Voice of දියවන්නා SLPP: ගෝඨාගෙන් ජනතාව කරන එකම ඉල්ලීම ‘රට බේරා දෙන්න’

සටහන – ගජබා නාගහවත්ත

ජනාධිපතිවරණ මෙහෙයුම නිසා පසුගිය සතියේ මහින්ද මෙන්ම ගෝඨාභය බෙහෙවින් අවිවේකී වී සිටියහ. පසුගිය සෙනසුරාදා ගම්පහත් ඉරිදා මාතර දිස්ත්‍රික්කයෙත් ජනහමු රාශියකට මේ දෙදෙනා සහභාගී වූහ. ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ, රාගම, මීගමුව, මීරිගම සහ දිවුලපිටියේ ජනහමු පහක් සෙනසුරාදා සංවිධාන කර තිබුණේ ප්‍රසන්නගේ නායකත්වයෙනි.

එම ජනහමු මාලාවේ අවසන් ජනරැලිය මීරිගම දී පැවැත්විණි. ගෝඨාභය සහ මහින්ද ජනහමු අවසන් කොට රාත්‍රී ආහාර ගැනීමට ගියේ කෝකිලාගේ නිවසටය. ප්‍රසන්න, ඩුලිප්, සුදර්ශනී, ලන්සා, සිසිර, ඉන්දික සහ රණවීර එම අවස්ථාවට එක්ව සිටියහ. මන්ත්‍රීවරුන් එහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු ගැනය. ගම්පහ දිස්ත්‍රික්කයේ අතිසාර්ථක රැස්වීම් මාලාව ගැන මහින්ද මෙන්ම ගෝඨාභයත් ප්‍රසන්නට ස්තුති කළහ.

ප‍්‍රසන්න ගම්පහින් දැවැන්ත ජයග‍්‍රහණක් ලබා දෙන බව මට විශ්වාසයි – මහින්ද

“ප්‍රසන්න හොඳට වැඩ ටික සංවිධාන කරලා තිබුණා. ඒ වගේම හොඳ ජන සහභාගීත්වයකුත් තිබුණා. අපට විශ්වාසයි ප්‍රසන්න ජනාධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලොකු ජයග්‍රහණයක් අරන් දෙන බව“ මහින්ද පැවසීය.

“ඒක ඇත්ත. මේ රැස්වීම් සේරම හොඳට සංවිධාන කරලා තිබුණා. විශේෂයෙන්ම කාල කළමනාකරණය නිසා එක තැනකවත් ප්‍රමාද නොවී පිළිවෙළට රැස්වීම් ටික ඉවර කරන්න පුළුවන් වුණා“ ගෝඨාභය පැවසීය.

ගම්පහ ජනතාව බලාන ඉන්නේ 16 වැනිදා ගෝඨාට කතිරය ගහන්න තමයි – ප‍්‍රසන්න

“ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ ඕනැම මැතිවරණයක තීරණාත්මක සාධකයක්. සර්ලා බය වෙන්න එපා ගම්පහින් දෙන්න පුළුවන් උපරිම ඡන්ද ටික මම අරගෙන දෙනවා. මේ ජනතාව 16 වැනි දා වෙනකම් බලන් ඉන්නේ ගෝඨාභය මහත්තයට කතිරය ගහන්න තමයි“ ප්‍රසන්න කීවේය.

“අපිට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවල හොඳ නායකත්වයක් ලැබෙනවා. ඒක අපිට ලොකු හයියක් සර්. කවදාටත් වඩා දැන් පිළිවෙළට දිස්ත්‍රිත්කයේ වැඩ ටික මෙහෙයවෙනවා“ කෝකිලා කීවේ ප්‍රසන්න දෙස බලමිනි.

“අපිට ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිම අභියෝගයක් නැහැ. සජිත් ප්‍රේමදාස තියා සක්කරයා ආවත් ගම්පහ ජනතාව ඉන්නේ ගෝඨාභය මහත්තයා එක්කයි“ ඉන්දික කීවේය.

අපේ ගම්වල කතෝලික ජනතාවට මේ ආණ්ඩුව දැන් තිත්ත වෙලා තියෙන්නේ – ලන්සා

“අපේ ගම්වල කතෝලික ජනතාවට මේ ආණ්ඩුව දැන් තිත්ත වෙලා තියෙන්නේ. ගිය පාර බඩ ගැන හිතලා කතිරෙ ගහපු මිනිස්සු සහරාන්ලගේ ත්‍රස්තවාදයත් එක්ක ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙන්න පටන් අරන්. ඒ අය දන්නවා ජාතික ආරක්ෂාව සුරැකෙන්න නම් ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්න ඕනේ කියලා“ ලන්සා පැවසීය.

