NPP: දේශපාලන පිටිය ශුද්ධ නොකර මේ රට හදන්න බැහැ – අනුර කුමාර

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සදහා වැල්ලවාය නගරයේ පැවැති ජනරැළියේදී අනුර කුමාර දිසානායක මහතා ඇතුලු ජාතික ජන බලවේගයේ නායකයින් කළ සම්පූර්ණ කතා.

2015 මහින්දගේ ආණ්ඩුව වැට්ටුවේ ඇයි? අනුර කුමාර දිසානායක

ජනතාව මත අධික බදුබර පැටෙව්වා. රුපියල් 350/- පොහොර මිටිය 500/- කළා. කෘෂි රක්ෂණ මණ්ඩලයට පාඩු කරලා ගොවි විශ්‍රාම වැටුප කපල දැම්මා. ඉඩම් ඩෝල් කොම්පැනියට වික්කා. කිරි පිටිවලට පෙට්‍රල්, ඩීසල්වලට ජනතාවට දරාගන්න බැරිතරම් අසීමිත බදු ගැහැව්වා. ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා. වංචා, දූෂණවල කෙළපැමිණි ආණ්ඩුවක් බවට රාජපක්ෂ ආණ්ඩුව පත්වුණා. ඒ නිසා ජනතාව 2015 ඒ ආණ්ඩුව වට්ටලා අලුත් ආණ්ඩුවක් හැදුවා.

දැන් නැවතත් මොකද, වෙලා තිබෙන්නේ.

අලුතෙන් හදපු ආණ්ඩුවත් දැන් ගෙදර යවන්න ඕනෑ කියලා කල්පනා කරනවා. ඔව්, මේක පරාජය කරන්න ඕනෑ. හැබැයි බලයට ගේන්න ඕනෑ කවුද? 2015 දී ජනතාව මේ රට විනාශ කළා කියල, හොරකම් කළා කියලා, බදුබර පැටෙව්වා කියලා, බඩුමිල වැඩිකළා කියලා, අපේ  ඉඩම් පිටරට කොම්පැනිවලට වික්කයි කියලා, ගොවි විශ්‍රාම  වැටුප අහෝසි කළා කියලා, ගෙදර යවපු රාජපක්ෂලාගේ පාලනයක්ද ආපහු හදන්න ඕනෑ.

අපි ජනතාවගෙන් ඉල්ලනවා 2015 පිහිටවපු ආණ්ඩුව යළි පිහිටුවන්න එපා කියලා.

2015 දීපු කිසිම පොරොන්දුවක් ඉටුනොකළ රනිල්ගේ ආණ්ඩුව පරාජය කරමු. පරාජය කරලා ආපසු ගේන්නේ පරණ ආණ්ඩුවද? අපි ජනතාවට කියන්නේ මේ ආණ්ඩුව පරාජය කරල අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් නොවැම්බර් 16 වැනිදා හදමු. 2015 රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළේ වැරදි හින්දනේ. ඒ නිසා අපි ජනතාවට කියනවා නොවැම්බර් 16 ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණ ඉදිරියේ කතිරය ගහලා අපේ, ඔබේ පාලනයක් ගොඩනඟන්න කියලා.

අපි කොහොමද මේ රට හදන්නේ.

දැන් සාමාන්‍ය ජනතාවට දේශපාලනය එපා වෙලයි තියෙන්නේ. ගොඩක් අය කියන්නේ මට නම් දැන් දේශපාලනය තිත්ත වෙලයි තියෙන්නේ කියල. ඔය කවුරු ආවත් එකයි. ඡන්දෙ කාලෙට කියන ඒවා නොවෙයි කරන්නේ. ඒ නිසා අපි වැඩ කළොත් අපි කයි, කියන දේශපාලනය ගැන කලකිරිල ඉන්න මිනිස්සු තමයි දැන් හුඟක් ඉන්නේ.

