි ගෙතුළවත් ඇවිලීමට ඉඩනොදී සිටින්න මව්පියන් වන ඔබේ වගකීමයි. මවුපිය ප්‍රශ්න දරුවන්ට ප්‍රශ්නයක් නොවිය යුතු ය.

මවුපියන් දූ දරුවන්ට ආදර්ශයක් විය යුතු සේම ඔවුන්ට හුරුපුරුදු කළ යුතු ගුණාංගයන් කීපයන්ද තිබේ. එනම්,

සමාජ අධිවේගී ජීවන රටාවකට හුරුවී ඇතත් ඔබේ දරුවාට ඉවසීම පුරුදු කරන්න. දුක සතුට ලාභ අලාභ ආදී මිහිරි හෝ කටුක අත්දැකීම් සියල්ල මැදහත් සිතින් විද දරා ගැනීමට උගන්වන්න. බෙදාහදා ගැනීමේ පුරුද්ද අද සමාජයෙන් ගිලිහීයන්නකි.

පන්තියට නොපැමිණෙන ළමයෙකුට තම සටහන් පොත දීමට මැලිවන දරුවන් වර්තමානයේ පන්ති කාමරයක සුලභ ය. එවැනි යහපුරුදු නැති තැන ගොඩනැගෙන්නේ ආත්මාර්ථකාමීත්වයයි. අධ්‍යාපනයට තරගකාරීත්වය අවශ්‍ය ය.නමුත් එය පළමුවැනියා වීමේ අරමුණ පමණක් මූළික කරගෙන සිදු නොවිය යුත්තකි. දැන හෝ නොදැන ප්‍රචණ්ඩත්වයට මවුපියන් විසින්ම අත්පොත් තැබෙන්නේ ඉහත සදහන් කල බොහෝමයක් වැරදි නිසාමයි.

දරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට මවුපියන් දොස් තැබුවද බොහෝ විට දරුවන්ගෙන් පිළිබිඹු වන්නේ තම තමන්ගේ පෞර්ෂත්වය බව අමතක නොකරන්න.

වසරකට ලොව මිලියන 1.6ක් ප්‍රචණ්ඩත්වය නිසා මිය යන අතර ඉන් වැඩි ගණනක් වයස අවුරුදු15-44 ත් අතර අයයි.ඉන් වැඩි දෙනෙක් එනම් 14% පමණ පිරිමින් ය.කාන්තාවන් 7% කි.

සත්ත්ව ලෝකයේ පවා සාමයේ පණිවිඩය කියා දෙන ලොවක මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වයක් ගැන වාර්තාවීම පවා ලැජ්ජාවට කරුණකි.ප්‍රචණ්ඩත්වයට ඇති ඉඩ නැති කල හැක්කේ මිනිසුන් වන අපටම පමණක් බව සිහිතබා ගනිමු.

Recommended For You

About the Author: Editor