අධ්‍යාපනයෙන් ‘හෙම්බත්’ වුණු දරුවා ‘නිදහස’ බලාපොරොත්තු වනවා

මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළලේ විවෘත අංශයේ හොඳම ළමා නාට්‍ය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ ‘හසිත විමුක්ති බලංගොඩ ’ විසින් අධ්‍යක්ෂණය කළ ‘මම මීයෙක් නොවෙයි’ ළමා නාට්‍යයි. මේ හසිත තම නිර්මාණය හා එහි පසුබිම ගැන දක්වන අදහස්.

විවෘත අංශයේ හොදම ළමා නාට්‍ය ඔබ නිර්මාණය කළ “මම මීයෙක් නොවෙයි” ළමා නාට්‍ය මෙහි පසුබිම කෙටියෙන් විස්තර කළොත් ?

මෙහි ප්‍රධාන චරිත විදිහට ගොඩනැඟෙන්නේ දරුවකු සහ මී පැටවකු පිළිබඳව සංවාදයක් ඇසුරෙනුයි. මෙහි දරුවකුට හමුවන මී පැටවකු එකිනෙකා ඔවුන්ගේ හිත් දෙක මාරු කරගන්නට එකඟ වනවා.

අධ්‍යාපනයෙන් හෙම්බත් වුණු දරුවා නිදහස බලාපොරොත්තු වනවා. නිදහසේ ජීවත්වන මී පැටවා ඉගෙන ගන්න කැමතියි. ඒ නිසා ළමයා නිදහසේ ජීවත් වන්නටත් මී පැටවා ඉගෙන ගන්නටත් මෙහිදී තිරණය කරනවා. දරුවා කවි ලියන්න දක්ෂ කෙනෙක් ඇය ලියූ කවියක් මී පැටවා විසින් පාසලේ එක්තරා තරගයකට යොමුකරනවා. මේ කවිය මහ ඉහළින් ඇගයීමට ලක්වනවා. යහළුවන් ගුරුවරුන් විස්මයට පත් වනවා. මී මිතුරා ඇයට කළ උදව්ව තුළින් ඇයගේ දක්ෂතාවන් සමාජය තුළ ඉස්මතු වනවා. වර්තමානයේ පවා සමහරවිට අපේ හැකියාව ප්‍රයෝජනයට ගන්නේ වෙනත් අයෙක් . දරුවන්ට ජීවිතය පිළිබඳව යටි පෙළක් එක්කරන කතාවක් විදිහට මම මීයෙක් නොවෙයි නාට්‍ය නිර්මාණය වන්නේ.

මෙම නාට්‍ය නිර්මාණය කිරීම සඳහා මූලික වූ පිරිස හා ලැබුණු ඇගයීම් පිළිබඳව සිහිපත් කළොත්. ?

මෙහි පිටපත රචයට කරන්ට සම්බන්ධ වෙනවා බුද්ධිමා අභයසිංහ. ඇය හොඳම පිටපත සඳහා මෙවර සම්මාන ලබනවා. එමෙන්ම හොඳම නිළිය සම්මානය දේදුනු කළුපහන, හොඳම නළුවා ලක්මාල් මධුසංඛ, හොඳම සහාය නිළිය තිලිණා වික්‍රමසිංහ, හොඳම සහාය නළුවා, රිෂිත කසුන් හොඳම සංගීතය, සුදර්ශන ක්‍රිෂාන්ත, හොඳම වේශ නිරූපණය රන්දික ක්‍රිශාන්ත. උළෙලේ හොඳම නාට්‍ය නිර්මාණ සඳහා මා හටත් සම්මාන හිමි වෙනවා. එදා මෙදා තුර ළමා නාට්‍ය සම්මාන උළෙලකදී ප්‍රධාන සම්මාන සියල්ලම දිනාගන්න ප්‍රථම අවස්ථා විදිහටයි මෙය සැලකෙන්නේ.

මෙම නාට්‍ය ළමුන් අතරට ගෙනයන්න කිසියම් වැඩපිළිවෙළක් පවතිනවාද ?

