ඔසු තුරු සෙවණට එන්න: හල්දුම්මුල්ල ජාතික ඔසු උයන

ජ්‍යොතීස්මතී හෙවත් දුහුඳු වැලක් දිගට දිගේ ඇදී මහ තුරෙක බඳ වෙලාගෙන අහසට හිස ඔසවමින් සිටියි. කලෙක ලක්දිවෙන් තුරන්ව ගියැයි සළකා රතු දත්ත පොතටද ඇතුළත්ව තිබූ දුහුඳු ලතාව ආයුර්වේදයටත් දේශීය වෙදකමටත් කණක වැලකි. බුද්ධි වර්ධනයට හේතු වෙතැයි වෙදකමේ සඳහන් දුහුඳු තෙලෙහි මූලය මේ අගනා ලතාවය.

”ඉස්සර කාලේ අම්මලා දුහුඳු තෙල් බිංදුුවක් ගිනිකූරකින් අරගෙන දරුවන්ගෙ දිවේ ගෑවලූ මොළේ වැඩෙන්න. රාහුල හාමුදුරුවො සරස්වතී තෙල හදද්දී මේ තෙල් ටිකක් වැඩිපුර දාලත් අලකලංචියක් වුණා කියනවනේ. අදත් සරස්වතී පූජාවෙදී පහන් පත්තු කරනකොට දුහුඳු තෙල් බිංදුවක් දානවලූ ළඟපාත ඉන්න දරුවන්ට සුවඳ දැනුනත් ඇති කියලා. අපේ ගම්වල මිනිස්සු අතරේ පරණ කතාවක් තියෙනවා මහෞෂධ පණ්ඩිතයන්ගේ අම්මා මේ තෙල් බිංදුවක් පිහාටුවකට අරන් හත්පාරක් ගසාලාලා එතුමගේ දිවේ ගෑවා කියලා. ඒකනේ උන්නාන්සෙ මහා පණ්ඩිතයෙක් වුණේ”. මේ දුහුඳු තෙලෙහි වටිනාකම උද්දීපනය කෙරෙන ජනශ‍්‍රැතියයි.

දැන් මෙරටට දුහුඳු තෙල් ගෙනෙන්නේ ඉන්දියාවෙනි. ඒ වසර ගණනක් තිස්සේ මේ අගනා ලතාව මෙරටින් අතුරුදන්ව තිබුණැයි විශ්වාස කළ හෙයිනි. බලංගොඩ පැත්තේ වනගතව තිබී නැවත සොයාගෙන රෝපණය කරන ලදුව මහවැල්ව ඇදී ඉර එළිය සොයන දුහුඳු ලතාවක් සෙවණේ සිට විස්තර කරන්නී ආයුර්වේද සේවා සහායක ස්වර්ණලතාය. 1986 අවුරුද්දේ හල්දුම්මුල්ල ජාතික පර්යේෂණ ඖෂධ උද්‍යානය ආරම්භ කළ අවස්ථාවේ සිට එහි සේවය කරන ස්වර්ණලතා ඇතුලූ පැරණි සේවක සේවිකාවන් කිහිප දෙනෙකුට ඇත්තේ ඔසුතුරු පිළිබඳ විස්මිත දැනුමකි. ඒ පොත පතින් ලද දැනුමක් නොව අත්දැකීමෙන් හා කලක් තිස්සේ දැනුම සොයා එන්නවුන්ට විස්තර කිරීමෙන් වැඩුනු ස්මෘතියයි.

