රාජ්‍ය රහස්: පාස්කු ඉරිදා කාරක සභා වාර්තාව ‘ රට නොමග යවන’ ලියවිල්ලක් – ජනපති

ජනපති පත් කළ කොමිෂමේ වාර්තාව කෝ ? – කැබිනට් ඇමැතිවරයෙක්

‘මෙය දේශපාලන වශයෙන් ඉදිරිපත් කරන ලද ද්වේෂ සහගත ලියැවිල්ලක්’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (29) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ප‍්‍රතික්ෂේප කරමින් පවසා තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ අදාළ වාර්තාව ‘තමා කිසිසේත්ම නොපිළිගන්නා බවයි’

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද :29* පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ.

අදාළ වාර්තාව දැඩි සේ විවේචනය කර ඇති ජනාධිපතිවරයා එය කැබිනට් මණ්ඩලය අනුමත කළ ලියැවිල්ලක් ලෙස නොසලකන ලෙසත් එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ ‘සාකච්ඡා වූ බව පමණක් ’සදහන් කරන ලෙසත් අවධාරණය කර තිබෙනවා.

‘මෙය රට නොමග යවන ලියැවිල්ලක්’ යැයි ද ජනපතිවරයා අවසාන වශයෙන් ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජ්‍යේෂ්ඨ කැබිනට් ඇමැතිවරයෙක් සදහන් කළේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ප‍්‍රතික්ෂේප කරන ජනපතිවරයා තමා විසින් පත් කළ කමිටුවේ වාර්තාව ප‍්‍රසිද්ධ නොකරන්නේ කුමක් නිසාදැයි කැබිනට් මණ්ඩලයට පමණක් නොව ජනතාවට පවා ප‍්‍රශ්නයක් බවයි.

මෙහිදී මාධ්‍ය වෙත ද චෝදනා කළ එම ඇමැතිවරයා ජනමාධ්‍ය විසින් මෙම වාර්තාව නිසි ලෙස වාර්තා නොකළ බවට ද චෝදනා කළා.

‘පිටු 220ක් වන මේ වාර්තාව තුළ කොතරම් තොරතුරු තියෙනවාද ? ඒත් කිසිම මාධ්‍යයකට ඒවා ප‍්‍රවෘත්තියක් වුණේ නැහැ. ලංකාවේ ජනමාධ්‍ය ඉන්නේ අන්තිම දුප්පත් තැනක’ යැයි ද ඔහු කියා සිටියා.

Recommended For You

About the Author: Editor