මේ අර්බුද සියල්ල හැදුවෙ දේශපාලනයෙන්. අපේ අධ්‍යාපනය, සෞඛ්‍යය සේවය, නීතියක්, විනයක් නැති රටක් හැදුවේ අපේ කෘෂිකර්මාන්තය විනාශ කළේ, මේ ආණ්ඩු තමයි. හැබැයි මේ අර්බුදයෙන් ගොඩ ඒමේ උත්තරය තිබෙන්නෙත් දේශපාලනයේම තමයි. මොන දේශපාලනයෙන්ද? අර්බුදය හැදුවේ වැරදි දේශපාලනයෙන්. හොරකම් කරන, නාස්ති කරන, ඥාති සංග්‍රහ කරන, රට ගැන නොහිතන, දේශපාලනයෙන් තමයි මේ අර්බුද හැදුවේ. එහෙනම් ගොඩයන්න කරන්න ඕන මොකක්ද? නිවැරදි දේශපාලනය, හොරකම් නොකරන, රටට ආදරය කරන දේශපාලනය, නොවැම්බර් 16 අපි මේ වැරදි දේශපාලනයෙන් මිදෙමු.

රට හැදීමේ පළමු පියවර මේ අශුද්ධ දේශපාලන පොරපිටිය ශුද්ධ කිරීමයි.

එක පැත්තකින් ඡන්ද ගන්නවා. අනෙක් පැත්තට පනිනවා. අපිට බලය දෙන්න. අපි නීතියක් හදනවා එහෙට මෙහෙට පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වන විධියට. මේ පනින්නෙ කෝටි ගණන් සල්ලි කුට්ටිවලට. අර කුමන්ත්‍රණය වෙලාවේ මෛත්‍රී ජනාධිපතිවරයාම කිව්වා අපිට 113 හදාගන්න තිබුණ. මන්ත්‍රීවරුන්ගේ මිල වැඩි නිසා ඒක අමාරු වුණා කියලා. එක මන්ත්‍රීවරයෙකුගේ මිල කෝටි 500 දක්වා නැග්ගා කියලා එතුමා කිව්වා. අපි මේක නතර කරන නීති ගේනවා.

ඊළඟ කාරණය මන්ත්‍රීවරු අවුරුදු 5ක් පාර්ලිමේන්තු ගියහම, පහක් කිව්වාට පහම යන්න ඕනෙත් නැහැ. මාස 3කට එක දවසක් පාර්ලිමේන්තුවට ගියාම ඇති. අවුරුද්දට හතර පාරයි අවුරුදු පහට විසිපාරයි. පාර්ලිමේන්තුවේ දොරෙන් ඇතුල්වෙලා එළියට ආවහම ඇති. ඒ විසිපාරට ෆෙන්ෂන් එක ලැබෙනවා. ඒක කපාහරින පාලනයක් අපි හදනවා.

අයවැය කියවන දවසට මැති ඇමතියෝ රොත්තම පුටුවලම නිදි. පාර්ලිමේන්තුවට එන්නේ ගෙදර ඉන්න ඕන අය. ලෙඩ කඳන්. අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා වයස 84 දේශපාලනඥයොත්. ඒ ගොල්ලන්ට කවුරු හරි කනවැල අල්ලන්න ඕන. පාර්ලිමේන්තුවට එන්න, මැරෙන කල් දේශපාලනය කරන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි අපි මැරෙන කල් මන්ත්‍රීකම් නම් කරන්න දෙන්නේ නැහැ. අපි බලයට ආවොත් අවුරුදු 70ට වැඩි කිසිකෙනෙකුට ඡන්දය ඉල්ලන්න බැරිවෙන ආකාරයට නීතියක් දානවා.

රජයේ ඕනෙම රැකියාවකට යනකොට පොලිස් වාර්තාවක් ගෙනියන්න ඕන. නමුත් අපේ රටේ මන්ත්‍රීල වෙනව උසාවියේ නඩු තියෙන අය. එක ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකුට මහාධිකරණයෙත් නඩු තියෙනවා. ලංකාවේ ග්‍රාමසේවක කෙනෙක් රැකියාවට ගන්නේ නැහැ මහාධිකරණයේ නඩුවක් තියෙනවා නම් අපි නීතියක් ගේනවා, මහජනයගෙ දේපොළ හොරකම් කරපු, මහජනයට අපරාධ කරපු, නඩු තිබෙන කිසිම දේශපාලනඥයෙක්ව මැතිවරණ තරග කිරීම තහනම් වන පරිදි.

