GMOA මැතිවරණ රාජකාරිවලින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගීවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (වැටලීම්) සුදත් රත්නවීර මහතාගේ උපදෙස් පරිදි නිලධාරීන් පිරිසක් ගොස් වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.

මේ අතර ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීය දායකත්වය සැපයීමත් වාර්තා වන කරුණු අනුව ඔහු එවැනි මැදිහත්වීමක් කර ඇත්තේ වෘත්තිය සමිතිය නියෝජනය කරමින් වීමත් ඊට හේතු හැටියට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය යොමු කළ එම ලිපියේ සඳහන්.

මෙම තත්ත්වය මත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන එහි සාමාජිකයන් ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරිවලට අනුයුක්තව සේවය කරන්නේ නම් එය දැඩිව සලකා බැලිය යුතු කරුණක් යැයි ද එම නිරීක්ෂණ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතාගේ අස්සනින් යැවූ එම ලිපියේ සඳහන් වෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා තම දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරියෙක්ය යන්න පසෙකලා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීයව සහභාගී වෙමින් සිටින බව දන්වමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය 25 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළා.

Recommended For You

About the Author: Editor