ලෝකයේම නෙත් කදුලින් තෙත් කරමින් ‘සුජිත් අවසන් ගමන් යයි’

මුළු ලෝකයේම හදවත් කම්පාවට පත් කරමින් ‘සුජිත් විල්සන්’ ළදරුවා අද අවසන් ගමන් ගියා. දින හතරක් පුරා පැවති පැය 82ක බේරා ගැනීමේ මෙහෙයුමෙන් පසු අද (29) උදෑසන අදහස් දැක්වූ තමිල්නාඩු බලධාරීන් කියා සිටියේ නරක් වූ තත්ත්වයේ පැවති සුජිත් විල්සන්ගේ මෘත දේහය ළිඳෙන් ගොඩ ගත් බවයි.

‘මෘත දේහය ගොඩ ගැනීම සඳහා විශේෂ උපකරණයක් යොදා ගත්තා. ඔහුගේ ශරීරය දැඩි ලෙස නරක් වනු ඇති බව අප හඳුන ගත්තා’ තමිල්නාඩු ප්‍රාන්තයේ බලධාරියෙක් වාර්තාකරුවන් සමග ප‍්‍රකාශ කළා.

සුජිත්ගේ දේහය මරණ පරීක්ෂණය සඳහා රජයේ රෝහලක් වෙත ගෙන යනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දරුවාගේ මෘත ශරීරය දෙමව්පියන් වෙත භාර දුන් අතර දෙමව්පියන් විසින් සුජිත්ගේ දේහය භූමිදානය කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

දරුවා ආරක්ෂිතව ගොඩගැනීමට හැකි වන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්තය පුරා පිහිටි කෝවිල්, මුස්ලිම් පල්ලි සහ කිතුණු දේවස්ථාන තුළ යාඥා පැවැත් වුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද දරුවා සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණ අතර සුජිත් මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඒ පිළිබඳ සිය සංවේගය පළ කළා.

මේ වසරේ ජුනි මාසයේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි මේ හා සමාන ළිඳකට වැටී සිර වූ බිළිඳෙකු දින දෙකකට පසු බේරා ගැනීමට හැකි වූ නමුත් පසුව දරුවා මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ අතර අත්හැර දමන ලද පටු ළිං අනාරක්ෂිත ලෙස විවෘතව තබන පුද්ගලයන්ට එරෙහිව දඩ නියම කරන ලෙස යළිත් වරක් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා.

Recommended For You

About the Author: Editor