දේශපාලන පිටිය ශුද්ධ නොකර මේ රට හදන්න බැහැ,  

2015 මැතිවරණ වේදිකාවල වැඩිපුරම කථා කළේ හොරකම් ගැන. අද අර දෙන්නම හොරකම් ගැන කථා කරන්නේ නැහැ. හොරුන්ට දඬුවම් දෙනව කියලා ඔවුන්ට කියන්න බැහැ. මොකද ලොක්කොම හොරු නිසා. හොරකල්ලි වේදිකාව උඩ ඉන්දගෙන කියන්න පුළුවන්ද හොරකම් නතර කරනවා කියලා. හොරකම් නතර කරන එකම පාලනය ජාතික ජන බලවේගයේ පාලනයයි. හොරකම් කරපු දේපළ නැවත රජයට භාර දෙන්න අපි මාස 2ක් කල් දෙනවා. නැතිනම් වහාම ඒවා රජයට පවරා ගන්නා පාලනයක් අපි හදනවා.

අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. මහජනයාගේ දේපොළ කව්රුහරි කොල්ලකාලා තිබෙනවා නම් ඒවා නැවත මහජනයාට අත්පත් කරදෙන එක අපේ වගකීමක්. මේවා කරන  කොට දේශපාලනයට එන්නේ පිරිසිදු මිනිස්සු විතරයි. හොරු එන්නේ නැහැ. දූෂිතයෝ අපරාධකාරයෝ දේශපාලනයට එන්නේ නැහැ. අපේ රටේ සියලු අපරාධ පිටපුස ඉන්නේ දේශපාලනඥයෝ. අද දේශපාලනය අපරාධකරුවන්ගේ මඩ ගොහොරුවක්. අද අපේ රට පාලනය කරන්නේ අපරාධ කාරයෝ. ඔවුන්ව දේශපාලන පිටියෙන් ඉවත්කරලා අපි මේ දේශපාලන පිටිය පිරිසිදු කරනවා.

අපි ගොවියන්ට මේ ලබාදෙන පොහොර සහනාධාරය ලබාදෙන ගමන් ගුණාත්මක පොහොරද ලබාදෙනවා

තේ වගාවට ගෙනාපු පොහොර බාල වර්ගයේ ඒවා කියලා පර්යේෂණවලින් ඔප්පු වුණා. එළවළුවලට දාන්න දෙන්නෙත් බාල පොහොර. ඇමතිවරු, ව්‍යාපාරිකයෝ එකතුවෙලා තමයි මේවා කරන්නේ. අපි ගුණාත්මක පොහොර ලබාදෙනවා, වගේම කලට වේලාවට ඒවා ලබාදෙනවා. කාබනික සහ රසායනික පොහොර මිශ්‍රණයක් අපේ රටේ ගොවීන්ට අපි ලබාදෙනවා. අපේ ඉහළ ප්‍රමිතියෙන් යුක්ත ගම්මිරිස්වලට පිටරට බාල ඒවා ගෙනල්ලා කලවම් කරලා ඉන්දියාවට පැටෙව්වා. අපේ ගම්මිරිස්වල මිල බැස්සා. මේ ජාවාරම කළේ මේ දේශපාලනඥයෝ. පක්ෂ දෙකේම මැති ඇමතිවරු සහ ඔවුන්ගේ ගජමිතුරු ජාවාරම්කාර මුදලාලිලා.

මේ ජාවාරම් නතර කරන්න පුළුවන්

ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. අපේ වේදිකාවේ ජාවාරම්කාරයෝ නැහැ. කළු ව්‍යාපාරිකයෝ නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරයට ඒ ගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම මෙහෙයවන්නේ කළු ව්‍යාපාරිකයෝ. ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අපි ඇති කරනවා.

