මැකො පණින රිළවුන්ට ‘ඉණිමං’ බඳින බවට චෝදනා

‘රාජ්‍ය මාධ්‍ය නියාමනයට මිස පෞද්ගලික මාධ්‍ය නියාමනයට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නෛතික බලයක් මැතිවරණ කොමිසමට ලබාදී නැතැයි ඊයේ (23) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ ප‍්‍රකාශය ‘පනින රිළවුන්ට ඉණිමං බැඳීමක්’ ලෙස සැලකිය හැකි යැයි රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානියෙක් lankaepress.com ’ සමග ප‍්‍රකාශ කළා.

එහිදී ඔහු කියා සිටියේ ඇතැම් පෞද්ගලික මාධ්‍ය විසින් ගෙන යන අතිෂය ඒකපාර්ශ්වික ප‍්‍රචාරයන්ට පිළිතුරු බැඳීමට ආණ්ඩුවට ඇති අයිතිය මෙමගින් දැඩි සේ සීමා වන බවයි.

‘බලයේ සිටන රජයේ මතය ගෙන යාම රාජ්‍ය මාධ්‍ය හරහා හැමදාම සිදු වුණා. මොකද සංවර්ධන ප‍්‍රවෘත්ති ඇතුළු රජයේ ධනාත්මක පුවත් කිසිමදාක පෞද්ගලික මාධ්‍ය විසින් ජනතාවට සන්නිවේදනය කරන්නේ නැහැ. ඒ වගේම එම ව්‍යාපෘති, වැඩසටහන් සම්බන්ධ ප‍්‍රචාරය ලබාදීමත් සිදු වුණේ රාජ්‍ය මාධ්‍ය මගින්. ඒත් වත්මන් තත්්ත්වය තුළ ඒවා පවා නවතා දැමීමට බලකරන තත්ත්වයකුයි තිබෙන්නේ.

මාධ්‍ය කිහිපයක් ඉතාමත් අත්තනෝමතික ලෙස ආණ්ඩුවට පහර දෙමින්, ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් සිටිනවා. ඔවුන්ට පිළිතුරු දීමට ආණ්ඩුවට තිබෙන්නේ රාජ්‍ය මාධ්‍ය පමණයි. ඒත් දැන් එම අවස්ථාවත් සීමා වෙමින් තිබෙනවා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තමන්ට නියාමනය කළ හැකි වන්නේ රාජ්‍ය මාධ්‍ය පමණක් බවයි. ඔහුට පුද්ගලික මාධ්‍ය වෙත නෛතික බලපෑමක් කළ නොහැකි බවයි එයින් ඉඟි කරන්නේ. මෙය සැලකිය හැකි වන්නේ මේ වන විටත් අතිෂයින් පක්ෂග‍්‍රාහී සහ අත්තනෝමතික ලෙස කටයුතු කරන පෞද්ගලික මාධ්‍යවලට එම වැඩකරගෙන යන්න පාර පෙන්වාදීමක් හැටියටයි’ රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානියා තමන් මුහුණ පා සිටින තත්ත්වය සහ තම නිරීක්ෂණය පැහැදිලි කරමින් කිව්වා.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයින් 35 දෙනාගේ නියෝජිතයින්ගේ සහ මැතිවරණ කොමිෂමේ බලධාරීන් අතර ඊයේ (23) පැවැති සාකච්ඡාවකදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසා ඇත්තේ මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් ජනාධිපති අපේක්ෂකයන්ට පක්ෂග්‍රාහීව කටයුතු කරන ජනමාධ්‍ය ආයතනවල පක්ෂග්‍රාහීත්වය ලේබල් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇතැයි බවයි.

ඒ සමග රාජ්‍ය මාධ්‍ය ගැන ද සිය අවධානය යොමුකර ඇති මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන රාජ්‍ය මාධ්‍ය ආයතන එම නියෝගය උල්ලංගනය කර ඇති බව සැලකීමට සිදුවනු ඇතැයි ද අවධාරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට දඩුවම් කළ හැකි බව දන්වමින් ගැසට් නිවේදනයක් මේ සතිය තුළ නිකුත් කරන්නේ යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගෙන් කළ කරුණු විමසීමේදී ඔවුන් කියා සිටියේ රාජ්‍ය මාධ්‍ය පසුගිය කාලය පුරාම මධ්‍යස්ථ ආකාරයෙන් ක‍්‍රියාකළ බවත් ජනාධිපතිවරණයෙන් පසුව ඒ ගැන දැඩිව ක‍්‍රියාත්මක වන බවයි.

‘අපි පසුගිය ආණ්ඩුව කාලේ වාගේ අන්ත ඒකපාර්ශ්වික මාධ්‍ය භාවිතයක නැහැ. පසුගිය 2010 – 2015 යුගයේදී පක්ෂ සංවිධායකවරු රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන් විදිහට යොදා ගෙනයි වත්මන් විපක්ෂය මැතිවරණ කළේ. හඞ්සන් සමරසිංහ, සුදර්මන් රදලියගොඩ, ලලිත් ද සිල්වා වාගේ ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරුයි එදා රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන් වුණේ.

අද කිසිම රාජ්‍ය මාධ්‍යයක එවැනි තත්ත්වයක් නැහැ. ඒත් අපි පැහැදිලිව දන්නවා මෙරට ජනප‍්‍රිය යැයි කියා ගන්නා විද්‍යුත් නාළිකා කිහිපයක් ම පසුගිය වසර පහ පුරාම අඛණ්ඩව ආණ්ඩු විරෝධයක් ගෙන ගියා. ඔවුන් ඔවුන්ගේ අපේක්ෂකයෝ නිර්මාණය කළා. දැන් ඔවුන් මැතිවරණ වේදිකාවේ ඉන්නවා. ඉතිං දැන් අවසාන මොහොතේ ඔවුන් අවසාන මොහෙයුම දියත් කරලා තියෙනවා. ඔවුන්ගෙන් පොහොට්ටුවේ නොවන කිසිම මතයකට ඉඩක් නැහැ.

ඉතිං එවැනි තත්ත්වයක් යටතේ රජයට අවම වශයෙන් තමන්ගේ මතය ගෙන යන්න තිබෙන රාජ්‍ය මාධ්‍ය මේ ආකාරයට දඬුකටඳේ ගහලා පුද්ගලික මාධ්‍ය නිදැල්ලේ හැරීමෙන් මැතිවරණ කොමිෂම බලාපොරොත්තු වෙන දේ ගැන අපට ප‍්‍රශ්නයක් තිබෙනවා. වත්මන් යුද්ධ හමුදාපතිවරයා ද ඇතුළත්ව පසුගිය දා පළ කළ දැන්වීමට මැතිවරණ කොමිෂම දැක්වූ ප‍්‍රතිචාරයෙන්ම තත්ත්වය කොතරම් දුර්වල ද කියලා පේනවා’ රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානියෙක් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළා.

Recommended For You

About the Author: Editor