හැමෝම බලන් හිටියා මම UNP වේදිකාවකට නගියි කියලා – දුමින්ද දිසානායක

අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව අමතක කරන්න, අමාරුවේ දාන්න, අපහසුතාවට ලක් කරන්න නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදු ජන පෙරමුණත් එකතු වෙන තීන්දුව ගත්තේ’ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එතුමන්ට සහය පළ කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන ග්‍රාමීය ජන හමු 5000 ට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජන හමු 250 න් එකක් වූ මහබෙල්ලන්කඩවල ග්‍රාමයේ පැවති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගත්තා ඡන්ද ලක්ෂ 50 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජන්ද ලක්ෂ 17 ක් ලබා ගත්තා. මේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නම් කවුරු හෝ ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් ජන්ද ලක්ෂ 65 ක් ලබා ගත යුතු වෙනවා. ඡන්ද ලක්ෂ 50 ක් තිබූ පමණින් දිනන්න පුළුවන්කමක් නෑ, ලක්ෂ 17 එකතු වුණොත් තමයි ජයග්‍රහණය කරන්න පුලුවන්කම තියෙන්නේ. එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ වගකීම වෙන්නේ පහුගිය පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැටුණු සියලුම ඡන්ද ටික ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන එකයි.

අපි මහන්සි වෙන්න ඕන, අපි කථා කරන්න ඕන, අපි ගෙයින් ගෙට යන්න ඕන මේ සියල්ලම කරන්න ඕන මේ ලක්ෂ 50 ට අපේ ජන්ද ලක්ෂ 17 එකතු කරන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අත්වැල් බැඳගත්තේ ජයග්‍රහණය සඳහා මිස, පරාජය සඳහා නොවෙයි. අපි බොරුවට එකතු වුණා නෙමෙයි. බොරුවට හිටියා නම් අපි එකතු වෙන්නේ නෑ, ඔබතුමන්ලා දන්නවා අපි පහුගිය කාළයේත් අපි ගහගත්තා, බැණ ගත්තා, රණ්ඩු වුණා, මතවාදීව හැප්පුණා, හැබැයි අපි දැන් ඒ සියල්ලම අමතක කරලා ජයග්‍රහණය වෙනුවෙන් දැන් අත්වැල් බැඳ ගෙන තියෙනවා.

1994 ඉඳන් මේ වෙනකල් මේ රටේ ජනාධිපතිවරු හැදුවේ කවුද? අවුරුදු 17 ක් අපි විපක්ෂයේ ඉඳලා 1994 චන්ද්‍රිකා මැතිණියගෙන් පටන් අරගෙන, චන්ද්‍රිකා මැතිණියව දෙවතාවක් ජනාධිපති කෙරෙව්වා, මහින්ද මහත්තයාව දෙවතාවක් ජනාධිපති කෙරෙව්වා, ඊළඟට මෛත්‍රී මහත්තයාව ජනාධිපති කළා, 05 වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරු හැදුවා.

මේ ඒකරාශීවීමත් එක්ක නොවැම්බර් මාසයේ 16 වැනිදා වෙන කොට නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වීමෙන් ජනාධිපතිවරයෙක් හදනවා. 1994 න් පටන් ගත්ත ගමන 2019 නැවත වතාවක් තවත් අවුරුදු 05 කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වෙච්ච ජනාධිපතිවරයෙක් හදනවා. ඒ වගේම නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරපුවහාම නොවැම්බර් මාසේ 17 වැනිදා අපිට පුළුවන්කම ලැබෙනවා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න.

මේ පාර්ලිමේන්තුව ලබන මාර්තු වෙනකල් විසුරුවන්න බෑ, එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරනවා පමණක් නෙමෙයි, නොවැම්බර් මාසේ 17 වැනිදා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වුණ ආණ්ඩුවකුත් අපි හදනවා. ඒ අනුව 1994 ඉඳන් මේ වෙනකල් අපිට අවුරුදු කීපයයි ආණ්ඩුවකුත් නැති වෙන්නේ, අනෙක් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් තමයි මේ රටේ තිබිලා තියෙන්නේ.