දැනට මෙම නාට්‍ය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය උළෙල සඳහා ඇරයුම් ලැබී තිබෙනවා. එමෙන්ම මහල්වරාව බේකරිය පරිශ්‍රයේ ළමා නාට්‍ය උළෙල සඳහා ආරාධනා ලැබී තියෙනවා. දිවයින පුරා මෙම නාට්‍ය ප්‍රදර්ශනය සඳහා කිසියම් ආයතනයක් හෝ පුද්ගලයකු ආරාධනා කළොත් අපි නාට්‍ය ප්‍රදර්ශණයට සූදානම්. එමෙන්ම විදේශීය නාට්‍ය උළෙල කිහිපයකටත් මෙම නාට්‍ය ඉදිරිපත් කිරීමට කිරීමට බලාපොරොත්තු වෙනවා.

නිර්මාණකරණයේදී ළමා නාට්‍ය ක්ෂේත්‍රය තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද ?

ළමා නාට්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන නාට්‍ය සහ යොවුන් නාට්‍ය අතුරින් විශේෂ වනවා. ළමා පරපුර කලාව හා සෞන්දර්යයෙන් නිර්මාණශීලීව ඉදිරියට ගන්න මේ මාධ්‍යයට හැකිවනවා. දරුවකුට ළමා කාලයේදීම තමන්ව හඳුනා ගන්න වැඩිහිටියන් විසින් ඉඩකඩක් නිර්මාණය කර දිය යුතුයි. බොහෝවිට වැඩිහිටියන්ගේ අරමුණු ළමුන් තුළින් ඉටුකරගන්නට බොහෝ මව්පියන් පවා කටයුතු කරන්නේ. දරුවන්ගේ රුචි අරුචිකම් හඳුනා ගෙන ඔහුන්ට ඉදිරියට එන්න ඉඩකඩක් ලබා දිය යුතුයි කියලයි, මම නම් විශ්වාස කරන්නෙ. නිර්මාණශීලී පුද්ගලයකු බිහිවන්නේ ළමා කාලය තුළ ඔවුන් ලබන මේ අත්දැකීම් තුළිනුයි. නාට්‍ය ක්ෂේත්‍රයේ දී මා වැඩිදුරටත් නාට්‍ය කාලාව අධ්‍යයනය කරන්නේ ජාතික තරුණ සේවා සභාවේ දෙදහස් දහය වසරේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හැදෑරීමෙන් පසුවයි. විශේෂයෙන් එහිදී සමන් චන්දන ගුරුතුමාගේ ළමා නාට්‍යවලට සම්බන්ධවීමට ලැබීම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. එමෙන්ම පාසල් වියේ ළමුන් සමග නිරන්තරයෙන් වැඩමුළු ආදිය පැවැත්වීම තුළින් ලබාගත් අත්දැකීමත් ළමා නාට්‍යකරණයට යොමුවීමට විශේෂ හේතුවක් වුණා.

මේ කටයුත්තේදී උදව් කරපු පිරිස මතක් කළොත් ?

නාට්‍යයට සම්බන්ධ වුණා සියලුම ශිල්පීන් මෙතනදි මතක් කරන්න ඕනා. ඒ වගේම දෙමාපියන් හා ගුරුවරුන්ගෙන් ලැබුණු අවවාදත් මේ ගමනට විශේෂයෙන් බලපෑවා. නාට්‍ය නිර්මාණය සඳහා විරාජ් ලියනාරච්චි, වනචාමල් රණසිංහ, මලිත් යන අයියලාගෙන් ලැබුණු සහයෝගයත් විශේෂයෙන් මතක් කරනවා. මේ නාට්‍ය නිෂ්පාදනය සඳහා පර්යේෂණයක නියැළෙන සිදුවුණා. එහිදීත් දරුවන් ආශ්‍රතව ඇතිවෙන ඔටිසම් රෝගී තත්ත්වය පිළිබඳව අධ්‍යයනයක නියැළුණා. ඒ කටයුත්තට උදව් කරපු සියල්ලටත් බෙහෙවින් ස්තුති වන්ත වෙනවා.

Recommended For You

About the Author: Editor