මහේන්ද්‍ර සිං දෝනි ‘එක්දින ක්‍රිකට් පිටියට’ ද සමුදෙයි ?

‘අපි ඉදිරියට යමින් තරුණයන්ට අවස්ථා ලබා දෙනවා’ මෙසේ පවසන්නේ ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී එම්.එස්.කේ. ප්‍රසාද්. ඔහු කතා කළේ ඉන්දිය එක්දින කණ්ඩායමේ කඩුළු රකින ක‍්‍රීඩක මහේන්ද‍්‍ර සිං දෝනිගෙන් හිස්වන තැන ගැනයි.

තේරීම් කමිටු ප‍්‍රධානියාගේ මේ ප‍්‍රකාශයට පදනම වැටෙන්නේ මේ වන විට ඉන්දීය ක‍්‍රිකට් කරළිය පුරා පැතිර යන අලුත්ම ආරංචියයි. ඉන්දිය මාධ්‍ය පවසන්නේ ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ එක්දින ක්‍රිකට් දිවියද අවසන් අදියරට පැමිණ ඇති බවයි.

දෝනි මේ වනවිට ටෙස්ට් පිටියෙන්ද විශ්‍රාම ගෙන සිටිනවා.

28 වැනි වියේ පසුවන ඉන්දිය හිටපු නායකයා අවසන්වරට ඉන්දීය කණ්ඩායම නියෝජනය කර ඇත්තේ ජුලි මාසයේදී එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයටයි.

තේරීම් කමිටු ප‍්‍රධානියා මෙසේද කියනවා.
‘දෝනිගෙන් අනතුරුව ඉන්දියාවේ අවධානය යොමුව ඇති අනෙක් කඩුලු රකින්නා වන රිෂාබ් පාන්ට් කෙරෙහි පමණයි. අපි ඉදිරියට යමින් තරුණයන්ට අවස්ථා ලබා දෙනවා’ ඔහු පවසනවා.

දෝනි ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 90ක්, එක්දින තරග 350ක් සහ විස්සයි විස්ස 98ක් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු 2007 සිට 2017 දක්වා කාලය තුළ එක්දින කණ්ඩායමේ නායකත්වය දැරැවා. දෝනිගේ නායකත්වයෙන් 2007 ලෝක විස්සයි විස්ස, 2011 ඉන්දියාවේ පැවති ඕවර 50 ලෝක කුසලාන හා 2013 චැම්පියන්ස් කුසලාන තරගාවලිවල ශූරතාවන් බවට පත් වුණා.

ඉන්දිය මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ සාර්ථකම නායකයා මහේන්ද්‍ර සිං දෝනියි. ඔහු ටෙස්ට්, එක්දින හා 20-20 තරගවල අති සාර්ථක නායකයෙක් බවයි පොදු පිළිගැනීම.

එක්දින ක්‍රිකට් පිටියේදී ශතක 10ක් සමගින් ලකුණු 10,773 ක් රැස් කළ ඇති දෝනි ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙක් වශයෙන් ද සැලකෙනවා.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කියන්නේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට දෝනිව එක් කර නොගැනීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බවයි.

Recommended For You

About the Author: Editor