රාජ්‍ය සේවයේ තනතුරු විෂමතා සහ වැටුප් විෂමතාවලට ‘තිත’ තියනවා – සජිත් පේ‍්‍රමදාස

ගුරු සේවය පමණක් නොව, සමස්ථ රාජ්‍ය සේවයම දශක ගණනාවක සිට මුහුණ දෙන තනතුරු විශමතා හා වැටුප් විශමතා ඇතුළු සියලුම ගැටළු වලට ඒකාබද්ධ විසඳුමක් මගින් අවසන් තිත තැබීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකලේ ජාතික අධ්‍යාපන වෘත්තිකයන්ගේ විශේෂ මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි. මෙම සම්මේලනය අද (23) දින විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා “දශක ගණනාවක සිට කුඩම්මාගේ සැලකිළි හිමි වුණු ගුරු උපදේශක මහත්ම මහත්මීන්ගේ සේවය රජයේ කැබිනට් අනුමැතිය හරහා ස්ථාපනය කිරීමට කටයුතු කරනවා. ඊට සමගාමීව ව්‍යාපෘති නිලධාරීන් රැසකගේම සේවාව ස්ථාපනය කරනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවක මහත්ම මහත්මීන් 4772 ක් දේශපාලන පළිගැනීම් වලට ලක්ව සිටිනවා. තම රජය යටතේ ඒ සියලු දෙනාගේම පළිගැනීම් ගැටළු වලට විසඳුම් ලබා දෙනවා. ගුරු ක්ෂේත්‍රයේ සහ විදුහල්පති ශ්‍රේණියේ වැටුප් විශමතා පවතිනවා. ගුරු මෑණියන්ගේ සහ  පියවරුන්ගේ අයිතිවාසිකම් සුරකින ආකාරයට ඔවුන්ගේ සේවය අප ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

පසුගිය දශක ගණනාවක් තුළ සමස්ත රාජ්‍ය සේවයේම ප්‍රශ්න වලට සාධනීය ප්‍රගතිශීලී විසඳුමක් ලැබුණේ නැහැ. එක් එක් සේවාවන්ට එක් එක් ආකාරයට කටයුතු කිරීමේ අවිධිමත් ක්‍රමවේද ක්‍රියාත්මක වීම තුළින් සමස්ථ රාජ්‍ය සේවය විශාල ප්‍රශ්න රැසකට අද මුහුණ දෙමින් සිටිනවා.

සමස්ථ රාජ්‍ය සේවයම එක් තැනකට ගෙනවිත් දශක ගණනාවක සිට මුහුණ දෙන සියලුම ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට ඒකාබද්ධ වැඩපිළවෙලක් තුළින් ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය සේවයේ පවතින සියලුම ගැටළු, අඩුපාඩු අවබෝධ කර ගනිමින් එවා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඉඩ නොතබා, අංග සම්පූර්ණව විසඳමින් කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් මගින් ජනතාවට සේවය සැලසීමට කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

Recommended For You

About the Author: Editor