අද ඔබලා මුහුණදෙන තවත් බරපතළ ප්‍රශ්නයක් තමයි අලි ප්‍රශ්නය. 2017 දී අලිගහල 92ක් මැරිලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් සදාකාලික අබ්බගාතයෝ වෙලා. නිවාස විශාල ප්‍රමාණයක් විනාශවෙලා. වගාබිම් විශාල ප්‍රමාණයක් හානිවෙලා. මේ ආණ්ඩුවලට අලි ප්‍රශ්නයටවත් උත්තර නැහැ. එක පැත්තක අක්‍රමවත් සංවර්ධනය. කැලෑ අක්කර දහස් ගණන් එළිකළා. ඒවායේ හිටපු අලි ගම් වදින්න පටන් ගත්තා. උන්ව පාලනය කරන්න සැලැස්මක් හැදුවේ නැහැ.

දැනට තිබෙන හොඳම විසඳුම විදුලි වැට. ආණ්ඩුව කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා වෙන ඒවාට. නෙළුම් කුළුන හදන්න බිලියන 24යි. කෝටි 2400යි. ලංකාවේ අලි ඉන්න කැලෑ සහ ගම්මාන වෙන්කරලා විදුලි වැටවල් ගහන්න එච්චර සල්ලි යනවාද? සූරියවැව පිට්ටනියට දශලක්ෂ 5000යි. ලංකාවෙම අලි ප්‍රශ්නය විසඳන්න තිබුණා මේ සල්ලිවලින්. ඒවා නොකර ක්‍රිකට් ගහන්නේ නැති පිට්ටනි හැදුවා.

අලි – මිනිස් ගැටලුවට ස්ථිර වශයෙන් විසඳුම් දෙන පාලනයක් අපි හදනවා. මේ ගැටලු විසඳන්න පුළුවන් අපේ පාලනයක් යටතේ පමණයි කියලා, අපි සහතික කරලා කියනවා. ඒක කරන්න අපිට බලය ලබාදෙන්න. අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ එපමණයි.

රටට යුක්තිය, සාධාරණය, මනුෂ්‍යකම ගෙන ආ හැක්කේ අනුර දිසානායක සහෝදරයාට පමණයි

සමන්ත විද්‍යාරත්න

අපි තමුන්නාන්සේලා ළඟට ආවේ මෙතෙක් කල් ඔබලා පත්කර ගත් ජනාධිපතිවරුන්ට වඩා වෙනස් ජනාධිපතිවරයෙක් මෙවර පත්කරන්න කියන ඉල්ලීම ඔබෙන් කරන්න. මේ විධායක ජනාධිපති ධුරයට වයස අවුරුදු 41යි.

අත්තනෝමතික ලෙස රට කරවූ ජනාධිපතිවරු අපි මේ කාලය තුළ දැක්කා. ම්ලේච්ඡ ආකාරයට රට පාලනය කළ ජනාධිපතිවරු අපි දැක්කා. ජාතිවාදය අවුස්සලා සහෝදර ජනතාවට මිනී මරාගන්න සලස්වපු ජනාධිපතිවරු අපි දැක්කා. දූෂිත පවුල් පාලන ගෙනල්ලා ඒකාධිපති වියරුවෙන් හැසිරෙන ජනාධිපතිවරු මේ කාලය තුළ අපි දැක්කා. ඒ වගේම විකට ජනාධිපතිවරු අපි දැක්කා. ඒ නිසා 2019 ගෙවිලා 2020 උදාවෙනකොට මේ රටේ ජනතාව පත්කරගත යුත්තේ අත්තනෝමතිකත්වය, ම්ලේච්ඡත්වය පලවා හරින, ඒකාධිපතිත්වය පලවා හරින, විහිළු විකටකාරී නොවන ජනාධිපතිවරයෙක්.

ඔහු උගතෙක්, බුද්ධිමතෙක්

රටේ ගොවි, කම්කරු ජනතාව, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව, සමානව නඟා සිටුවන්න පුළුවන්, සැබෑ සංවර්ධනය ගේන්න පුළුවන්, රටේ ජාතික සමගිය ගොඩනඟන්න පුළුවන්, ඒ වගේම මේ රටට යුක්තිය, සාධාරණය මනුෂ්‍යකම ගේන ජනාධිපතිවරයෙක් විය යුතුයි. ඒ සඳහා පත්කළ යුතු එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයායි.  ලකුණ මාලිමාවයි.