“බුද්ධිමත් ජනතාවගේ එකම තේරීම වෙලා තියෙන්නේ පොහොට්ටුව. සජිත්ගේ කට නිසා පොහොට්ටුවේ ඡන්ද ඉහළ යනවා. ඒ නිසා අපි වැඩිය සජිත්ට බනින්න හොඳ නැහැ. පුළුවන් තරම් එයාව දිරිමත් කරන්න ඕනේ දවසකට එකක් ගාණෙවත් මෝඩ කතාවක් කියන්න කියලා“ රණවීර කී කතාවට කාටත් හිනාය.

“ඒක නම් ඇත්ත .දැන් අපේ ගම්වල මිනිස්සු හතට ටී. වී එක ඉස්සරහට යන්නේ අද මොන ගොන් කතාවක් කියයිද දන්නේ නැහැ කියලා“ ප්‍රසන්න පැවසීය.

ගෝඨාගෙන් ජනතාව කළ එකම ඉල්ලීම

මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ආසන මට්ටමේ රැස්වීම් රාශියක් පැවැත්විණි. මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, අකුරැස්ස, දෙවුන්දර, යටියන, මුලටියන ප්‍රදේශවල රැස්වීම්වලට ගෝඨාභය සහභාගී වූයේ ඉරිදාය. පළමුව වැලිගම නගරයේ ජනහමුවක් පැවැත්විණි.

ගෝඨාභය වැලිගමට ගියේ හෙලිකොප්ටරයෙනි. හෙලිකොප්ටරය නවතන තැන ගම්වාසීන් විශාල පිරිසක් එක්ව සිටයේ ගෝඨාභය දැකගැනීමටය. එතැන සිටි ජනතාව ගෝඨාභය වටකරගෙන ඉල්ලා සිටියේ එකම ඉල්ලීමකි. එනම් රට බේරා දෙන්න කියාය. එක් මවක් ගෝඨාභයගේ අත් අල්ලාගෙන මෙම ඉල්ලීම කළාය. එතැන සිටි තවත් අයකු ජාතිය සහ ආගම බේරා දෙන්නැයි ඉල්ලීය.

කුඩා තේ වතු හිමියන්ගේ ලොකුව ගැටලුවට ගෝඨාගෙන් විසදුම්

ගාල්ල තවලම ප්‍රදේශයේ පැවැති ජනහමුවකට ද ගෝඨාභය එම සතියේ සහභාගී විය. එතැන දී ගෝඨාභය හමුවීමට කුඩා තේ වතු හිමියන් පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් ගෝඨාභයට කීවේ කුඩා තේ කර්මාන්තය විනාශ වෙමින් යන බවය.

“අපට දැන් සිද්ධ වෙලා තියෙන්නේ මේ කර්මාන්තයෙන් ඉවත් වෙන්න. ජිවත් වෙන්න විදියක් නැහැ සර්“ ඔවුහූ කීහ.

“මම දන්නවා ඔයාලට ප්‍රශ්න තියෙනවා කියලා. කසළ තේ නේද ලොකුම ප්‍රශ්නය? ගෝඨාභය ඇසීය.

“ඔව් සර් ඒක තමයි ලොකුම ගැටලුව. අපේ තේ විනාශ වෙලා ගිහින් තියෙන්නේ කසළ තේ නිසයි. මේක අතහරිනවා ඇර වෙන විකල්පයක් නැහැ“ ඔවුහූ පැවසූහ.

“කලබල වෙන්න එපා. මම හැම ක්ෂේත්‍රයක් ගැනම හොයලා බලලා තියෙන්නේ. තේ කර්මාන්තය ගැන වෙනම සැලැස්මක් මගේ තියෙනවා. අපි එකතු වෙලා තේ කර්මාන්තය ගොඩගනිමු. අපේ ආණ්ඩුවක් ස්ථාපිත කරපු ගමන් මම තමුන්නාන්සේලාගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරනවා“ ගෝඨාභය ප්‍රතිඥා දුන්නේය.

ගෝඨාගෙන් උගත් තරුණයින්ට ප‍්‍රතිඥාවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ කළ සංචාරයක දී ගෝඨාභය තරුණයන් පිරිසක් සමඟ කරන කතාබහක් මේ දිනවල සමාජ මාධ්‍යවල අතිශයින් ජනප්‍රිය වී තිබේ. එතැන දී ගෝඨාභය සිය රථයේ සිට තරුණයන්ගෙන් අසන්නේ මොනවද කරන්නේ කියාය. උසස් පෙළ සමත් වෙලත් රැකියාවක් නැති බව එක් තරුණයකු කියයි.