ඊළඟ ආණ්ඩුව හදන්න නම් මේ පාර ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කරන්න ඕන, ජනාධිපතිවරණය ජයග්‍රහණය කලොත් තමයි තවත් අවුරුදු 05 කට ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නම් නොවැම්බර් 16 වැනිදාට අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම මොනම තරහා-මරහක්, වාද-භේදයක් නැතිව ඔබතුමන්ලා සියලු දෙනාම අත්වැල් බැඳගන්න.

ඒ වගේම පහුගිය කාළයේ දුමින්ද දිසානායක යූ.එන්.පී යනවා කියලා හැම තැනම කිව්වා, හැමෝම බලන් හිටියා මම යූ.එන්.පී වේදිකාවකට නගියි කියලා. කවද්ද නගින්නේ, කොහෙන්ද නගින්නේ කියලයි බැලුවේ.

මේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සමහර අය මාව යවා ගන්නත් දැඟලුවා. මාව යවා ගත්තා නම් ඒ ගොල්ලන්ට තනියම ඉන්න පුලුවන්කම තියෙනවානේ. හැබැයි දුමින්ද හැමදාමත් හිටගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වගේම පක්ෂයේ මතවාදයත් එක්කයි. අපි මෛත්‍රීපාල මහත්තයාව 2015 දී ජනාධිපති කරවන්න මම තීන්දු කලේ එතුමා අපේ පළාතේ මනුස්සයෙක් නිසයි.

වෙන වෙන පළාත් වල මිනිස්සුන්ට තමන්ගේ පළාතේ මිනිස්සු පිළිබඳව ආඩම්බරයක් තියෙනවා වගේම එදා දුමින්දට ඕනකමක් තිබුණා උතුරු මැද පළාතෙන් ජනාධිපති කෙනෙක් පත් කර ගන්න. අපි ඒ වැඩෙත් කර ගත්තා ජනවාරී මාසේ 08 වැනිදා, දවස් දෙකක් යන්නත් කලින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමත් අපි ලබා ගත්තා .ඒ කරපු වැඩේ වැරදියි කියලා සමහරු දැක්කාට දුමින්ද එදා කලෙත් හරි දේ, පළාතේ කමට, අපේ කමට, හිතේ තිබුණ දඩබ්බරකමට අපි පළාතෙන් ජනාධිපති කෙනෙකුත් හදා ගත්තා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරම් නොකර අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයත් ලබා ගත්තා. දැන් දුමින්ද කරන්නෙත් ඒ ටිකම තමයි. එදා තිබුණ ප්‍රශ්න ඔලුවේ තාමත් තිබුණා නම් ඒවාට දුමින්ද විරුද්ධ වුණා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතන හිට ගන්නේ නෑ, අනෙක් සේරම හිට ගන්න කොට, මම කෑල්ලක් කඩාගෙන ගියා නම් සමහර විට මම යන්නේ ඡන්ද ටිකත් එක්ක. ඔලු ගෙඩි තියෙයි, ජන්ද මන් ගාව තියෙයි. එහෙම නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි තැන, හරි විදිහට හැමදාමත් අපි හිට ගත්තා. ඒ නිසා අදත් අපි හිටගෙන තියෙන්නේ හරිම තැන.

අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව අමතක කරන්න, අමාරුවේ දාන්න, අපහසුතාවට ලක් කරන්න නෙමෙයි මේ තීන්දුව ගත්තේ. එළැඹෙන නොවැම්බර් මාසේ 16 වැනිදා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදලා වෙන් වෙච්ච අපි සියලු දෙනාම එකතු වෙලා නැවත වතාවක් එක පොදියට ආණ්ඩු කරන අය විදිහට, ජනාධිපති හැදුව මේ රටේ ශක්තිමත්ම කණ්ඩායම විදිහට රටට නායකත්වය ලබා දෙන්න තමයි මේ තීන්දුව අපි අරන් තියෙන්නේ යැයි පැවසීය

තිසර සමල් එප්පාවල

Recommended For You

About the Author: Editor