දරුවන් කළ යුත්තේ ‘ඉගෙනීම’ පමණමද ?

හිතවත් දෙමව්පියණි , සැබැවින්ම ඔබේ ප්‍රමුඛතම බලාපොරොත්තුව ; හීනය විය හැක්කේ ඔබේ දරුවාගේ අනාගත දියුණුවයි ,සාර්ථකත්වයි. ඒ සදහා ඔබ සෑම දෙනාම හැකි සෑම අයුරකින්ම වෙහෙසෙන බව නොරහසකි.ඒ උදෙසා තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට දෙමව්පියන් කටයුතු කරයි. මෙහිදී දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය ඉස්තරම් අයුරින් ලබාදීමට ඔවුහු වෙහෙසෙති.

Image result for happy family

ඒ අතරතුර ඔබ ඔබේ දරුවාගේ මානසික සුවය හා සතුට ගැන සිතුවාද?

වර්තමානය වාණිජත්වය මත පදනම් වූ වැඩ ලෝකයකි. එනිසා එවන් අනාගතයකට සරිලන අයුරින් තම දරුවන්ගේ අනාගතය නිර්මාණය කිරීමේ භාරදූර්ය රාජකාරිය දෙමව්පියන් තම හිස මත තබාගෙන ඇත්තේ ඉතා වගකීමෙනි. නමුත් මෙවැනි අනාගතයක් උදෙසා ඔබේ දරුවාව රැගෙන යන මාවත නිවරදිදැයි ඔබ මොහොතක් හෝ සිත බැලුවාද?

තම ජීවිතයේදී තමන් අධ්‍යාපනය ලැබූ කාල සිමාව තුළ තමන් සිත තුල නලියන ලද එහෙත් ඉටු කර ගැනීමට නොහැකි වූ හීන සඵල කර  ගැනීම උදෙසා දෙමව්පියන් දරුවන්ව මෙහෙයවයි. එහිදී දරුවන් තුළ පවතින හීන මොනවාදැයි ඔබ නිකමටවත් සිත බැලුවාද?

පෙර පාසල් අවධියේ සිටම තම දරුවාව අධ්‍යාපනය නම් තරඟය තුළට යොමු කරන දෙමව්පියන්  ඔවුන්ට ඔවුන්ගේ ළමා ලෝකය අස්වාදනය කරගැනීමට ඇති හැකියාව පවා මකා  දමන්නේ හිත පිත් නැති ලෙසිනි . මොහොතක් සිතා බලන්න ඔබ, මා වින්දනය කළ ඒ සුන්දර ළමා ලෝකයේ අසිරිය සැබවින්ම ඔවුන්ට ඉන් අල්ප මාත්‍රයක් හෝ විදගැනීමට හැකියාව ලැබී තිබෙනවාද?

වයස අවුරුදු 10 දී එනම් 5 ශ්‍රේණියේදී දරුවන්ට මුහුණදීමට සිදුවන ශිෂ්‍යත්ව විභාග කදිම උදෙසා ඔබ ඔබේ දරුවාට ලබාදෙන මානසික පීඩනය කෙතරම්ද කියා සිතා බැලුවාද? එකෙක් පරයා එකෙක් නැගී සිටීමේ සිතිවිල්ල මත සිටිමින් දෙමව්පියන් තම දරුවාව නොගැලපෙන මාර්ගයකට යොමු කරන බව ඔබට වැටහී ගොස් නොමැතිද?

එපමණක් නොව දෙමව්පියන් සා/පෙළ ,උ /පෙළ දක්වා එක දිගට මෙම නොනවතින තරඟයේ තම දරුවාව අනවශ්‍ය ලෙස තද බල පෙලබවීම් කරමින් රැගෙන යනුයේ ඔවුන්ගේ හීන මෙන්ම මානසික තෘප්තිය පිළිබඳවද නොසලකාය.

ඔබගේ මේ ක්‍රියාකලාපය නිසා ඔවුන්ට අහිමිව යන්නේ ජිවිතයේ සුන්දර වූ ළමා ලෝකයි.