බෙරගලට නුදුරේ හල්දුම්මුල්ල බත්ගොඩ අක්කර 65ක බිමෙහි මේ ජාතික සම්පත ආරම්භ කරන සමයේ අත්හැර දැමූ තේ වගාවක ශේෂ වී තිබුණේ පතනක් වැනි ලන්දකි. ඒ දේශීය වෙදකම භාර ඇමතිවරයා ලෙස හපුතලේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොකුබණ්ඩාර කටයුතු කළ සමයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාරය ඇතිව වසර සියයකින් එහා පරම්පරාවකට දැවැන්ත උරුමයක් දායාද කරලීමේ මේ කාර්යයට කෘෂි විද්‍යාඥ සම්මානිත මහාචාර්ය පියල් මාරසිංහ වැනි සුධීමතුන්ගේ දායකත්වය නොඅඩුව ලැබුණි. ස්වර්ණලතාලා වැනි ආරම්භක සේවක පිරිසේ දහදිය මහන්සිය අද වසර තිහකදී දැවැන්ත ජාතික සම්පතක් නිර්මාණය කර ඇති අතර ලොකු බණ්ඩාර මහත්තයාටද බණපොත් බෙදීමෙන් එහා ගිය මහා යුතුකමක මතකය ඉතිරිව ඇත.

චන්දන හෙවණේ

උද්‍යාන පාලක ඒකනායක මහත්තයාගේ ඇණවුමෙන් උයන වටා අප ඇවිදවන්නට ඔසුතුරු වරුණ පෙන්වන්නට ආ ස්වර්ණලතා කරඳ හා ශ්වේත චන්දන යායක් මැදින් ගමන අරඹන්නීය. කරඳ මතකයට නංවන්නේ සිංහල අවුරුද්දට හිස්තෙල් ගාන දා ය. සුඳු හඳුන් නම් බණ්ඩාරවෙල, වැලිමඩ හා බෙලිහුල්ඔය පෙදෙස් වල බොහෝසෙයින් වැවෙන්නේ දැන් දැන් සංවිධානාත්මක ජාවාරම්කරුවන් පන්සල් වලින් හා පාසල් බිම්වලින් පවා මුල් පිටින් උදුරා ගෙන යෑම සිදුවේ. ඒ අඩුව සපුරන්නට නොසෑහෙතත් මේ අර්ධ පරපෝෂී ශාඛය විද්‍යාත්මක ක‍්‍රමවේද වලට වවා (සුදු හඳුන් ශාඛය වැඞී සෙසු ගස්වල මූල පද්ධතිය හා සම්බන්ධ වනතුරු එය සිටුවිය යුත්තේ සීඝ‍්‍රයෙන් නයිට‍්‍රජන් නිපදවන ශාඛයක් සමගය) ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ සද්කාර්යයටද හල්දුම්මුල්ල ඔසු උයන අතගසා ඇත. එය වඩාත් වටින්නේ පසුගිය කාලයේ ඇතැම් පළාත්වල රාජ්‍ය අනුග‍්‍රහයෙන් සුදු හඳුන් යැයි කියා ජනතාව අතර කොකේන් පැල බෙදාදුන් හා අදටද ඇතැම් පැල තවාන්කරුවන් කොකේන් හා සුදු හඳුන් පටලවා ගෙන සිටින පසුබිමකය.

කොකේන්

හල්දුම්මුල්ල ඔසු උයනේ සුදු හඳුන් මෙන්ම කොකේන් ශාඛද නිදර්ශක ලෙස භාවිතා කරන්නේ වරද නිවැරදි කරගන්නටය. කොකේන් පත‍්‍ර පත‍්‍රිකා ඒකාන්තරව මෙන්ම අහසට යොමුව තිබියදී හඳුන් පත‍්‍ර පත‍්‍රිකා සමාන්තරව හා පොළවට යොමුව තිබේ. මේ එකිනෙකෙහි ඵලයද පැහැයෙන් පෙනුමෙන් වෙනස්ය.