“උසස් පෙළ සමත් වුණා වගේම මොනවා හරි තාක්ෂණික පාඨමාලාවක් හදාරන්න. මාස හයක් පාඨමාලාවක් හැදෑරුවොත් හොඳ රැකියාවකට යන්න පුළුවන්. අපේ ආණ්ඩුවක් ආවම අපි උසස් පෙළ සමත් හැම දරුවකුටම විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව උදා කරලා දෙනවා“ ගෝඨාභය ප්‍රතිඥා දුන්නේය.

ලබන වසරේ මාස හතරක කාලය සඳහා අතුරු සම්මත ගිනුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ අඟහරුවාදාය. පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ද එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තුවේ ලොබියේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කතාබහ කරමින් සිටියහ. රෝහිත, ප්‍රසන්න, ලන්සා, අරුන්දික ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් එහි සිටියහ.

පාස්කු ඉරිදා වාර්තාව හොරාගේ අම්මගෙන් පේන අහනවා වාගේ එකක්

“පාස්කු ප්‍රහාරය ගැන හොයන්න දාපු තේරීම් කාරක සභාවේ වාර්තාවත් අද දානවා. වැඩේ තියෙන්නේ බෝම්බ ගහපු අන්තවාදීන් එක්ක ගනුදෙනු කරපු හකීම්ලා හදපු වාර්තාවක් අපි පිළිගන්නේ කොහොමද කියන එකයි“ ලන්සා පැවසීය.

“ඒක නම් ඇත්ත තමයි. ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ වැඩක්. හකීම්ලා මේ අන්තවාදීන් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා අපි මුල ඉඳන්ම කිව්වා. රිෂාඩ්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනාපු වෙලාවේ හකීම්ලත් අයින් වුණේ සේරම එක වල්ලේ පොල් නිසයි“ ප්‍රසන්න කීවේය.

“දැන් හකීම් කියනවා එයා සහරාන්ලා දන්නේ නැහැලු. ගැබිණි කාන්තාවක් බලන්න ගිය ගමන් සහරාන්ගේ සහෝදරයත් හමුවුණාලු. හකීම් කියන විදියට සහරාන්ගේ සහෝදරයා ඉඳලා තියෙන්නෙත් ගැබිණි වාට්ටුවෙද කොහෙද? අරුන්දික කී කතාවට කාටත් හිනාය.

ගෝඨට බයේ රනිල් සජිත්ව බිල්ලට දුන්නා කියලා ජනතාව කියනවා

“සජිත්ගේ ගෝලයෙක් කියලා තිබුණා ලොක්කත් කොටි වල්ගේ අල්ල ගත්තා වගේ වැඩක් කරගත්තේ කියලා. ගෝඨාභය මහත්තයා එක්ක තරග කරලා දිනන්න බැරි නිසා රනිල් සජිත්ව බිල්ලට දුන්නා කියලයි ඒ අය කතා වෙන්නේ“ ප්‍රසන්න හෙළි කළේය.

“රනිල් තමා දවසකට හරි මිනිහා. දැන් බලන් යනකොට සජිත් දිනුවත් රනිල් දිනුම්. සජිත් පැරදුණත් රනිල් දිනුම්. සජිත්ට තමයි යන එන මං නැති වෙන්නේ“ රෝහිත පැවසීය.

බලන් යනකොට සජිත් දන්නේ නැහැ මිනිහා ඉන්නේ ආණ්ඩුවේ කියලවත්- අරුන්දික

“සමහරු දැන් විවේචනය කර කර යනවා ගෝඨාභයට කතා කරන්න බැහැ කියලා. හැබැයි කතා කරන්න පුළුවන් සජිත් පුතා කියන ගොන් කතා දැක්කම යූ. ඇන්.පී කාරයන්ටම හිතෙනවා ඇති මිනිහත් ගෝඨාභය මහත්තයා වගේ අදාළ දේ විතරක් කතා කරා නම් හොඳයි කියලා“ සොයිසා පැවසීය.

“මහින්ද මහත්තයා බෙලිඅත්තෙදි කිව්වා සජිත්ගේ ඡන්ද කඩා ගන්නේ සජිත්ගෙ කටමයි කියලා. ආණ්ඩුවේ ඉඳගෙන සජිත් දැන් විපක්ෂයේ අපිටත් වඩා ආණ්ඩුව විවේචනය කරනවා. බලන් යනකොට සජිත් දන්නේ නැහැ මිනිහා ඉන්නේ ආණ්ඩුවේ කියලවත්“ අරුන්දික පැවසීය.

“ගමේ මිනිස්සු දැන් බලන් ඉන්නේ 16 වැනි දා වෙනකම්. සජිත්ගේ ගොන් කතා සේරමට එදාට පිළිතුරු ලැබෙයි. මිනිස්සුන්ගෙ පුදුම උනන්දුවක් තියෙන්නේ ඡන්දය දාන්න“ ප්‍රසන්න කීවේය.

Recommended For You

About the Author: Editor