දරුවන්ට ලැබිය යුතු අත්‍යාවශ්‍යම වරප්‍රසාදයකි මව්පිය වැඩිහිටි සෙනෙහස. නමුත් දෙමව්පියන් තම දරුවන්ගේද අතින් අල්ලා හැල්මේ දුවනා මේ අධ්‍යාපන තරඟයේදී තමන්ගෙන් දරුවන් ඉතා හෘදයාන්ගමව බලාපොරොත්තු වන ආදරය , සෙනෙහස , කරුණාව වැනි මානව දයාංග ඔවුන් වෙත ලබාදීමේ ඉඩහසර සීමා වී යනු ඇත.

එබැවින් දෙමව්පියණි අධ්‍යාපනය පමණක්ම නොව තම දරුවන් හා එක්ව කාලය ගත කිරීමෙන් දෙමව්පිය දූදරු සබඳතාව වර්ධනය වනවා සේම දරුවන් බලාපොරොත්තුවන ආදරය, සෙනෙහස ලබාගැනීමටද ඔවුන්ට ඉඩකඩ සැලසෙනු ඇත.

Related image

දරුවන් සෑම විටම අත්හදාබැලීම් කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වයි.නමුත් එම ඇල්ම ද දෙමව්මව්පියන් ඉගෙනීම කෙරෙහි සිදු කරන අසීමිත බලපෑම නිසා හිරු දුටු පිණි බිදු මෙන් වියැකී යයි.

එපමණක් නොව සමවයස් මිතුරු ඇසුර  , තාක්ෂණික මෙවලම් භාවිතය , ක්‍රීඩාව , කලා රසවින්දනය, විනෝද  චාරිකා ආදී දරුවන්ගේ ලෝකය තුළ සැරිසරනා පුංචි පුංචි හීන , බලාපොරොත්තු ආදිය සඳහා ද ඔබේ අවදානය යොමු විය යුත්තේ ඉගෙනීම උදෙසා ඔබ ලබාදෙන සැලකිල්ල හා සමපාතවය.

මින් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය හා මානසිකත්වය වර්ධනය වනවා සේ මනස සුවපත් වී අලුතින් යමක් සිතන්නට, නිර්මාණාත්මක හැකියාව වර්ධනය කර ගැනීමට පෙලෙඹයි.

ඔබ දැනගත යුතු විශේෂම කරුණ වනුයේ මෙලොව සාර්ථකත්වයට පත්ව ඇත්තේ කුඩා කළ සිට පොත පතේම පමණක් ඇලී සිටි පුද්ගලයන් නොව මේ ආකාරයට තම ළමා ලෝකය වින්දනය කරමින් අධ්‍යාපනය හැදෑරු පිරිසක් බවයි.

එබැවින් දෙමව්පියණි ඔබේ දරුවාටද ඉගෙනීම සඳහා අනවශ්‍ය පෙලඹවීම් නොකරමින් ඔවුන්ට ඔවුන්ගේ ළමා ලෝකය වින්දනය කිරීමට අවස්ථාව උදා කරදීමෙන් ඔබ සියලු දෙනාම බලාපොරොත්තුවන සාර්ථකත්වය උදෙසා ඔවුන්ට පියනැගීමට පහසු වනු ඇත.

මන්ද යත්, ඉගෙනීමට පමණක් යොමු කළ සිත කෘතීම රෝබෝවරයෙකුට සමානවන අතර බොහෝ විට ඔවුන් තුළ මානව දයාංග හීන වේ.එබැවින් ඔබේ දරුවා ඉගෙනීමට පමණක් උපන්නෙක් නොව ජීවිතය වින්දනය කිරීමටද ඔවුන්ට අවස්ථාව ඇති බව මතකයේ තබා ගනිමින් කටයුතු කළහොත් අනාගතයේ මානව දයාංගයන්ගෙන් පිරි පරපුරක් බිහි කිරීමට හැකි වනු ඇත.

සටහන – මල්මි ඉන්ද්‍රචාපා දේවසිංහ

Recommended For You

About the Author: Editor