තවත් තැනෙක ස්වර්ණලතා අපට දක්වන්නේ රනිල කුලයට අයත් යැයි බැලූ බැල්මට දිසෙන ප‍්‍රාණජීව ය. හිරු එළියේ එහි පත‍්‍ර මූලයේ ඇති කුඩා අනු පත‍්‍ර නර්ථනයේ යෙදෙයි. නටන්නට පණ ඇති හෙයින් මේ පැලෑටිය ප‍්‍රාණ ජීව ලෙස අභිධාන ගතව ඇත. ස්නායු උත්තේජකයක් ලෙස බුහුමනට ලක්වූ ප‍්‍රාණජීව වටිනාකම අද සුපිරි වෙළඳසැල් වල ඉහළ මිලකට විකිණෙන ප‍්‍රාණජීව ටොනික් ලෙස කරළියට විත් තිබේ.

ස්වර්ණලතා

උයන් සක්මනෙහි තැනෙක මට රස කුරක්කන් හැලප සිහිවුණේ බූ කැන්ද ගස් දැකීමෙනි. හැලප ඔතන්නේ ඒවායින් නොවුණද කැන්ද නම් හැලපමය. එහෙත් ස්වර්ණලතා මා නිවැරදි කරන්නී ඒ කැන්ද නොව ඇත් දෙමටය. මා බැලිය යුත්තේ ගස මුලය. සැබෑවටම එය අලි කකුලක හැඩය ගත් කඳ මුලෙන් සැදි ඔසු තුරෙකි. ගස පියකරුය. මල්ද එසේම වන්නේ ඉදුණු ඵලවල මිහිරි සුවඳ පැණි වරකා සිහිකරමින් රිලවුන්ට භෝජන සංග‍්‍රහ පවත්වයි. ”දශමූලාරිෂ්ඨ හදනකොට ඇත්දෙමට නැතිව බෑ. ඒකට ගන්නවා හීන් පස්මුල් මහ පස්මුල් කියලා ජාති දහයක්. හීන් පස්මුල් කියනවා නම් , කටුවැල්බටු, හීන් නෙරෙංචි, පොල්පලා, අස්වැන්න වගේ ජාති. ඒවාට ආදේශකත් තියෙනවා. මහ පස්මුල්වලට ආදේශක නෑ. ඒවා තමයි ඇත්දෙමට, තොටිල, පළොල්, හීන්මිදි, බෙලි” ඒ ස්වර්ණලතාගේ භාවිත ඥාණයයි. අරත්ත පවුලේ රත්කිහිරිය ගොන්න ඊට එපිටිනි. ඒවායේ රත්මිණි මල් උයනේ සිරිය නංවයි.

ඇත්දෙමට

ඇත්දෙමට ගස්වල අසල්වැසියෝ කුකුරුමාන් යායකි. ස්වර්ණලතා පවසන අන්දමට පාසල් වල ඔසු උයන් තනන්නට කුමන ඔසු පැළයක් ලබාදුන්නද මේවා නොදෙන්නේ පේර ගෙඩිවල පෙනුම ඇති කුරුල්ලන්ද නොකන කුකුරුමාන් කෑ විට අධිකව වමනය ඇතිවිය හැකි බැවිනි. දේශීය වෙදකමෙහි උග‍්‍රවිෂ ශාඛද විෂ හරණය කොට සුව සදන්නට යොදාගනී. ඒ අනුව නියඟලා ද ඔසුවක් ලෙස භාවිතා කරන අවස්ථා තිබේ. මේ ඔසු උයනේ ඇති විෂහරණය කොට වෙදකමට යොදාගන්නා අතිශය විෂ ශාඛයක් ලෙස රත් නෙටොල් හැඳින්විය හැකිය. ජනප‍්‍රවාදයන්ට අනුව රත්නෙටොලේ රූපත් මල් පොකුර පිපෙන කාලයට ඒ ඉහළින් යන ගැබිණියකගේ ගර්භහරණයට ඉඩ ඇත. විෂ නසා වෙදකමට ගන්නා එහි අලයක් ඉනේ බැඳගතහොත් හාල් නැළියක බත් බුදින්නට පුලූවන. එහෙත් ඒකනායක මහත්තයා කියන හැටියට මේ අලයක් ඉණේ බඬේ රුවා ගන්නේ මැරෙන්නට බය නැති මිනිහෙකි.

