මෛත‍්‍රී තව දුරටත් ‘සක‍්‍රීය දේශපාලනයේ ’ යෙදෙන්න කැමතිලු

‘විවේක සුවයට වඩා සක‍්‍රිය දේශපාලනයට මා ඇළුම් කරමි’ සිය ට්වීටර් ගිනුමේ මේ සටහන තබන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතායි.

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය එළඹෙන නොවැබ්මර් 17 වැනිදා නිල වශයෙන් අවසන් වෙනවා. මේ අතර දේශපාලන කරළිය තුළ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි පියවර ගැන කතා බොහොමයක් තිබෙනවා.

ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ සිරිසේන මහතා ‘ජාතික ලැයිස්තු’ මන්ත‍්‍රීවරයෙක් ලෙස වහාම පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බවයි. ඒත් ඒ බව නිල වශයෙන් තහවුරු වී නැහැ. කෙසේ වෙතත් 2015 ජනවාරි 09 වැනිදා ජනාධිපති පදවියට පත් වත්මන් ජනපතිවරයා කළ ප‍්‍රකාශ, දුන් පොරොන්දු සහ ඔහුගේ භාවිතය ගැන සමාජය තුළ දැඩි විවේචනයක් තිබෙනවා.

ඒ පිළිබඳ පොදු අදහස වන්නේ ‘ඔහු 2015 ජනතා අපේක්ෂා නිර්ලජ්ජිත ලෙස පවා දුන් බවයි. එමෙන්ම ජනපතිවරයා මහත් ආශාවෙන් සිටි ‘එකෙක් හෝ එල්ල’ අසාව ඉටු නොවීම ගැනත් බොහෝ දෙනෙක් කතා කරනවා.

මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව, බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තා සේම පසුගිය පාස්කු ඉරිදා ප‍්‍ර‍්‍රහාරට පිළිබඳ පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පවා ජනපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළේ නැහැ.

එමෙන්ම 2015 ජනාධිපතිවරණයේදී ලබා දුන් බොහෝ පොරොන්දු ඉටු නොවුණා පමණක් නොව අසීරුවෙන් සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවා ජනපති සිරිසේනගේ ‘නිග‍්‍රයට’ ලක් වුණා.

මේ තත්ත්වය තුළ වත්මන් ජනපතිවරයාගේ ‘සක‍්‍රිය දේශපාලනයට ’ ඇති කැමැත්ත බොහෝ දෙනෙක් තුළ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

‘ජනාධිපති වෙලත් නොකළ දේවල් ඔහු සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙක් වෙලා කෙසේ කරන්නද ?’ ‘ඔහු ලක්ෂ 62ක අපේක්ෂා පාවා දුන්නා. ඔහු නැවත දේශපාලනයට සුදුසු නැහැ’ ‘ඔබ කිව්වා නේද පොළොන්නරුවට ගිහින් ගොවිතැන් කරනවා කියලා. දැන් ගොවිතැන් කරන්න හිතන් ඉන්නේ කොළඹ 07 ද?’ ආදි වශයෙන් විවිධ ප‍්‍රකාශ මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා. ඒ අති බහුතර තුළ තිබෙන්නේ ‘දැඩි විරෝධී’ ආකල්පයක්.

Recommended For You

About the Author: Editor