මේක පක්ෂ, පාට, ජාති, කුලමල පැත්තකට දාලා රටක් එක තැනකට ආයුතු මොහොතක්. එවැනි මොහොතක තමයි අපි කවුරුත් ඉන්නේ. මේ කටයුත්ත සඳහා රට සූදානම් වෙන  බව පෙළ ගැහෙන බව, රට පුරා යනකොට අපිට දකින්න ලැබෙනවා.

කතා අහල විතරක් මදි. කළ යුතු වැඩයද කරන්න ඕනැ.

අද එ.ජා.ප., රාජපක්ෂ කඳවුරු දෙකටම දුර්වලයෝ ඉදිරිපත් කරන්න සිද්ධවෙලා තිබෙනවා. වසර 20කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ කටයුතු කරලා, දේශපාලන ව්‍යාපාරයට වසර ගණනක් නායකත්වය සපයලා මේ රටේ ප්‍රගතිශිලී, බුද්ධිමත් ජනතාවට නායකත්වය දෙන්න සාමූහිකව වැඩකරන ව්‍යාපාරයකින් ඒකමතිකව නම් කරන ලද අපේක්ෂකයෙක් හැටියට ඇවිල්ලා, රටේ දැවැන්තම අමාත්‍යාංශයක් වෙච්ච කෘෂිකර්ම අමාත්‍යාංශයේ අංශ 04ක්ම හොඳින් මෙහෙයවලා, පාඩු ලබපු ලක්ෂ 500ක් ණය වෙලා තිබුණ මිල්කෝ ආයතනය මාස 14ක් යනකොට ලක්ෂ 2000ක් ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා, රටේ ගොවි ජනතාවට වැව්, අමුණු දහස් ගණනක් පිළිසකර කරලා දීලා, කිරිගොවි ගම්මාන 500යේ වැඩපිළිවෙළ ගෙනල්ලා, 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ දක්ෂතම ක්‍රියාකාරී මන්ත්‍රීවරයා ලෙස පිට පිට හය වතාවක් තේරුණ නායකයෙක් තමයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා  තියෙන්නේ.

අනුර සහෝදරයා කියන්නේ රටක් ගොඩ නඟන්න පුළුවන්, ඒ සඳහා සුදුසුකම් තිබෙන අපේක්ෂකයා.

මේක ජනාධිපතිවරණය මිස හොරාධිපතිවරණය නොවෙයි. හොරෙකු අධිපති කරන මැතිවරණයක් නොවෙයි. දූෂිත පාලනයකට තිත තියලා මෙරට නැවුම් මඟකට ගේන්න ඕන වෙලාවකයි අප, ඔබ අමතන්නේ. අපිට බුද්ධිමත්, සමගි සම්පන්න ටීම් එකක් ඉන්නවා. ජවසම්පන්න, එඩිතර ටීම් එකක් අපිට ඉන්නවා.

ප්‍රධාන යයි කියන පක්ෂවල අපේක්ෂකයෝ නම් කරන විට ඔවුන් සාමූහිකව සමඟිසම්පන්නව ගත්තු තීන්දු මත නම් කළාද? එකමුතුව ඒකමතිකව අපේක්ෂකයා නම් කළේ කොතනද? අනුර සහෝදරයා පොරකාල, ගේම් ගහලා නොවෙයි අපේක්ෂකයා වුණේ. අර අසමගිය, බලය ගත්තු ගමන් පුපුරලා යනවා. එවිට රටත් වට්ටලා ඉවරයි. සමගිය, එකමුතුකම, සහයෝගය අවශ්‍යයි, මේ රට ගොඩනඟන්න.

අපේ ව්‍යාපාරය ඇතුලේ මට ජනාධිපතිකම ඕනමයි, කියලා කවුරුත් පොරකෑවේ නැහැ. කුළල් කා ගත්තේත් නැහැ. ජාතික ජන බලවේගයේ සංවිධාන 30ම ඒකමතිකව තීන්දු කළා මේකට එකම සුදුස්සා අනුර සහෝදරයා කියලා. ඒ එකමුතුකම ම තමයි අනුර සහෝදරයාගේ නායකත්වයෙන් මේ රට ගොඩනඟන්නේ.

Recommended For You

About the Author: Editor