කුකුරුමාන්

අත්හදා බැලීම් වලට ඉඩ

වෘක්ෂ ලෝකය පුදුමාකාරය. ඇතැම් විට ඒවාට ලැබී ඇත්තේ විස්මිත හැකියාවන්ය. උයනේ එක් ආරක්ෂිත ගෘහයක් අසබඩ වැවුණු ඕවලාකාර පත‍්‍ර සහිත වැල් ගොන්නකි. නමින් මස්බැද්ද නම් වූ එහි නව පැල ජනනය කරන්නට සේවක පිරිස මහත් වෑයමක් දරති. ඔවුන් අපට ආරාධනා කළේ අත්හදාබැලීමකටය. පළමු පියවර මස්බැද්ද පත‍්‍රයක් හොඳින් විකා ගිලීමය. අනතුරුව මොහොතක් ඉවසා සිටීමෙන් පසුව සීනි අහුරක් අතට ලැබෙන්නේ මුවෙහි රුවා ගෙන සපන්නටය. වෙනදා සීනි වලින් දැනෙන පැණි රස නොදැනෙන්නේ මස්බැද්ද පැණි රස උදුරාගෙන ඇති නිසාය. සීනි කෑම වැලි කෑම වැනිය. මේ ශාඛය මධුමේහයට ඔසු නිපදවන්නට අගනා මූලයකැයි කියවේ.

ඔසු උයනේ බීජ බැංකුව භාරව කටයුතු කරන වජිරා මීළඟ අත්හදා බැලීමට අපට ආරාධනා කළාය. ඒ කුඩා අක්මැල්ල පැලෑටියේ පුෂ්පය ඇසුරෙනි. කළ යුත්තේ මේ පුෂ්පයක් හොඳින් සපා ගිල දැමීමය. මොහොතකින් ඔබේ දත් කුට්ටමම හිරි වැටී දිව අතුරුදන් ව ඇති බවක් දැනෙන්නට පටන් ගනී. කැට තබා කිව හැකිය. පැයක් පමණ දැනෙන මේ සංවේදනය අතරතුර හොඳ දත් ගලවන්නෙකුට ඔබේ දතක් ගලවා ගත හැකිය. මහාචාර්ය පියල් මාරසිංහ පවසන අන්දමට අක්මැල්ල දේශීය වෙදකමෙහි ශල්‍යකර්ම වලදී නිර්වින්දකයක් ලෙස භාවිතා කෙරී ඇත.

කට දිව හිරිවට්ටවාගෙන අප හැරුණු මග මුලම අඳු යායකි. ඒවාට අකැමැත්තේ නයින් යැයි මතයකි. පොඩි කළ අඳු පත් සුවඳට අප තුළද ඇතිවූයේ අකැමැත්තකි. ආයුර්වේදයේ රස වෙදකමට ලෝහ භෂ්ම ආදියද යොදා ගැනෙන අතර ලෝහමය ගුණදෙන හෙයින් රස වෙදකමේදී වැදගත් හම්පිල කුඩා විළඳ ශාඛය බෙහෙවින් අලංකාර වෘක්ෂයකි. අතරමැදි කලාපීය හල්දුම්මුල්ල ඔසු උයනේ වවා ඇති කටුපිල බහුලව වැවෙන්නේ වියලි කලාපයේය. පිළිකාවක් හඳුනාගත් විගස පොතු හා කොළ කැඳ සාදා බොන්නේ නම් එය ව්‍යාප්ත වීම වැළකෙන බවට මතයක් මෑත කාලයේ ප‍්‍රචලිත වීම නිසා මහරගම පිළිකා රෝහල අවටද කටුපිල මිටි බැඳ විකුණන අන්දම දැකගත හැකිය.

