ලංකාව ‘දියුණු වෙන්න හිතුවේ’ චීනෙටත් කලින්

ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන සමුළුව පසුගියදා පැවැත්විණි.

“ කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය: දකුණු ආසියාවේ සමාජ ආර්ථික සමෘද්ධිය සඳහා උත්ප්‍රේරකයක් “ යන්න පළමු දේශන සැසිවාරයේ මාතෘකාව විය.

ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන බෙදාහැරීම් අමාත්‍ය , අචාර්ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ උප සභාපති සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සාමාජික, කීර්ති ගුණවර්ධන මහතා, සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති දේශබන්දු මැකී හශීම් මහතා, ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සහ සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ වත්මන් සභාපති රුවන් එදිරිසිංහ මහතා, සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ උප සභාපති ඉෆ්තිහාර් අලි මලික් යන මහත්වරුන් ආර්ථික ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා පෞද්ගලික අංශයේ කාර්යභාරය පිළිබඳව තම අදහස් ඉදිරිපත් කළේය. 

ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන බෙදාහැරීම් අමාත්‍ය , අචාර්ය හර්ෂ ද සිල්වා

“ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, භුතානය, නේපාලය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය යන සාර්ක් රටවල මේ වන විට විශාල ආර්ථික එලදායීතාවයක් දක්නට ලැබෙනවා. සන්න්වේදනය සහ තාක්ෂණය තුළින් මෙම රටවල් දැන් ගෝලීයකරණය පැත්තෙන් ඉදිරියට ගොස් තිබෙනවා.

මේ වන විට බැංගලෝරයේ මෘදුකාංග නිර්මාණය කරනවා. මෙම රටවල ජනතාව ගුණාත්මක ජීවිත ගත කිරීමට තරම් තමන්ගේ ආර්ථික පරිසරය නිසි පරිදි සකස් කර ගෙන තිබෙනවා. අතීතයේ දී සිංගප්පූරුව ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක තිබ්බේ. ඒ වුණත් වර්තමානයේදී සිංගප්පූරුව අපිට වඩා ඉදිරියෙන් සිටිනවා. ඒ රටවලින් ආදර්ශ රැගෙන ශ්‍රී ලංකාවත් ගෝලීයකරණය අතින් ඉහළ මට්ටමකට පත් වී ආර්ථිකය දියුණු කරගන්න ඕන”

සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ වත්මන් සභාපති රුවන් එදිරිසිංහ

“ අද දින සාර්ක් රටවල ව්‍යාපාරික නායකයින්, ව්‍යාපාරිකයින් , සන්නාම තානාපතිවරුන් බොහෝ දෙනෙක් පැමිණ සිටිනවා. ඔවුන් මගින් සාර්ක් රටවලටත්, අනෙකුත් රටවලටත් විශාල ආර්ථික වාසි, ව්‍යාපාරික අවස්ථාවන් හිමි කර ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පාරිසරික සෞන්දර්යය, ඛනිජ සම්පත් අදිය මගින් වෙනත් රටවලටත් වඩා ආර්ථික මට්ටම ඉහළ ස්ථානයකට ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ බල ශක්තිය උපයෝගී කර ගෙන සංචාරක ක්ෂේත්‍රය දියුණු කර ගන්න ලෙහෙසියෙන්ම පුළුවන්. චීනය දියුණු වෙන්න ආරම්භ කළේ ශ්‍රී ලංකාවටත් පසුව, ඒ වුණාට අද වනවිට අපි ඔවුන්ගේ නිෂ්පාදන වැඩි වශයෙන් භාවිතා කරන්නට පෙළෙඹිලා තියනවා.

ශ්‍රී ලාංකිකයින් වන අපි තාම ළිදේ ඉන්න මැඩියෝ වගේ. ලංකාවේ තිබෙන භූගෝලීය පරිසරය නිසි ලෙස භාවිත කර අපි දුර දිග සිතා බලා ප්‍රතිපත්තිමය තීරණ ගත හොත් අපිටත් සාර්ථක වෙන්න පුළුවන්.රටක් වශයෙන් අපි එකම තැන හැමදාම හිටියොත් , අපේ දරුවොත් ඒ වගේ වෙන්න පුළුවන්. අපි ඒ ගැන අවබෝධයෙන් යුතුව තීරණ ගන්න අව්‍යශයි”

සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති දේශබන්දු මැකී හශීම්

“ සාර්ක් රටවල ජනගහනයෙන් 54% ක් වෘත්තීයන් හි නියළෙනවා. එම රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය, සංචාරක, කර්මාන්ත යන ක්ෂේත්‍රයන් ඉතා දියුණු මට්ටමක පවතිනවා. විශේෂයෙන්ම ජපානය කියලා කියන්නේ ලෝකයේ රටවල් අතරින් ඉහළ ආර්ථිකයක් හිමි වී තිබෙන රටක් . ඒ මට්ටමට අනෙක් රටවලටත් පිය නගන්න පුළුවන්”

මීට අමතරව සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ, ඇෆ්ගනිස්ථාන්, උප සභාපති , කයිරුදීන් මායෙල් ,සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ , මාලදිවයින, හිටපු උප සභාපති අහමඩ් මුජුතබා, සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ පාකිස්ථාන්, හිටපු සභාපති, සුබියර් අහමඩ් මලික්, සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ, බංලාදේශ, විධායක සාමාජික, ෂව්කට් හයිඩ , ඇතුළු සාර්ක් රටවල නිලධාරීන් කිහිප දෙනෙක් ඒ ඒ රටවල ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූහ.

Recommended For You

About the Author: Editor