බීජ බැංකුවයි උයන් ගෙවලූයි

ඔසු උයනේ වැදගත් ස්ථානයක් වන බීජ බැංකුව දුර්ලභ ඔසු තුරු අනාගතයට ව්‍යාප්ත කිරීමටද නිදර්ශක සැපයීමටද කටයුතු කරන අතර විස්තරාත්මක අවබෝධයක් උනන්දු වන්නන්ට ලබාදීමට අවකාශ සළසා ඇත. එහි වේලෙන මලිත මල් ඉසියුම් මධු සුවඳකින් නැහැ පුඩු කිති කවයි. වජිරාට අනුව වියලි මලිත මල් යොදාගන්නේ අරිෂ්ඨ ආසව වැනි දේ සන්ධානයටයි. ”අරිෂ්ඨ ආසව උණුකරලා හදනවා වගේම සන්ධානයෙන් නැත්නම් පැසීමෙන් හදාගන්න ක‍්‍රමේකුත් තියෙනවා. පැහෙන්න නම් මධ්‍යසාර ඕන. මේ මලිත මල් මද පවනේ වේලපුවම ඒවයේ පැණි ගතිය මලටම උරාගෙන වේලෙනවා. එතකොට අරිෂ්ඨ ආසව පැහෙන්න ඕන අඩුවැඩිය ලැබෙනවා.” ඇගේ විස්තරය අසන අතර මලිත සුවඳට ඉව කරන මගේ හිතුවක්කාර හිත මතක් කරන්නේ බීර මල්ය.

වීදුරු ගෙයක් සහ ආරක්ෂිත ගෘහ කිහිපයක් මේ උයනේ ස්ථාපිත කිරීමේදී ජපනුන්ගේ උදව්ව ද ලැබුණු බව අසන්නට ලැබුණි. ඒ අතර ජපනා හීන්සීරුවේ අපේ කොතල හිඹුටු ඩැහැගත් අමිහිරි අතීතයක්ද තිබේ. කෙසේ වෙතත් මේ උයන් ගෘහවල අද ආරක්ෂිතව දිවි ගෙවන්නේ අගනා හෙළ ඔසුය. හීන් හැඩයා, මහ හැඩයා, ගරුඬරාජ වැනි අලංකාරික පැලෑටි අතර ලතා කස්තුරි ආදේශකයක් වන කපු කිණිස්ස වැනි සුලබ ශාඛ සේම ලියුකේමියාවට බෙහෙත් හදන දුර්ලභ එක්පෙති පියුම්ද එහි වේ.

බිං කොහොඹ

ඌවේ ඈත ගම්වලත්, දිගාමඬුලූ බිම්තැන්නේ හා පානම් පත්තුවේත් මිනිස්සු තවම උණෙන් බේරෙන්නට තම්බා බොන බිං කොහොඹ මෙහි රැකෙන බෝවෙන දකින්නට හැකි වටිනාම ශාඛයයි. සෙවණ ප‍්‍රිය කරන මහ කැලේ වැවෙන බිං කොහොඹ වලට වළස්සු බොහෝම මනාප බව පහළ ඌවේ වනගත මිනිස්සු දනිති. කාලයක් බෝ කරගැනීම අසිරුව තිබුණු ඒවා අද සම්මත තත්ව යටතේ මනාව වැවී සුපුෂ්පිතව තිබේ. වෙළඳපොල වටිනාකම ඉතාම ඉහළ බිං කොහොඹ කිලෝවක් මේ වනවිට සිල්ලරේ අලෙවි වන්නේ රුපියල් 16000 කට පමණය. එහෙත් වනයේ බිං කොහොඹ උදුරා විකිණීම තහනම්ය. එහෙත් වැද්දාගේ පටන් ගැමියා දක්වා දායක වන බිං කොහොඹ ජාවාරමක් ළිහිණි කූඩු ජාවාරම සේම ඌවේ තිබේ. පත‍්‍රයක තිබෙන පත‍්‍රිකා ගණන අනුව වර්ග කිහිපයක් ලෙස දෘශ්‍යමාන වෙනසක් තිබුණත් මෙය අසමසම ගුණදෙන ප‍්‍රමුඛ ඔසුවකි.

ආරක්ෂිත ගෘහ ඇසුරේ වැඩෙන මීවන පවුලට අයත් ඉතා කුඩා තල් ගසක් වැනි සංජීවනී ශාඛය තවත් වටිනා ඔසුවකි. ජනවහරට අනුව රාම රාවණා යුද්ධයේදී ලක්ෂ්මණට පණ පිහිටුවන්නට වහා ගොස් ගෙනෙන්නැයි රාමා හනුමාන්ට අණ කළේ මේ ඔසුවයි. එහි නම අමතක වූයෙන් හනුමාන් කන්දක් පිටින් ඔසවා ගෙනෙන ලදුව මෙහි බෝ වුණු සංජීවනී ගුණ මහිමය ගැමියා දන්නේය. ඇඟ මහන්සි කරවන ගම්මු ?ට සංජීවනී පත‍්‍ර කිහිපයක් තලා වතුරට දමා උදේට පානය කරන්නේ අලූත් පණක් ලබන්නටය. ඔවුන්ට අනුව ජීවිතය දෙන හෙයින් සංජීවනී යැයි නම් ලද මින් යුෂ බිංදු කිහිපයක් මරණාසන්න වූවෙකුට දිය හැකි නම් තවත් මොහොතක් හෝ පණ රඳවා ගන්නට හැකියාව ඇත.

උයන් තෙර හිඳ

ස්වර්ණලතාත් කැටුව උයනේ ඇවිද ආ විට වෙහෙසක් නොදැනෙන්නේ ඔසු රුක් සිඹින නැවුම් වාතය නිසාමය. මෙහි පවසන්නට බැරි තරම් ඔසු තුරු ඇති මෙය ජාතික ඖෂධ උද්‍යානයයි. එය කෙළවරෙහි ජපනාගේ හපන්කමෙන් අපට අහිමිව පෙත්තක් බවට පත්වුණු කොතල හිඹුටු වගාවකි. මෙපිට ඉතා සෙමින් වැඩෙන බැලූ බැල්මට ගම්මාලූ හා සමාන පෙනුමැති රත්හඳුන් ගස් පෙළය. මේ සියල්ල නරඹන්නට ඔබ කළ යුත්තේ පේරාදෙණියට හග්ගලට යන්නාක් මෙන්ම හල්දුම්මුල්ලටද ඒමය. ඇතුල්වීම නොමිලේය. විස්තර හා මගපෙන්වීමද නොමිලේය.

ඔබ පොරොන්දු විය යුත්තේ ඔසු තුරු වලට හිංසා නොකර ඒවායේ හෙවණ විඳින්නටය. හපුතල කඳුවැටිය අද්දර ඈත ක්ෂිතිජය තෙක් දකින්නට හැකි මේ බිම සැබවින්ම සංචාරක නිකේතනයකි. උද්‍යානය භාරව කටයුතු කරන ඒකනායක මහත්තයා පවසන්නේ ඔබට මෙහි ඇති නේවාසිකාගාරයේ හා සංචාරක නිවාසයේ නවතින්නටද අවස්ථාව ඇති බවය. ඒ වෙනුවෙන් හා රසවත් ගැමි ආහාර පාන සඳහා ඉතා සාධාරණ මුදලක් අය කරනු ලබයි. ඊට සෑහෙන්නට අයස්කාන්ත දර්ශන හා පිරිසිදු වාතයද කුරුලූ අභයභූමියක තරමට ඉන්නා කුරුල්ලන්ද ඔබට ජීවිතයේ චමත්කාරය කියාදෙනු ඇත.

සංචාරක සටහන – ලසන්ත ද සිල්වා

Recommended For You

About the Author: Editor